මිනිස්සු ආදරේ කරනවානම් කරන්න ඕන ලක්මාල් කියන මනුස්සයට මිසක් වෛද්‍ය කෑල්ලට නෙවෙයි – වෛද්‍ය ලක්මාල් කුලසේකර
එක්තරා ආයතනයක සේවය කරපු යාළුවෝ දෙන්නෙක් හිටියා. ඒ දෙන්නගෙන්
පළමුවැන්නා වැඩට ආවේ BMW කාර් එකක. එයාට ඒ තරම් සල්ලි! හැබැයි අනික්
යාළුවා දුප්පත්. එයා වැඩට ආවේ ගියේ පාරේ බස් එකේ. ඒත් පළමුවැන්නාගෙ
මුහුණේ නැති සිනහවක් දෙවැන්නාගෙ මුහුණේ නිතරම සටහන් වෙලා තිබුණා.
දැන් BMW එකේ වැඩට එන අර සල්ලිකාර යාළුවට මේක ලොකු ප්‍රශ්නයක්.
පස්සේ ඔහු තමන්ගේ යාළුවා ළඟට ගිහින් මෙහෙම ඇහුවා.
“මං වැඩට එන්නේ හොඳ කාර් එකක. A/C දාගෙන සිංදුවක් අහගෙන ෆුල්
සැපෙන් මං එනවා. අව්වෙන් වැස්සෙන් වුණත් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි
ඔයා එන්නේ පාරේ බස් එකේ. ඒත් මට දැනෙන්නේ ඔයා මට වැඩිය සතුටින්.
ඇත්තටම කොහොමද එහෙම වුණේ?”
හරිම සාවධානව අහගෙන හිටපු යාළුවා ඒකට මෙහෙම උත්තර දුන්නලු.
“ඔයා කාර් එකේ කොච්චර සැපට එනවා කියලා හිතුවත් ඔයාට හිතන්න
හුඟාක් දේවල් තියෙනවා. ඔයාගේ වාහනේ අනික් වාහනවලින් පරිස්සම්
කරගන්න ඕන. ඔයා පරිස්සම් වෙන්න ඕන. ඒත් මට එහෙම ප්‍රශ්නයක් නෑ. මං
බස් එකේ වාඩිවෙලා වීදුරුවෙන් එළිය බලාගෙන එනකොට එක එක දේවල්
දකිනවා. ඒවා රසවිඳිනවා. ඒ අතරේ හිතුණම මට නිදාගන්න වුණත් පුළුවන්.
ඇත්තටම කිව්වොත් බස් එකේද වැඩට එන්නේ කාර් එකේද කියන එක ගැන
හිතලා වද වෙනවට වඩා මම මේ මොහොත විඳිමින් ජීවත්වෙනවා.”
ඔබ කොයිම වෙලාවක හෝ එහෙම සතුටක් ගැන හිතුවද? ‘සතුට
මුණගැහෙන්නේ සල්ලි කොළ අස්සෙ කියලා මිනිස්සු හිතුවට අපිට ඕන නම්
ලුණුයි බතුයි එක්ක කන බත් පතක පවා ඔය කියන සතුට හොයාගන්න පුළුවන්’
ඒ විදියට කියන්නේ මං නෙවෙයි, ‘සරල මනුස්ස ප්‍රාණියෙක්’ කියලා ඔහු විසින්ම
ඔහුව හඳුන්වාගන්නා හරිම ආදරණීය මනුෂ්‍යයෙක්. ඒ තමයි වෛද්‍ය ලක්මාල්
කුලසේකර. ඔහු දන්ත සංරක්ෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ විතරක්
නෙවෙයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ
කථිකාචාර්යවරයෙක්.
“ඉතින් හැමදාම කාන්තාවන් ගැන කියවපු අපිට එහෙව් වෛද්‍යවරයෙක් ගැන
අද කියන්නේ ඇයි?”
ඔබට එහෙම හිතෙනවා ඇති. මීට සිව් වසරකට උඩදි අපි ‘ධරණී’ මංගල
කලාපය මුද්‍රණය කළේම ‘සතුටින් ජීවිතය දරන්නී’ කියන තේමාවක් එක්ක. එදා
සිට අද දක්වාම අපි පොරොන්දු වූ පරිදි සතුටින් ජීවිතය දරන්නියන් සිය දහස්
දෙනෙකුගේ ජීවිත කතා ඔබට ඉදිරිපත් කළා. වෛද්‍ය ලක්මාල් කුලසේකර
කියන්නෙත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ විදියට සතුටින් ජීවිතය දරන
පුද්ගලයෙක්. ඔහු දන්ත සංරක්ෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වුණාට
මිනිස්සුන්ගේ සිත් සුවපත් කරන්නත් ඔහුට තියෙන්නේ අරුම පුදුම හැකියාවක්.
