Latest News

මින්නේරියම පාළුය – නුඹ නැතිව අද කෝලිය ‘අනාගත මහසෙන්’ වන්නට සිටි කෝලියත් යන්නම ගිහින්!

දළකාරයෝ හැඩකාරයෝ ය. එය අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මේ හැඩකාර
දළකාරයින් සිටින්නේ ඉතාම සීමිත සංඛ්‍යාවකි. දළ පිහිටන්නේ අලි ගහනයෙන්
සියයට පහකටත් අඩුවෙනි. ඒ අතරින් දළ පූට්ටු වූ ඇතුන් ඉතාම දුර්ලභ දසුනකි.
එනම්, දළ යුගල එක මත එක කතිරයක් සේ පිහිටා තිබීමයි (crossed-tusker).
මෙරට මඟුල් ඇතු වන ‘ඉන්දි රාජා’ එවැනි දළ පූට්ටුවෙකි. ශ්‍රී දළදා මාලිගාවේ
ඇත්පන්තියේ නායකයා ලෙස ඔහුට ජීවිතය පිළිබඳ කිසිඳු බියක් සැකක් නැතිවා
පමණක් නොව, ජනයාගේ ගරු බුහුමන් ලබමින් ද ජීවත්වීමට වරම් ලැබී ඇත.
එහෙත් කැලෑවේ කතාව ඊට හාත්පසින්ම වෙනස් ය. ඛේදනීය ය.
මෙරට දළ පූට්ටුවන්ගේ අතීතය එතරම් සුබ නැත. වර්තමානය ද එසේමය.
අනාගතය පැහැදිලි නැත. යාල මහ දළ පූට්ටුවා, පොඩි පූට්ටුවා, වලස්කෙම
පූට්ටුවා, ධනංජය, තිලක්, කුමන පූට්ටුවා සහ ගල්ගමුව පූට්ටුවා ආදීහු වනගත
දළ පූට්ටුවන් අතර ඉහළින්ම සිටියෝය. එහෙත් තවදුරටත් ඔවුන් සජීවීව දැකීමට
තරම් අප කිසිවකු වාසනාවන්ත නැත. මීට වසර හතකට පමණ ඉහතදී
ගල්ගමුව පූට්ටුවා ඝාතනය වූයේ මනුෂ්‍යත්වය බිඳුවක් හෝ ගෑවුණු අයකු දැකීමට
පවා ඇසීමටවත් අකමැති අයුරකිනි. ඇතා මාස කිහිපයක් අතුරුදන්ව සිටි අතර
දළ යුගලක් සමඟ පිරිසක් අත්අඩංගුවට ගැනුණේ ඒ අතරය. ඒ අනුව විශේෂ
පරීක්ෂණයක් ආරම්භ කෙරිණ. මොරගොල්ලාගම හොරව්වැව ඉස්මත්තේ කැලෑ
රොදක තිබී හස්තියාගේ ක්ෂය වී ගිය සිරුර හමුවූයේ ඒ අනුවයි. අන්ධ ඇත් රජු
ජීවිත කාලය පුරා ඇතැම් නොමිනිසුන්ගේ අඩන්තේට්ටම්වලට මුහුණ දුන්නේය.
වගාවලට යම් හානි සිදුවුවද බොහෝ ගැමියෝ දෑස් නොපෙනෙන සතාට
අනුකම්පා කළහ. කෑමටබීමට පහසුකම් සැපයූහ. එහෙත් මුදලට ගිජු වූ අයෙක්
සිය සහචරයන් සමඟ එක්ව ඇතාට වෙඩි පහර දහයක් පමණ එල්ල කර තිබේ.
දළ සිරුරෙන් වෙන්කරගෙන ඇත්තේ වෙඩි පහරවල තුවාලවලින් ඇතා පීඩා
විඳිමින් සිටියදීමය. එවැනි සිදුවීම් රාශියකට සිත් පිත් ඇත්තන් සෝක වූවාට අලි
ඇතුන්ට වන කෙනෙහිලිකම්වල අඩුවක් ද නැත.

