බිංදුවෙන් පටන්ගත්ත ඕන කෙනෙක්ට ඒ මැජික් එකෙන් ගොඩයන්න පුළුවන් 'Spring & Summer' ආයතනයේ හිමිකාරිනී ශ්‍යාමලී විජේගුණවර්ධන
ඉස්සර අපේ ගමේ හිටපු හොඳම ගොවි මහත්තයෙක් තමයි සේතං මාමා
කියන්නේ. සේතං මාමා උන්දැගේ කුඹුරේ ගොයම් පීදෙන කාලෙට හැමදාම හවසට
කුඹුරට එනවා. ඒ ඇවිත් පැයක් දෙකක් පීදෙන කුඹුර දිහා බලාගෙන ඉන්නවා. ඒ
සමහර වෙලාවට උන්දැ පීදෙන ගොයම් කරල් දිහා බලාගෙන තනියම
හිනාවෙනවා. ඒ ගැන තාත්තාගෙන් ඇහුවම තාත්තා කිව්වේ, පුතේ මිනිස්සු
වැඩිපුරම සතුටු වුණේ තමන් මහන්සි වෙලා ගොඩනගාගත්ත දේවල් දැකලා
කියලා. ඒ කාලේ තාත්තා කියපු කතාව මගේ පුංචි මොළේට නොතේරුනාට දැන්
මට තේරෙනවා සේතං මාමා හැමදාකම හවස් යාමෙට පීදෙන ගොයමත් එක්ක
තනිවෙච්චි හේතුව. සේතං මාමා දැන් මළවුන්ගේ ලෝකයට ගිහිල්ලත් අවුරුදු
ගාණක් වුණාට මට ඔහුගේ කතාව මතක්වුණේ පහුගිය දොහක මහරගම අහස
යටදි මුණගැහුනු කාන්තාවක් නිසා.
මේ සිද්ධිය වුණේ මහරගම ටවුන් එකේ තිබුණු ලොකු රෙදි කඩයක් ඇතුළේ.
පසුගියදාක මං ඒකට ගොඩවැදුනේ අලුත් අවුරුද්දත් ළඟ ළඟ එන එකේ ඇඳුමක්
දෙකක් මිලට ගන්න බලාගෙන. ඒ වෙලේ තමයි මං දැක්කේ එතැන තිබුණු
සෝපාවක් උඩ හරිබරි ගැහිලා මගේ දිහා බලාන හිටපු හරි ප්‍රියමනාප
කාන්තාවක්. බැලූ බැල්මට අවුරුදු හැට හැත්තෑවක් වගේ පෙනුණු ඇය මං රෙදි
තෝරන දිහා හරිම සතුටින් බලාගෙන හිටියා. හරියට ඇගේ රෙදිපිළි වෙළඳසැලක
මං ඇඳුම් තෝරනවා වගේ. ඔය අතරෙයි එතැන වැඩකරපු සේවකයෙක් ඇයට
ලොකු මැඩම් කියලා ආමන්ත්‍රණය කළේ. ඒක මට කොහෙත්ම අදාළ දෙයක්
නොවුණත් ඇයට ඒ විදියට ආමන්ත්‍රණය කරන්න හේතුව නිකමට වගේ අහලා
දැනගන්න හිතුණා. එතකොටයි මම දැනගත්තේ ඇය ඒ රෙදිපිළි වෙළඳසැලේ
අයිතිකාරි විත්තිය. ඉතින් පත්තරකාරයෙක් වෙච්චි මට ගිය වැඩේ මොහොතකට
පැත්තකට දාලා ඇයත් එක්ක ටිකක් කතා කරන්න හිතුණා. මොකද වර්තමාන
කතාව සුන්දර මිනිස්සුන්ගේ අතීත කතාව පාඩම් පොතක් කියලා මං දැනගෙන
හිටියා. හිතුවා වගේම ඇයට එහෙව් අතීත කතාවක් තිබුණා. ඒ අතීත කතාව
ඇය එදා පටන් අරගෙන තිබුණෙම බිංදුවෙන්. ඉතින් ඒ වගේ ධෛර්යවන්ත
කාන්තාවක් ගැන ඔබට නොකියා, ඔබට නොලියා කොහොමද?
“මං කළුතර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගමක ඉපදුණු කෙනෙක්. පවුලේ හිටියේ
අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි. අම්මා තාත්තා දෙන්නම ගුරුවරු.
ගොඩාක් අය හිතුවා ඒ දෙන්නා ගුරුවරු නිසා ඒ ආභාෂයෙන් මාත් ඒ පැත්තට
යොමුවෙයි කියලා. ඒත් පොඩි කාලේ ඉඳන්ම මගේ ආසාව වුණේ මගේම
ව්‍යාපාරයක් කරන්න. ඒත් ඒක මොකක්ද කියලා තේරුමක් තිබුණේ නම් නෑ.