ඉතින් ‘ධරණී සිත් දිනූ සිව් වසක’ උත්කර්ෂය සමරන මේ මොහොතේ අපේ
විශේෂ සංවත්සරික කලාපයේ කවරය ඔහුගේ සතුටු පවුලෙන් සරසන ගමන්,
වෛද්‍ය ලක්මාල් කුලසේකර එක්ක සතුටු සාමීචියක යෙදෙන්නත් අපිට පුළුවන්
වුණා. ඒ සංවාදයේ සටහනයි මේ.
“මගේ ගම බදුල්ලේ. අම්මා ගුරුවරියක්. තාත්තා සිවිල් ඉංජිනේරුවරයෙක්.
මගේ පවුලේ හිටියේ මල්ලියි, නංගියි. මං පහේ පන්තියට යනකල් ගියේ
බදුල්ල ඌව මහා විද්‍යාලයට. ශිෂ්‍යත්වේ පාස්වෙලා මං කොළඹ රාජකීය
විද්‍යාලයට ආවා. ඒ 1991 අවුරුද්දේ. ඊටපස්සේ 2000දි උසස්පෙළ සමත්වෙලා
දන්ත වෛද්‍ය පීඨයට යන්න ලැබුණා. සාමාන්‍ය වෛද්‍යවරයෙක් විදියට මං
මුලින් සේවය කළේ ගල්ගමුව මූලික රෝහලේ. මහරගම දන්තායතනයේ
පලිපාන කියන විශේෂඥ වෛද්‍යවරයා යටතේ තමයි විශේෂඥ වෛද්‍යවරයෙක්
හැටියට පුහුණු වුණේ. ඒ පුහුණුව ඉවරකරලා මං විශේෂඥ වෛද්‍ය
පුහුණුවක් සඳහා එංගලන්තේ රෝයල් ලන්ඩන් රෝහලට ගියා. ඒ ගිහින්
ඇවිත් බදුල්ල පළාත් මහරෝහලේ අවුරුදු 5ක් පුරාවට විශේෂඥ
වෛද්‍යවරයෙක් හැටියට සේවය කළා. මේ වෙද්දි මං ‘දන්තජ’ කියලා මගේ
ඩෙන්ටල් එකක් කරගෙන යනවා.”
වෛද්‍ය වෘත්තිය කියන්නේ බොහෝ වගකීම්වලින් පිරුණු කාර්යබහුල
වෘත්තියක්නේ. හැබැයි මේ වෛද්‍යවරයා හරිම සතුටින් ඒ වෘත්තියේ යෙදෙන හැටි
අපි දැකලා තියනවා. ඒක නිසාම කාර්යබහුල රැකියා ජීවිතේ තුළ සතුට පරිස්සම්
කරගන්නේ කොහොමද කියලාත් අපි ඔහුගෙන් අහලා බැලුවා.
“කාර්යබහුල ජීවිතවල සතුට හොයන විදි තියෙනවා. වෛද්‍යවරයෙක් විදියට
මං රෝගීන් බලන්නේ සතුටින්. එතැනින් ගියාම කථිකාචාර්යවරයෙක් විදියට
මං විශ්වවිද්‍යාල ළමයින්ට දේශන කරන්නේ සතුටින්. පාසල් සිසුන්ට දේශන
කරන්න ගියාම මං ඒක කරන්නේ සතුටින්. කිසිම වෙලාවක අසතුටින් මං ඒවා
කරන්නේ නෑ. එහෙම කළොත් තමයි කාගේ වුණත් රැකියා ජීවිත
එපාවෙන්නේ. හොඳම දේ තමයි අපි ඒ මොහොතෙදි කරන වැඩේ මොකක්
වුණත් ඒ වැඩේ සතුටින් කරන එක. මහා ලොකු සැලසුම් ගහලා සතුට
හොයන්න ගියොත් ඒක හම්බවෙන්නේ නෑ.”
