නවතම ප්‍රවෘත්ති

උපකුලපති තාත්තා අතින් උපාධිය ගත් දෝණී

138 බසයක නැගී ගමන් කරන බස් මගියෙකුට තුම්මුල්ල හංදිය පසුවෙත්ම එළැඹෙන රීඩ් මාවතත්, ඒ
දෙපස ඇති මැයි මාර ගසුත්, එකී ගස් පාමුල පොත් මිටි තුරුළු කරගෙන සිටින කොළඹ සරසවි සිසුන්ගේ
දසුනත් යන මේ සියල්ල කිසිවිටෙකත් මඟ නොහැරෙයි. මේ කියන්නට යන්නේ ඒ ලෙස මීට වසර දෙකකට
ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයට ආ ගිය සිසුන් පිරිසක් ගැනය. එදා ශාස්ත්‍රපති උපාධිය ලබාගැනීමේ
අරමුණෙන් කොළඹ විශ්වවිද්‍යාලයට ආ මේ සිසුන්ගේ වසර දෙකක අධ්‍යයන කාලසීමාව හීයක වේගයෙන්
ගෙවී ගිය අතර පසුගියදා උපාධි ප්‍රධානෝත්සවයට ද දින නියම විය.
ඒ අනුව නියමිත දිනයේදී ඔවුන් සියල්ලෝම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට රොදබැඳ
කුලපති ස්වාමීන්වහන්සේ පින්බර සුරතින් තම උපාධිය ලබාගැනීමට නියමිත වේලාව පැමිණෙනතුරු ඇඟිලි
ගැන්නාහ. නමුත් හදිසි හේතුවක් මත කුලපති ස්වාමීන්වහන්සේට එදින උපාධි ප්‍රධානෝත්සවයට වැඩම
කිරීමට හැකියාවක් නොමැති බව දන්වා එවා තිබිණි. ඒ නිසා කුලපති ස්වාමීන්වහන්සේ වෙනුවට එදා
උපාධිධාරීන්ට උපාධි පිරිනමන කටයුත්ත පැවරුනේ උපකුලපති එච්.පී.කරුණාරත්න මහතාටය.
එකපෙළට විත් එතුමාගේ සුරතින් උපාධි ලබාගත් සිසුන් අතර මිදෝරී කරුණාරත්න ද සිටියාය.
උපකුලපතිතුමාගේ සුරතින් උපාධිය ලබාගැනීම අනෙක් සිසුන්ට වඩා මිදෝරිට විශේෂ අවස්ථාවක් වූ අතර
උපකුලපතිතුමාට ද එය විශේෂ අවස්ථාවක් විය. මේ විශේෂත්වය නිසාම ඇය උපකුලපතිතුමා අතින්
උපාධිය ලබාගන්නා අයුරු හුවා දැක්වෙන ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය පුරා සැරිසැරුවේය.
ඒ ‘පියා අතින් තම උපාධිය ලබාගන්නට වරම් ලද උපාධිධාරී දියණිය’ යන ශීර්ෂපාඨයත් සමඟය. මිදෝරි
කරුණාරත්නගෙන්‍ම මේ ගැන අසා දැනගන්නට අවැසි වූයෙන් අප ඇයව දුරකතනය හරහා සම්බන්ධ
කරගත්තෙමු.
“මම ඇත්තටම ලංකාවට ආවේ උපාධි ප්‍රධානෝත්සවයට දවස් දෙකක් විතර
තියලා. එතකන් මම ජපන් ශිෂ්‍යත්වයකට විදේශගතවෙලයි හිටියේ. ඒ
එනකොටත් කුලපති හාමුදුරුවන්ගේ අතින් උපාධිය ගන්න විදිය ගැන මගේ

හිතේ චිත්‍රයක් ඇඳිලා තිබුණා. මම හිතන්නේ උපාධි ප්‍රධානෝත්සවයට කලින්
හැම කෙනෙක්ම එකපාරක් හරි හිතින් ඒ දර්ශනය මවාගන්නවා.