මේ වනවිට අප සතු වටිනාම දළ පූට්ටුවා මහසෙන් ය. සෝමාවතිය ඇතා ලෙස
හැඳින්වෙන ඔහු මෙරට විශාලතම දළ යුගලයට හිමිකම් කියන්නා ද වෙයි.
විශාල භූමි ප්‍රදේශයක සැරිසැරීමේ පුරුද්ද ඇති මහසෙන් සිටින්නේ ද ජීවිතය
පිළිබඳ බරපතළ අවදානමකය. ගම් අතරින්, බඳින කඳන්, අනවසර විදුලි වැටවල්
ආදී විපත් බොහොමයක් අතරින් ඔහු ඇවිද යන්නේ මරණ වරෙන්තුව අත
දරාගෙනය.
“දළ ලොකු ඇතා අදත් ඇවිත් ගියා.”
යනුවෙන් පවසන බොහෝ ගැමියන් ඔහුගේ වටිනාකම ගැන නිවැරදි
තක්සේරුවක නැත. ඒ අතර ඔහු රැකීමට වෙහෙසෙන අය ද සිටිති. මහසෙන්ට
අමතරව නගරගිරි, එළාර, ඇසල 2, බුලට්, අරවින්ද, මිත්ථ සහ පණ්ඩුල වැනි
අලංකාර තරුණ දළ පූට්ටුවෝ ද සිටිති. ඒ අතරින් බුලට් සහ ඇසල 2 සිය දළේ
අග කොටස් කඩාගෙන ඇත. ඒ අතරතුර වසර 2018 දී පමණ වනජීවී ඡායාරූප
ශිල්පීන් අතර අලුත් ඇතෙකු පිළිබඳ ආරංචිය පැතිර ගියේය.
“තවත් ලස්සන ඇත් පැටියෙක් ඉන්නවා මින්නේරිය – කවුඩුල්ල පැත්තෙ.”
ඡායාරූප ශිල්පී රසික සිල්වා සිය මිතුරන්ට දැන්වීය. හඳුනාගැනීමේ පහසුව
වෙනුවෙන් ඇත් පැටවා ‘කෝලිය’ ලෙස නම් කෙරිණ. නම දුන්නේ රසික ය. එදා
සිට කෝලියගේ වැඩීම අලි හිතවතුන් බලා සිටියේ ආදරයෙනි.
“කෝලිය ගැන දැනගද්දී එයාට අවුරුදු 7ක් 8ක් විතර ඇති. මුලින්ම දකිද්දි දළ
ඒ තරම් ලොකු නෑ. අපි දිගින් දිගටම එයා ලොකුවෙන හැටි බැලුවා. එයාගෙ
දළ විශාල වෙන විදියට අපට හිතුණා පූට්ටු වෙයි කියලා. ඒක ඒ විදියටම
වුණා. අපිට දැනුණේ කෝලිය ඊළඟ මහසෙන් වෙයි කියලා. ඒ තරං ලස්සනට
එයා වගේම එයාගේ දළත් වැඩුණා.”
එසේ කීවේ ඡායාරූප ශිල්පී සාරංග දේව ද අල්විස් ය. 2018 සිට මේ දක්වා
කෝලිය වැඩෙන අයුරු දුටුවන් අතර සාරංග ද සිටියේය.
“එයා මේ වෙනකංම රංචුව එක්කමයි හිටියෙ. අපි අවස්ථා ගණනාවකදී
එයාගෙ ඡායාරූප අරන් තියෙනවා. කවදාවත් කිසිම කලබලයක් කරලා නෑ.
එයා මින්නේරිය කවුඩුල්ල ප්‍රදේශයේ ඉන්න අලංකාරම දළ පූට්ටුවෙකු වෙන
ලක්ෂණ අපි කාලයක් තිස්සේ දැක්කා.”
එහෙත් ඊළඟ මහසෙන් වීමට සිටි කෝලියගේ ඉරණම එතරම් සුබ වූයේ නැත.
ගම්වලට පැමිණෙන අලි රංචුවල සාමාජිකයන්ට බොහෝවිට මුහුණදීමට සිදුවන

අත්දැකීම්වලට ඔහුටත් මුහුණදීමට සිදුවන්නට ඇත. අලි ඇතුන් පැන්නීමට
ගැමියෝ වෙඩිපහර එල්ල කරති. කෝලිය එහි ඍජු ඉලක්කය නොවුණ ද
ගොදුරක් වන්නට ඇත. කලා වැව සැරසූ දීඝදන්තු 1 අනවසර විදුලි වැටකට
ගොදුරුව ජීවිතයෙන් සමුගෙන දින කිහිපයක් යද්දී තවත් ඇතෙකුගේ සිරුරක්
රොටවැව අසලින් හමුවිය. ඒ අනාගත මහසෙන් වීමට සිටි කෝලියගේ සිරුරයි.
අපේ වටිනාකම් අප විසින්ම විනාශ මුඛයට ඇද දමමින් සිටියදී මේ වටිනා අලි
ඇත් පරපුරේ අනාගතය ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකයි. නිසි
කළමනාකරණයක් නොමැතිකම සහ ඇතැම් වගකිව යුත්තන් පනින රිලවුන්ට
ඉනිමං තබන්නාක් මෙන් කරන වගකීම් විරහිත ප්‍රකාශ ද මේ සතුන්ගේ ජීවිත
තවත් අනතුරේ හෙලා තිබේ.
තොරතුරු – වනජීවී ඡායාරූප ශිල්පී සාරංග දේව ද අල්විස්
රෂ්නිකා ලියනගේ