ඒ වගේම වෛද්‍ය ලක්මාල් කියන්නේ මිනිස්සු කාර්යබහුල වෙද්දි ඔවුන් තුළ
උපදින බොහෝමයක් හැඟීම්වලට එළියට එන්න අවස්ථාවක් නැතිවෙනවා
කියලයි. අන්න ඒ හැඟීම් පිට කරගන්න විදියක් නැතුව හිරවුණාමලු මිනිස්සු ‘අපි
කාර්යබහුලයි’ කියාගෙන පීඩනයක ජීවත්වෙන්නේ.
“අපිට ඒ එන හැඟීම් පිටකරන්න විවිධ ක්‍රම තියෙනවා. මගේ ක්‍රමය තමයි
ලියන එක. මට මගේ හැඟීම් නිදහසේ ලියන්න පුළුවන් මාධ්‍යයක් මේ වෙද්දි
හම්බෙලා තියෙනවා. ඒ ෆේස්බුක් එක. ඉතින් මං පුළුවන් හැමවෙලේම ඒකෙ
ලියනවා. ඒවා දහස් ගාණක් දෙනා කියවනවා. මං ඒකෙනුත් ලොකු සතුටක්
ලබනවා. එහෙම ක්‍රමයක් ඕනම කෙනෙකුට හොයාගන්න පුළුවන්.”
සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙක් විවාහවුණාට පස්සේ ඔහුට හෝ ඇයට තියෙන
වගකීම් ප්‍රමාණය ඉහළ යනවා. ඒත් එක්ක මානසික නිදහස අඩුවෙනවා. ඒත්
වෛද්‍ය ලක්මාල් හරිම සතුටින් සැහැල්ලුවෙන් රැකියාව වගේම පවුල් ජීවිතයත්
ගතකරන බව පේන්න තියෙනවා. ඒ මැජික් එක ගැනයි ඊළඟට අපි ඔහුගෙන්
ඇහුවේ.
“ඒ මැජික් එක වෙන කිසිම දෙයක් නෙවෙයි, මට බිරිඳගෙන්
ලැබෙන සහයෝගය. මට මතකයි මං විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා
අවුරුද්දක් විතර යනකොට ඇය රාජ්‍ය සේවයේ රස්සාවක් කරමින් ඉඳලා
ඉවත් වුණා. මොකද එයාට තේරුණා එයාගේ කාර්යබහුලත්වයත් එක්ක මම
සහ දරුවෝ තුන්දෙනා එයාට අතපසුවෙන්න පුළුවන් කියලා. ඉතින්
කැමැත්තෙන්ම එයා ඒ තීරණේට ආවා. අද මම සතුටින්, සැහැල්ලුවෙන්
ඉන්නවා නම්, අද මගේ පවුල සතුටින් තියෙනවා නම් මගේ බිරිඳ කරපු ඒ
කැපකිරීමුත් ඒකට හේතුවක්.”
*එච්චර කැපකිරීමක් කරපු ඇයව ඔබට මුණගැහුනු හැටිත් කියමුද?
“ඇය මධුභානි දිසානායක. මම ආදරේට කියන්නේ ‘මනී’ කියලා. පේරාදෙණිය
විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලේ තමයි ඇයව මුණගැහුනේ. දැන් අපිට
පුතාලා දෙන්නෙකුයි දුවෙකුයි ඉන්නවා. ලොකු පුතාට වයස 13යි. දෙවැනියට
11යි. දුවට 7යි.”
අපි වෛද්‍යවරයාගේ ඒ සතුටු පවුලේ කතාවත් අහලා බැලුවේ පවුලක් පන්සලක්
වෙලා හිටියත් ඒ තුළ සතුට බෝ කරගන්න බැරිවුණු උදවියට ගතයුත්තක් ඇති
කියලයි.
“මට හැමදාම රෑ 7.30ට ලොකු පුතාගෙන් කෝල් එකක් එනවා ‘අප්පච්චී ඔයා
වැඩ ඉවරද?’ අහලා. ඒ නිසා මට මොන වැඩේ තිබුණත් පුරුද්දක් විදියට රෑ
8.00 වෙද්දි මං ගෙදර යනවා. බිරිඳ එක්ක දරුවොත් එක්ක ගෙවන්න තියෙන
ඒ කාලේ මං මගඅරින්නේ නෑ. අපේ ඒ තද බැඳීමත් එක්ක පලදායී විදියට
දරුවන්ගේ ජීවිත ගොඩනැගෙන හැටි මාත් බිරිඳත් දැකලා තියෙනවා. ඕනෑම
පවුලක සැමියා, බිරිඳ සහ දරුවන් අතර තියෙන බැඳීම එක්ක තමයි පවුලක
සතුට රැඳිලා තියෙන්නේ.”