හැබැයි ඒ කාලේ ඉඳන්ම මම ඇඳුම් පැළඳුම් වගේ විසිතුරු දේවලට ගොඩාක්
කැමතියි.”
එකී ආසාව සැබෑවක් කරගෙන අද වෙද්දි ලංකාවේ නම ගිය සන්නාමයක් හිමි
නිමි ඇඳුම් ව්‍යාපාරයක අයිතිකාරිය වෙන්න ඇය සමත්වෙලා. ඇය කවුද? ඇය
තමයි 'Spring & Summer' ආයතනයෙහි හිමිකාරිනිය, ශ්‍යාමලී විජේගුණවර්ධන.
“පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මං බාහිර උපාධියක් කළා. කටුබැද්ද
විශ්වවිද්‍යාලේ කළේ. එහෙදි ඉංජිනේරු ශිෂ්‍යයෙක් මගේ එක්ක හිතවත් වුණා.
කාලයත් එක්ක ඒ හිතවත්කම ප්‍රේමයට හැරිලා අපි විවාහ වුණා. ඒ 1977 දි.
ඊටපස්සේ අපිට දරුවෝ එහෙම හම්බවෙලා ඔවුන් පාසල් යන වයසට
එනකොට අපි කොළඹ පදිංචියට ආවා. අපි මුලින්ම හිටියේ කුලියට. සැමියා ඒ
වෙනකොට ඉංජිනේරුවෙක් වුණත් ඒ වැටුපෙන් හැමදේම කරගන්න තරමක්
අපහසු වුණා. ඒ වෙද්දි මට ටිකක් මහන වැඩ පුළුවන්. පස්සේ ගෙදර
ආර්ථිකයට ශක්තියක් වෙන්න හිතලා මමත් මහන මැෂිමක් අරන් ගෙදර
පොඩියට මහන්න පටන්ගත්තා.”
ඔය අතරේ තමයි ශ්‍යාමලී පොඩි පොඩි ඕඩර්ස් අරන් මහන්න අරගෙන
තියෙන්නේ. ඒක ටිකක් සාර්ථක වීගෙන එනකොට ඇයට හිතුණලු පුංචි කාලේ
ඉඳන් හිතේ තිබුණු ආසාවට තටු දෙන්න.
“ඒ 1995 අවුරුද්ද. මට හිතුණා කොහෙන්හරි කඩ කාමරයක් අරන් මහන
වැඩේ ටිකක් ලොකුවට කරන්න. ඊටපස්සේ මං පොඩි කඩ කාමර කෑල්ලක්
ගත්තා. ඒක වර්ග අඩි 300ක වගේ හරි පොඩි ඉඩක් තිබණු කඩ කාමරයක්.
එදා එහෙම පටන්ගත්තු ඇඳුම් ව්‍යාපාරය තමයි නොහිතපු තැනකට මං
මහත්තයාගේ සහයෝගය එක්ක ගෙනැත් තියෙන්නේ.”
හැබැයි මුල්ම කාලේ බොහෝමයක් අභියෝගවලට මුහුණදෙන්න ශ්‍යාමලීට
සිද්ධවෙලා.
“මුල්ම කාලේ මට ඕඩර්ස් එහෙම ආවේ නෑ. ඒත් මං දිගටම මැහුවා. මොකද
මට අරමුණක් තිබුණා. ඒ වෙනුවෙන් මං නිදි නැතුව වැඩ කරපු වෙලාවල්
තිබුණා. ටික කාලයක් යද්දි මං සේවකයෝ අරගෙන මහන තැනට සාර්ථක
වුණා. එක රැයින් ඉහළට යනවට වඩා බිංදුවෙන් ආරම්භ කරපු ගමන ගැන
මට දැඩි විශ්වාසයක් තිබුණා. මං මාව විශ්වාස කළා. ඒක නිසා අතරමඟ
වැටුණත් ඒකෙන් මං සැලුනේ නෑ. ඒ හින්දයි එදා මහන මැෂිමෙන් පටන්ගත්ත
මගේ පුංචි ව්‍යාපාරය අද වෙද්දි ලංකාවේ ප්රමුඛපෙළේ ඇඳුම් ව්‍යාපාරයක්
දක්වා ඇවිත් තියෙන්නේ.”
මේ වෙනකොට 'Spring & Summer' නිමි ඇඳුම් ව්‍යාපාරයට අවුරුදු 24ක්ලු. ඒ
විතරක් නෙවෙයි මේ වෙනකොට එහි ශාඛාවන් කීපයක්ම රටේ ප්‍රසිද්ධ නගර
කීපයකම පිහිටා තියෙන බවයි ශ්‍යාමලී ‘ධරණී’ට කිව්වේ.
