නවතම ප්‍රවෘත්ති

නගින බහින සෙනඟ රවන – අනේ ඒත් තුටින් සිටින කොන්දොස්තර නෝනා

පසුගිය සති අන්තයේ දිනෙක බසයක් බලාපොරොත්තුවෙන් ගාල්ල කොළඹ
මාර්ගයේ දඩැල්ල බස් නැවතුමේ මා බොහෝ වෙලාවක් රැඳී සිටියෙමි. මා
සිටගෙන උන් තැනට තරමක් එපිටින් තිබුණේ මලින් පිරීගිය දෑසමන් මල් ගසකි.
උජාරුවෙන් පිපී සිටි මලක් සැනින් ඊට තරමක් පහලින් තිබූ පෙඳපාසි බැඳුනු
කාණු පල්ලට වැටී පෙනී නොපෙනී ගියේය.
දෑසමන් මලක් නම් සුවඳ දිදී සිටිය යුත්තේ අතු අග්ගිස්සක මිස කාණුවක
නොවේ. මට හිතුණේ එහෙමය. ඒ සිතුවිල්ලෙන්ම දඩැල්ල බස් නැවතුමෙන්
අම්බලන්ගොඩ බස් රථයකට ගොඩවුණු මා ගමනාන්තයට ටිකට්පතක් මිල දී
ගැනීමේ අරමුණින් කොන්දොස්තර මහතා සොයා බස් රථය පුරා දෑස් පා කළෙමි.
නමුත් මට දැකගත හැකිවූයේ ටිකට් පොත ද අතැතිව බස් රියේ එහාට මෙහාට
යන තද නිල් පැහැ ඩෙනිමට කහ පැහැ ටී ෂර්ටයක් හැඳ තනි කරලට කොණ්ඩය
ගෙතූ යුවතියකි. කොන්දොස්තර මහතෙකු නොව මේ බසයට සිටින්නේ
කොන්දොස්තර නෝනා කෙනෙකු බව මා දැනගත්තේ එවිටයි. ඈ ද මීට සුළු
මොහොතකට පෙර මා දුටු දෑ සමන් ගසේ මලක් මෙනැයි මට සිතුණි. සියලු දෑ
සමන් මල් අතු අගිසිවලට වී සුවඳ දිදී සිටින්නේ නැත. සොබාදහම් නියමයට
අනුව ඇතැම්විට ඒවා බිම මත පතිත වෙයි. නමුත් එහෙමයි කියා ඒවායේ
සුවඳෙහි අඩුවක් නැත.
බස් නැවතුමක් දුටු තැන ඈ මහහඬින් මගීන්ට හඬගසන්නීය. කිසිවෙකු බසයට
නැගි විට ගමනාන්තය විමසමින් ටිකට් කඩන්නීය. එවන් මොහොතක මා ඇගෙන්
දුරකතන අංකය ඉල්ලාගෙන ඊට පසුව එළැඹුණු මගේ ගමනාන්තයෙන් බැස
ගියෙමි. මේ සංවාදය සිදුවුණේ ඊට පසු දිනෙක දුරකතනය හරහායි.

“මගේ නම අසේකලා මධුවන්ති. වයස අවුරුදු 22යි. දැන් මාස හතරක් තිස්සේ
ගාල්ල අම්බලන්ගොඩ බස් එකේ සෙනසුරාදා, ඉරිදා දවස් දෙකේ විතරක්
කොන්දොස්තර විදියට වැඩ කරගෙන යනවා.”
සෙනසුරාදා ඉරිදා දින දෙකේ පමණක් පැමිණ ඇය මේ රැකියාව කරන්නේ සතියේ
සෙසු දිනවල ඇය වෘත්තීය පුහුණු ආයතනයක මෝටර් රථ අලුත්වැඩියාව
සම්බන්ධයෙන් පාඨමාලාවක් හදාරන නිසාය.
“දැන් අවුරුද්දක් විතර වෙනවා මම මෝටර් රථ අලුත්වැඩියා පාඨමාලාව
කරන්න පටන් අරගෙන. හැබැයි ඒ අවුරුද්ද බාගයක් විතර ගෙවිලා යද්දී
තාත්තා අසනීප වුණා. තාත්තාගේ අසනීපවීමත් එක්ක මටයි අම්මටයි ආර්ථික
දුෂ්කරතා ගොඩකට මුහුණපාන්න සිද්ධ වුණා.”
ඊට පෙර අසේකලාත් ඇගේ මවත් ජීවත් කරන්නට පියාගේ ජීවිකාව වී තිබුණේ
තැඹිලි විකිණීමය. ඔහු රෝගාතුර වීමත් සමඟ පවුලේ සියලු බර කරට ගන්න
සිද්ධ වී තිබුණේ පවුලේ තනි දරුවා වූ අසේකලාටය.
“මට ඕන වුණේ ඉගෙනගන්න ගමන් රස්සාවක් කරන්න. ඒක නිසා
පාඨමාලාව කරන ගමන් සෙනසුරාදා ඉරිදා දවස්වලට විතරක් කරන්න පුළුවන්
රස්සාවල් කිහිපයක්ම හෙව්වා. ඒත් එකක්වත් හරිගියේ නැති තැන යාළුවෙක්
මාර්ගයෙන් මේ රස්සාව ගැන දැනගන්න ලැබුණා.”
රැකියා පිපාසෙන් සිටි අසේකලා බස් කොන්දොස්තර රැකියාව දුටුවේ දෙවියන් දුන්
තෑග්ගක් ලෙසය. ඒ නිසා දෙවරක් නොසිතාම ඇය කොන්දොස්තරවරියක් වීමට
අවශ්‍ය සුදුසුකම් ද සපුරාගත්තාය.
“මුලින්ම මම කළේ කොන්දොස්තර බලපත්‍රය ගන්න අයැදුම් කරපු එකයි.
ඒකට මූලිකවම බලන්නේ සාමාන්‍ය පෙළ ගණිතය සමත් ද කියන එකය. මම
සාමාන්‍ය පෙළ ගණිතය සමත් වෙලා හිටියා විතරක් නෙවෙයි උසස් පෙළ
විභාගයත් සමත් වෙලයි හිටියේ.”
දොස්තර කොන්දොස්තර කියා නැත කුමන වෘත්තියක නිරත වීමටත් ඊට අවශ්‍ය
සුදුසුකම් සම්පූර්ණ කළ යුතුය. අසේකලා ද තම වෘත්තියට අදාළ සුදුසුකම් සපුරා
සිටි නිසා ඇයට බලපත්‍රය ලබාගැනීමට වැඩි කලක් ගත නොවුණි. ඉන්
නොනැවතුණ ඇය ඊට අවශ්‍ය පුහුණුව ද අවසානයේ ලබාගත්තාය.
“පුහුණුව ඉවරවෙලා මම මුලින්ම බස් එකේ වැඩ කරන්න ගියාම ගොඩක් අය
මගේ දිහා පුදුමෙන් වගේ බලන් හිටියේ. මම බස් එකට සෙනඟ ලෝඩ් කරද්දී

