නවතම ප්‍රවෘත්ති

එදා මගේ නම කියද්දි හිතාගන්න බැරිවුණා ‘ධරණී Sunsilk කුමරිය’ ඉසුරි නිම්තරා

ඒ පසුගිය දෙසැම්බර් 07 වැනි සෙනසුරාදා. වෙලාව හවස 6.30ට වගේ ඇති. එදා
කොළඹ විහාරමහාදේවි උද්‍යාන එ‍ළිමහන් රංග පීඨයේ ඉදිකරලා තිබුණු ආලෝක
ධාරාවලින් හැඩවුණු මනරම් වේදිකාව මත හැඩකාර තරුණියෝ 16ක්
පෙළගැහිලා. ඒ හැම මුහුණකම හරි ලස්සනට හිනාමල් පිපිලා තිබුණත් ඒ හැම
හිනාමලක් මැද්දෙම තිගැස්මකුත් රැඳිලා තිබුණා කියලා මට වගේම ඔවුන් දිහා
වේදිකාව පහළ ඉඳගෙන බලාගෙන හිටපු කාට වුණත් දැනෙන්න ඇති. එතැන ඒ
විදියට පැවැත්වෙමින් තිබුණේ ‘ධරණී කුමරිය’ තරඟය. කියවන ඔබ දැනටමත්
දන්නවා ශ්‍රී ලංකාවේ අංක එකේ කාන්තා පුවත්පත මෙන්ම මෙරට වැඩිම
අලෙවිය තියෙන කාන්තා පුවත්පත වෙන ‘ධරණී’ පුවත්පත පසුගියදා වසර 4ක්
සම්පූර්ණ කළ විත්තිය. ඒ නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ධරණී සිත් දිනූ සිව්
වසක් with Sunsilk’ උත්සවයේ තිබුණු සුවිශේෂී අංගයක් තමයි ‘ධරණී කුමරිය’
තරඟය. ඒ තරඟය ජයගන්නා තරුණියට අත පිරෙන්න තෑගි විතරක් නෙවෙයි
හිත පිරෙන තෑග්ගකුත් දෙන්න අපි පොරොන්දු වුණා. ඒ තමයි ඒ ධරණී කුමරිය
විදියට අභිෂේක ලබන තරුණියට ‘ධරණී’ කවරයට පෙනී ඉන්න අවස්ථාවක්
ලබාදීම. ජනප්‍රිය රංගන සහ රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙන ගයත්‍රි ඩයස්
මහත්මිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ලේ අවසන් තීරණය අනුව ඒ රාත්‍රියේ ධරණී
කුමරිය බවට පත්වුණේ මීගමුවේ ඉසුරි නිම්තරා. ඉතින් පොරොන්දු වූ විදියටම
ඉසුරිගේ රුවින් මෙවර ‘ධරණී’ කවරය සරසන ගමන් ඒ ජයග්‍රහණය ගැන කතා
කරන්න ඉසුරිට අපි කතා කළා.

*මේ දවස්වල ඉසුරි ඉන්නේ හුඟාක් සතුටින් වගේ?
(සිනාසෙමින්) සතුටුවෙන්න හේතුවක් තියෙනවනේ. ඉතින් සතුටින් ඉන්නවා.

*ඉසුරිගේ වයස කියන්න පුළුවන්ද?
දැන් මට වයස අවුරුදු 18ක් වෙනවා.

*ඒ කියන්නේ පාසල් ගිහින් අවසන්?
ඔව් මං පාසල් ගිහින් ඉවරයි. මේ වෙද්දි රූපලාවණ්‍ය ඩිප්ලෝමා එකක් කරනවා.

*ඔබ තමයි පසුගියදා ‘ධරණී කුමරිය’ බවට පත්වුණේ. මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. එදා මගේ නම කියද්දි මට හිතාගන්න බැරිවුණා.

*එහෙම ජයග්‍රහණයක් ගැන ඉසුරිට හීනයක් තිබුණද?
මං පුංචි කාලේ ඉඳන් ලස්සනට අඳින්න, පිළිවෙලට ඉන්න කැමතියි. ඉතින් කවදා
හරි මෙහෙම තරඟයකට ඉදිරිපත්වෙලා බලන්න හිතුණා.

*ඉසුරිගේ ඒ හීනය සැබෑ කරගන්න ධරණී කුමරියම තෝරගත්තේ මොකද?
මං ධරණී පත්තරේ හැමදාම බලනවා. ඒ බලද්දි තමයි ධරණීට අවුරුදු 4ක් පිරීම
නිමිත්තෙන් මෙහෙම තරඟයක් තියෙන බව දැක්කේ. මගේ හිත කිව්වා තරඟෙට
ඉදිරිපත් වෙලා බලන්න කියලා.

*ජයග්‍රහණය කරයි කියල හිතුවද?
ඇත්තටම මුලින් 25 අතරට තේරුනාම පොඩි බලාපොරොත්තුවක් ඇතිවුණා. ඒ
වුණාට ලොකු විශ්වාසයක් තිබුණේ නම් නෑ. ඒත් අවසන් පහ අතරට තේරුනාම
නම් දිනයි කියලා විශ්වාසයක් ඇතිවුණා.

*ඒ ජයග්‍රහණයත් එක්ක ඉසුරිගේ ජීවිතේ වෙනස්වුණේ කොහොමද?
මම සාමාන්‍ය පවුලක ළමයෙක්. පවුලේ වෙන ඉන්නේ අම්මයි, තාත්තයි, ආච්චියි,
නංගියි. ඒ එක්ක එදා ලැබුණු මුදල් ත්‍යාග සහ තෑගිබෝග පවුලට ලොකු හයියක්
වුණා. ඒ වගේමයි පවුලේ අය, යාළුවෝ, ගමේ අය මේ ජයග්‍රහණය ගැන හුඟාක්
සතුටු වුණා. ඒ වගේම මේ ජයග්‍රහණය මගේ ඉදිරි ගමනටත් ලොකුම හයියක්.

*මෙවර ‘ධරණී’ කවරය සරසන්නේ ඔබ. ඒ ගැනත් සතුටු ඇති?
‘ධරණී’ අතට ගන්න වාරයක් පාසා මට හිතුණු දෙයක් තමයි ‘අනේ මටත් කවදා
හරි ධරණී කවරෙට ඉන්න ලැබුණොත්’ කියන එක. ඒ අවස්ථාව මෙදා සැරේ මට
ලැබුණා. ඉතින් කියාගන්න බැරි තරම් මට සතුටුයි.

*ඉසුරිගේ අනාගත බලාපොරොත්තු මොනවද?
ලොකුම බලාපොරොත්තුව රූපලාවණ්‍ය පැත්තෙන් ඉහළට ගිහින් දවසක රටම
දන්න රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙන්න.

රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූප – චමත් ඒකනායක
පසුතලය – සෝලිස් හොටෙල්, පිටකෝට්ටේ