“මේ වෙනකොට ව්‍යාපාරය රටේ ප්රමුඛ පෙළේ, ප්‍රසිද්ධම නිමිඇදුම් ව්‍යාපාරයක්
බවට පත්වෙලා තියෙනවා. මහරගම, කොල්ලුපිටිය, බම්බලපිටිය, නුගේගොඩ,
පානදුර, මීගමුව නගරවල අපේ කඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔන්ලයින්
ක්රමයටත් ලංකාව පුරාම බෙදාහැරීම් ජාලයක් ක්‍රියාත්මක වෙනවා. ඕන වයසක
කෙනෙක්ට උවමනා කරන නිමි ඇඳුම් මේ වෙද්දිත් අපේ ළඟ තියෙනවා.”
ඊළඟට ශ්‍යාමලීට මගෙන් ලැබුණු ප්රශ්නය වුණේ ඉහළ සාර්ථකත්වයක් හිමිකර
ගනිමින් නිමි ඇඳුම් ව්‍යාපාරය මේ වගේ තැනකට ගේන්න ශ්‍යාමලී කළ කැපකිරීම්
ගැන.
“අපි ඕනෑම දෙයක් ආසාවෙන් ආදරෙන් කරද්දි ඒක සාර්ථක වෙන්න තියෙන
ඉඩ වැඩියි. මට මේ ව්‍යාපාරය මගේ දරුවෙක් වගේ. අම්මා කෙනෙක් විදියට
මං මගේ දරුවන් රැකබලාගන්නේ කොහොමද ඒ විදියටම මං මේ ව්‍යාපාරයත්
පරිස්සමින් රැකබලා ගත්තා. ඒක තමයි මූලිකවම මේ ව්‍යාපාරය මේ තරම්
සාර්ථක වෙන්න බලපෑවේ.”
ශ්‍යාමලීගේ රෙදිපිළි ව්‍යාපාරයට ඉංග්‍රීසි නමක් දාපු එක ගැනත් අපි අහලා බැලුවේ
ව්‍යාපාරික නාමයත් අඩු වැඩි වශයෙන් සාර්ථකත්වයට බලපාන නිසා.
“Spring & Summer කියන එකේ අර්ථය වසන්තය සහ ගිම්හානය කියන ඍතු
දෙක. ඒ ඉංග්‍රීසි නමට මට ආස හිතුණා. ඒ නිසාම ඒක දැම්මා. ඒ නම
ඉංග්‍රීසියෙන් දැම්මා කියලා කිසිම ගැටලුවක් නෑ. අපි හරි දේ පාරිභෝගිකයාට
දෙනවා නම් නම කොතැනදිවත් ගැටලුවක් වෙන්නේ නෑ.”
මේ වෙනකොට අපේ රටේ ප්‍රසිද්ධ රෙදිපිළි ආයතන කීපයක්ම තියෙනවා. ඒ හැම
එකක්ම පාරිභෝගික විශ්වාසයත් උපරිමයෙන් දිනාගෙන තියෙනවා. ඒකත් එක්ක
ශ්‍යාමලී තම ව්‍යාපාරය ඔවුනුත් එක්ක තරඟකාරී මට්ටමට අරගන ආපු හැටි
ගැනයි මම ඊළඟට අහලා බැලුවේ.
“අපි සුදු ඇඳුම්වලට තමයි මූලිකත්වය දුන්නේ. සුදු ඇඳුම් නම් මගේ ආයතනය
කියන තැනට මිනිස්සු ඔලුව හදාගෙන තියෙනවා. අනෙත් දේ අපි හැමවෙලේම
පාරිභෝගික විශ්වාසය උපරිමයෙන්ම දිනාගන්න කටයුතු කරනවා. හොඳම දේ,
අවශ්‍ය දේ, නිසි ප්‍රමිතියෙන්, දැරිය හැකි මිලකට ලබාදෙන්න අපි නිතරම වගේ
කටයුතු කරනවා. ඒත් එක්ක අපි අපේ පාරිභෝගිකයා දැඩිව විශ්වාස කරලා
තියෙනවා. ඒක අපි කිසි වෙලාවක පළුදු වෙන්න ඉඩ තියන්නේ නෑ.”
*කාන්තාවක් විදියට ඔබ ලාභපාඩු කියන එක විඳදරාගන්නේ කොහොමද?
“මං බුද්ධාගමේ. ඒ නිසා මොන දේ වුණත් දරාගන්න පුළුවන් කියන තැනට
මනස මං හදාගෙන තියෙනවා. ඕනෑම ව්‍යාපාර කටයුත්තක ලාභ වගේම
පාඩුත් විඳින්න සිද්ධවෙනවා. ඒක සාමාන්‍යයි. අපි නිතර ලාභ ලබන
ආයතනයක් වුණත් පසුගිය කොවිඩ් වසංගත කාලේ එහෙම අමාරු වුණා.