සමහරු ඇහුවා ඔයාට ඕක කරන්න පුළුවන් රස්සාවක්ද කියලා. ‘අද වෙද්දි
කාන්තාවෝ රට ලෝකය තනියම පාලනය කරන එකේ මට ඇයි බැරි බස්
එකකට සෙනඟ ලෝඩ් කරන්න’ ඒ වෙලාවට මම හිතුවේ එහෙමයි. හැබැයි
කාලයක් යද්දී මිනිස්සු මාත් එකත් සාමාන්‍ය විදියට ගනුදෙනු කරන්න
පටන්ගත්තා.”
අධ්‍යාපන කටයුතුවල නියැලෙන ගමන් රැකියාවක් කිරීම තරමක අභියෝගකාරී
කටයුත්තකි. ගැහැනු දැරිවියකට කොන්දොස්තරවරියක ලෙස කටයුතු කරන ගමන්
ඉගෙනීම් කටයුතු ද කිරීම ඊට වඩා අභියෝගකාරී කටයුත්තක් විය යුතුය.
“ඉගෙනගන්න ගමන් රස්සාවක් කරන එක හිතන තරම් පහසු දෙයක්
නෙවෙයි. ඒත් මම කොන්දොස්තර රැකියාව වගේම පාඨමාලාවත් හරිම
ආසාවෙන් කරන්නේ. මොකද මම පුංචි කාලේ ඉඳන්ම වාහනවලට ගොඩක්
කැමතියි. පුංචි කාලේ බස් එකක යද්දී වුණත් රියැදුරු බස් රථය එළවන විදිය
පවා මම හොඳට බලාගෙන ඉන්නවා. මට පුංචි කාලේ ඉඳන්ම ආසාවක්
තිබුණා මගේම කියලා බස් එකක් ගන්න. ඒ තරම් වත්කමක් මට නැති නිසා
වාහන හදන හැටි ඉගෙනගන්න මෝටර් රථ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන්
පාඨමාලාවක් හදාරන්න හිතුවේ. හැබැයි ඉතිං ඒ පාඨමාලාව ඇතුළෙත් ගැහැනු
ළමයෙක්ට කියලා ඉන්නේ මං විතරයි.”
ඇගේ එකම අරමුණ කෙදිනක හෝ තමාගේම කියා ගරාජයක් අරඹා බස් රථයක්
මිලදී ගැනීමය. ඇය දැන් නිරතවන කොන්දොස්තර රැකියාව ද ඊට ආශිර්වාදයක්
කරගෙන සිටින්නේ ඉන් ලබන අත්දැකීම් ද තම අනාගත අරමුණට ආයෝජනයක්
ලෙස ද සළකා ගෙනය.
“මම නිතරම විශ්වාස කරන දෙයක් තමයි දුප්පත්කම කියන්නේ අපේ හිත්වල
විතරක් තියන දෙයක් කියලා. කතාවකුත් තියෙනවනේ දුප්පත් වෙලා ඉපදෙන
එක නෙමෙයි වරද දුප්පත් වෙලා මැරෙන එකයි කියලා. ඒක නිසා
මහන්සිවෙලා වැඩ කරලා මුදල් ඉපැයුවොත් දුප්පත්කම වෙනස් කරගන්න
පුළුවන්. ඒ වෙනුවෙන් අපි කරන්නේ හොරකමක් වංචාවක් නෙවෙයි නම්
ලැජ්ජවෙන්නෙ බයවෙන්නෙ මොකටද? මම මගේ රැකියාව කරද්දී නිතරම
හිතන්නේ ඒ විදියටයි.”
නෙත්මි තෂාරා