හැබැයි හදිසි අසනීප තත්ත්වයක් නිසා එදා කුලපති හාමුදුරුවන්ට ඒ
අවස්ථාවට වඩින්න වුණේ නැහැ. ඒ වගේ වෙලාවක සාමාන්‍යයෙන් සිද්ධ
වෙන්නේ කුලපති නැත්නම් උපකුලපති අතින් උපාධිය පිරිනැමීම. ඒ වෙද්දී
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වුණේ මගේ තාත්තා එච්.පී.කරුණාරත්න.
ඒ නිසා ඔහුට තමයි කුලපති වෙනුවට එදා උපාධි පිරිනමන්න සිද්ධ වුණේ. ඒ
විදියට තමයි මට මගේ ශාස්ත්‍රපති උපාධිය තාත්තා අතින් ලබාගන්න
අවස්ථාව ලැබුණේ. ඊටත් වඩා විශේෂම දේ මීට අවුරුදු තිස්දෙකකට කලින්
තාත්තා ලබාගත්තු ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධියම එදා තාත්තා අතින්
මටත් ලබාගන්න පුළුවන් වීම.”
“ඒ කියන්නේ ඔබ පියාගේ අඩිපාරේම ගියපු දියණියක්” මා එසේ සිතුවා පමණක් නොව
සිතට නැගුණු පරිදිම ඒ වචන පෙළ මුවින් ප්‍රතිරාව කළෙමි.
“ඔව්. මට පොඩි කාලේ ඉඳලම ඕන වුණේ තාත්තා වගේ වෙන්න. තාත්තා
පාසල් කාලේ ඉගෙනගත්ත විදිය, බාහිර ක්‍රියාකාරකම්වල නිරත වුණ විදිය
මටයි අක්කාටයි නිතරම කියනවා. ඒ වගේම තමයි තාත්තා එක්ක
ගමන්බිමන් යද්දී නිතරම වගේ තාත්තගේ ගෝලයෝ මුණගැගෙනවා. ඒ අය
තාත්තාගේ හොඳ කියද්දී මටත් හිතුණා මමත් කවදහරි දවසක තාත්තා
වගේම කථිකාචාර්යවරියක් වෙනවා කියලා. එහෙම හිතලා තමයි පාසල්
කාලේ ඉඳලම ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන්ගත්තේ.”
එම අරමුණත් පෙරදැරි කරගෙන ඇය කොළොන්නාව බාලිකා විද්‍යාලයෙනුත් කොළඹ සිරිමාවෝ බාලිකා
විද්‍යාලයෙනුත් අකුරු උගත්තාය. එමෙන්ම ඈ පොතපතට සේම විෂය බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් ද
වැඩි කාලවේලාවක් වෙන් කළාය.
“මම නෙට්බෝල්, කැඩෙට් වගේම හෙල්ල විසි කිරීම වගේ ක්‍රීඩාවලට සහභාගි
වුණා. අවසානයේ පාසලේ ක්‍රීඩා නායිකාව බවටත් පත්වුණා. ඒ අතරේ විෂයක්
විදියට නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. ඒත් එක්කම මට අවස්ථාව ලැබුණා
පාසල් වේදිකා නාට්‍යවලට සහභාගි වෙන්න. ඊටපස්සේ හොඳම පිටපත්
රචනය, හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මාන පවා ලබාගත්තා. ඒ
විදියට නාට්‍ය ක්ෂේත්‍රයට යොමුවීමත් එක්ක ජයනි කපුගේ සංගීත ගුරුතුමියව
මුණගැහුනා. ඒ මුණගැහීම තමයි මිදෝරි කියන ගායිකාව බිහිවෙන්න ප්‍රධාන
වශයෙන්ම බලපෑවේ. අවසානයේ මිදෝරි කියන නම ගායිකාවක් විදියට 2021

වසරේ සිරස නාලිකාවෙන් සංවිධානය කරපු 'The voice' වේදිකාවෙනුත්
ඇහුණා. මම එතකොට හිටියේ විශ්වවිද්‍යාලයේ තුන්වැනි අවුරුද්දේ.”