හැබැයි අත්හැරියේ නෑ. අමාරුවෙන් වුණත් අල්ලගෙන හිටියා.”
ශ්‍යාමලීගේ වයස දැන් 73ක්. ඒත් එක්ක කාලයට ගැළපෙන විදියට ඇගේ මේ
ආයතනය යාවත්කාලීන කරන්නේ කොයි විදියටද කියන එකත් මට ලොකු
ප්‍රශ්නයක් වුණා.
“මගේ එක්ක මගේ පුතාලා දෙන්නත් මේ ආයතනයේ සේවය කරනවා. ඒ
දෙන්නම විවාහකයි. ඔවුන්ගේ බිරින්ඳෑවරුත් මම එක්ක මෙතැන සේවය
කරනවා. ඔවුන් තරුණ ළමයි. ඒ එක්ක ඔය කියන ගැටලු පැනනගින්නේ නෑ.
ඔවුන් කාලෙත් එක්ක ෆැෂන් වෙනස් වෙන විදිය ගැන හොඳට දන්නවා. ඒ
ගැන අවබෝධයක් තියෙනවා.”
අද වෙනකොට ශ්‍යාමලී මහත්මිය කියන්නේ සාර්ථක ව්‍යාපාරිකාවක්. ඒත් එක්ක
අද ඇය ඉන්න තැන ඉඳන් ජීවිතේ දිහා ආපහු පාරක් හැරිලා බලද්දි මොකද
හිතෙන්නේ කියලත් මම අහලා බැලුවා.
“මම තරුණ කාලේ ඉඳන්ම චරිත කතා කියවනවා. ඒ කියවද්දි පොඩි තැන්වල
ඉඳන් ලොකු ලොකු චරිත බවට පත්වුණු මිනිස්සු මට මුණගැහිලා තියෙනවා.
අද මමත් ඒ ගොඩට අයිති කෙනෙක් කියලා මට හිතෙනවා. ඒ නිසානේ මගේ
කතාව මේ විදියට පත්තරේ යන්නෙත්. ඉතින් ඒ ගැන මට සතුටුයි. හැබැයි
එක දුකක් මට තියෙනවා. ඒ මහත්තයා නැති එක. එයා මීට අවුරුදු 5කට
කලින් 2019 අවුරුද්දේ නැතිවුණා.”
මේ වෙනකොට ශ්‍යාමලී වගේම ඇගේ රෙදිපිළි ව්‍යාපාරයත් සම්මාන පිට සම්මාන
දිනාගෙන තියෙන වගක් මට දැනගන්න ලැබුණේ කතාබහ අතරතුරේ.
“2018, 2019 සහ 2020 අවුරුදුවල පිට පිටම මං මහා පරිමාණ ව්‍යාපාරවලින්
හොඳම ව්‍යවසායිකාවට හිමි සම්මානය දිනාගත්තා. ඒ වගේම 2018 සහ 2019
හොඳම පාරිභෝගික සේවාවට පිට පිටම මගේ ව්‍යාපාරය සම්මාන දිනාගත්තා.
ඒ ගැන ලොකු සතුටක්, ආඩම්බරයක් මට තියෙනවා.”
*ව්‍යාපාර එක්ක හැප්පෙද්දි පවුල එහෙම මගහැරෙන්නේ නැද්ද?
“එහෙම නෑ. මුලින්ම කිව්වා වගේ මේක දැන් පවුලේ කරන ව්‍යාපාරයක්.
පුතාලයි එයාලගේ වයිෆ්ලයි මේ ව්‍යාපාරයේ මං එක්ක ඉන්නවා. ඒක නිසා
පවුලේ බැඳීම් වැඩිවෙනවා මිසක් මගඇරෙන්නේ නෑ.”
අවසාන වශයෙන් ‘ධරණී’ කියවන සමස්ත කාන්තාවන්ටම යමක් කියන්න කියන
ඉල්ලීම ශ්‍යාමලී මහත්මියගෙන් අපි කළේ ඇගේ කතාව කාට වුණත් හැම
අතින්ම හොඳ අභිප්‍රේරණයක් වන නිසා.
“මම අද මේ වගේ තැනක ඉන්නේ මගේ අධිෂ්ඨානය, උත්සාහය වගේම
කැපවීම නිසා. ඒ තුන ඇතිකරගත්තොත් ඕනෑම කෙනෙක්ට සාර්ථක වෙන්න
පුළුවන්. මං මගේ අත්දැකීමෙන් කියන්නේ බිංදුවෙන් පටන්ගත්ත ඕනම
කෙනෙක්ට ඒ මැජික් එකෙන් ගොඩයන්න පුළුවන්. ඒත් ඉතින් ටිකක් දුක්
විඳින්නත් පුරුදු වෙන්න ඕන.”
රුවන් එස්.සෙනවිරත්න