ඒත් සමහරු කතාවට කියනවා සතුට තියෙන්නේ සල්ලි තියෙන තැන කියලා. ඒ
ගැන වෛද්‍යවරයාගෙන් ඇහුවම ඔහු දුන්නේ මෙහෙම පිළිතුරක්.
“අපිට යම් ආර්ථික නිදහසක් තියෙන්න ඕන. මොකද අපි කැමති දේවලට
යම්කිසි වියදමක් දරන්න වෙනවා නම් අතේ මුදලක් ගැවසෙන්න එපැයි. ඒ
වුණාට සල්ලි පොදි ගහගෙන ඉන්න ඕන කියන තැන මං නෑ. එහෙම තිබිලත්
කිසි සතුටක් නැති අය ඕනතරම් අපේ රටේ ඉන්නවා. මං කියන්නේ හැම
මනුස්සයම තමන් ජීවත්වෙන වපසරිය තුළ සතුටක් හොයාගන්න ඕනේ.
තුන්වේලටම ලුණුයි බතුයි කන දෙන්නෙක්ට වුණත් ඒ තුළින් සතුටක්
හොයාගන්න පුළුවන්. මොකද මේ ලෝකේ ලුණුයි බතුයි ටිකවත් කන්න නැති
මිනිස්සු ඉන්නවනේ.”
‘හීනවලට පණදෙන්න හිතලා ජොබ් එකක් හොයාගත්තා. දැන් හීනත් නෑ මට
පණත් නෑ’ කියන ඔය කතාව මම දැක්කේ ෆේස්බුක් පෝස්ට් එකක. ඇත්තටම
මනුස්සයෙක් රැකියා ජීවිතය තුළ සතුට හොයාගන්නේ කොහොමද? ඒ වෛද්‍ය
ලක්මාල්ට අපෙන් ලැබුණු ඊළඟ ප්‍රශ්නේ.
“අපේ රටේ අධ්‍යාපන ක්‍රමය එක්ක හරි කලාතුරකින් තමයි මිනිහෙකුට තමන්
කැමති දෙයක් රැකියාව විදියට කරන්න ලැබෙන්නේ. දන්නවද මං කවදාවත්
දන්ත වෛද්‍යවරයෙක් වෙන්න හිටපු කෙනෙක් නෙවෙයි. මට පුංචි කාලේ ඉඳන්
ඕනකම තිබුණේ වෛද්‍යවරයෙක් වෙන්න. ඒත් ලකුණු මදිවෙලා අවසානයේ මට
යන්න ලැබුණේ දන්ත වෛද්‍ය පීඨයට. අන්තිමේ මං දන්ත වෛද්‍යවරයෙක් වුණා.
හැබැයි අද මං සතුටින්. හේතුව තමයි ඒ රැකියාව ඇතුළෙ සතුටින් ඉන්න ක්‍රම
මම හොයාගත්තා. මගේ ගාවට එන්නේ දත් සම්බන්ධව මොකක් හරි
ප්‍රශ්නයක් නිසා වේදනාවෙන් ඉන්න කෙනෙක්. මගේ සතුට ඒ වේදනාව නැති
කරලා ඔවුන්ගේ මුහුණට සතුටක් ගේන එක. වේදනාවෙන් ඉන්න
මනුස්සයෙකුගේ වේදනාව නැති කරන්න ලැබෙන එක මොනතරම් සතුටක්ද…”
ඒ වගේම මිනිස්සු සරල වෙන තරමට ජීවතයට සතුට දෝරේ ගලන බවත් වෛද්‍ය
ලක්මාල් අපිත් එක්ක කිව්වා.
“මිනිස්සු පුදුම විදියට ආසයි තමන්ගේ නම ඉස්සරහින් මොකක් හරි තනතුරක්
හෝ නම්බු නාමයක් දාගන්න. වෙන අය ඕන නෑ මම ගන්නකෝ. මං වෛද්‍ය
ලක්මාල් කුලසේකර. ඒත් මං වෛද්‍ය කෑල්ල පැය විසිහතරෙම ඔලුවේ
තියාගෙන ඉන්නේ නෑ. මං මගේ රැකියාව සිදුකරන කාලේ විතරයි ඒ කොටස
ඔලුවට ගන්නේ. ඉතිරි කාලය මං ආස ලක්මාල් කුලසේකර කියන සාමාන්‍ය
මනුස්සයා විදියට ජීවත්වෙන්න.”
*ඒක නිසාද ඔබේ මුහුණුපොතේ ‘සරල මනුස්ස ප්‍රාණියෙක්’ විදියට ඔබව
හඳුන්වගෙන තියෙන්නේ?
“(සිනාසෙමින්) ඔව්, වෛද්‍ය වෘත්තියේදි විතරක් මට වෛද්‍යවරයෙක් වුණාම
ඒක ප්‍රමාණවත්. අනෙක් වෙලාවට සාමාන්‍ය මනුස්සයෙක් විදියට නිදහසේ
සරලව ඉන්න මං කැමතියි. මිනිස්සු මට ආදරේ කරනවා නම් ඒ කරන්න ඕන
ලක්මාල් කියන මනුස්සයට මිසක් වෛද්‍ය කෑල්ලට නෙවෙයි.”
වෛද්‍ය ලක්මාල්ගේ නමත් එක්ක බැඳුනු ප්‍රසිද්ධ නමක් තමයි ‘දන්තජ’ කියන්නේ.
පසුගියදා ඊට අන්තර්ජාතික මට්ටමේ සම්මානයක් පවා හිමිවුණා. ඒ ගැනයි
වෛද්‍යවරයාගේ ඊළඟට අහන්න හිතුවේ.
“මං ඉස්සර රජයේ රෝහල්වල සේවය කරපු කාලේ දැක්ක දෙයක් තමයි ඒවට
එන රෝගීන්ට මුහුණදෙන්න වෙන යම් යම් ගැටලු. ඩොක්ටර් හම්බෙන්න පැය
ගණන් පෝලිම්වල ඉන්න ඕන. බෙහෙත් ටික ගන්න මාස ගණන් ලිස්ට්වල
ඉන්න ඕන. පුදුම රස්තියාදුවක්. රෝගීන් විඳින ඒ ප්‍රශ්න දැකලයි මං දන්තජ
කියන මගේ ඩෙන්ටල් එක ආරම්භ කළේ. මම දන්න තරමින් ලංකාවේ වන්
ගෝල්ෆේස් වගේ ශොපින් මෝල් එක්ක තියෙන පළවැනි සහ එකම ඩෙන්ටල්
එක තමයි ‘දන්තජ ප්‍රිමියම් ඩෙන්ටල් චෙම්බර්ස්’ කියන්නේ.”
*කොච්චර කාර්යබහුල වුණත් ඩොක්ටර් පොතක් ලියන්නත් සූදානමින් ඉන්නවලු
නේද?
“(සිනාසෙමින්) මම කැම්පස් යන කාලේ බෝඩිමේ ඉඳන් ලියපු කතාවක් අවුරුදු
කීපයකට කලින් මුද්‍රණය කළා. ‘සඳදෝණි’ තමයි ඒ පොත. කිව්වත් වගේ දැන්
අලුත් පොතකට ලෑස්තිවෙනවා.”
ඒ අලුත් ආරංචියත් එක්කම වෛද්‍ය ලක්මාල්ට අපි සමුදුන්නත් අවසානෙට ‘ධරණී’
කියවන කාන්තාවන් වෙනුවෙන් යමක් කියන්නත් ඔහු අමතක කළේ නෑ.
“මිනිහෙක් නමට ජීවත්වෙලා තේරුමක් නෑ. ඒකට වටිනාකමක් එකතුවෙන්නේ
සතුටින් ජීවත් වුණොත්ම විතරයි. සතුට තියෙන්නේ තමන්ගේ තුළමයි. ඒක
නිසා කවදාවත් සතුට කියන දේ ලෙසියෙන්ම ළඟා කරගන්න බැරි දෙයක්
කියලා හෝ දුර තියෙන දෙයක් කියලා හිතන්න පුරුදුවෙන්න එපා. ඔබ ටිකක්
වෙනස් විදියට හිතුවොත් මේ මොහොතත් ඔබට හරිම සතුටින් ගෙවන්න
පුළුවන්.”
රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූප – චමත් ඒකනායක
පසුතලය – සෝලිස් හොටෙල්, පිටකෝට්ටේ