එසේ බැලූ කළ මිදෝරි ගායිකාවක, රංගන ශිල්පිනියක ලෙස පමණක් නොව ක්‍රීඩිකාවක ලෙස ද දස්කම්
දක්වන්නීය. නමුත් ඒ සියල්ලටම වැඩ ඇගේ සිහිනය වුණේ කථිකාචාර්යවරියක් වීමටය.
“ඉගෙනගන්න ගමන් බාහිර වැඩවල නිරත වෙන එක හිතන තරම් පහසු
දෙයක් නෙමෙයි. ඒ හැම මොහොතකම මගේ තාත්තා අම්මා වගේම අක්කත්
මට හයියක් වෙලා මගේ පිටිපස්සෙන් හිටියා. අවසානේ නාට්‍ය හා රංග
කලාව, ව්‍යාපාර සංඛ්‍යායනය වගේම ආර්ථික විද්‍යාව කියන විෂයන්වලින් උසස්
පෙළ සමත් වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා හා සමාජ විද්‍යා
පීඨයට තේරී පත්වුණා. එතැනදී ආර්ථික විද්‍යා විෂයට විශේෂිතව ප්‍රථම පංති
සාමාර්ථයක් එක්ක 2022 වසරේ මං මගේ ප්‍රථම උපාධිය ලබාගත්තා.
ඊටපස්සේ එතැනින් නතර නොවී පසුගියදා මම ලබාගත්ත ආර්ථික විද්‍යාව
විශේෂිත ශාස්ත්‍රපති උපාධිය ලබාගන්න කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට
ඇතුළත් වුණා. මම විශ්වවිද්‍යාලයෙන් බැහැරවුණ ගමන්ම අනිත් උපාධිය
හදාරන්න හිතුවේ තව මම ඒකට කාලය ගත්තොත් කාලයත් එක්ක විෂය
කරුණුත් අමතක වෙන නිසයි. අනිත් එක මගේ එකම අරමුණ
කථිකාචාර්යවරියක් වෙන එක. ඒ අරමුණට යන්න ඉහත කියපු උපාධි මූලික
සුදුසුකම් වුණා.”
ඇගේ එම සුදුසුකම් නිසාම වැඩිකලක් ගතවන්නට මත්තෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක
කථිකාචාර්යවරියක් ලෙස සේවය කිරීමට ඇයට ඉඩ ප්‍රස්ථාව සැලසුනි. ඇගේ කථිකාචාර්ය සිහිනය එලෙස
මල්ඵල ගැන්වෙද්දී ඇය ජපන් ශිෂ්‍යත්වයකටද අයැදුම් කළාය. එයටද තේරීපත්ව ජපානය බලා ගිය ඇය
නැවත ලංකාවට පැමිණියේ පසුගියදා පැවති උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වන්නටය.
“මෙතැනින් නතර වෙන්නැතුව ඊළඟ අවුරුද්දෙදි මම මගේ ආචාර්ය උපාධියත්
හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”
මිදෝරි කරුණාරත්න එලෙස ඇගේ කතාබහේ අවසානයට මුලපුරද්දී ඇගේ පියා වන කොළඹ
විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.පී.කරුණාරත්න මැතිතුමාට ද පවසන්නට යමක් තිබිණි.
“මේ වගේ සිද්ධි ඉතිහාසයේ තවත් සිද්ධ වෙලා ඇති. හැබැයි එහෙම දෙයක්
සිද්ධ වුණත් සිද්ධ වෙන්නේ හරි අහම්බෙන්. මොකද උපාධියක් පිරිනමන්න
පුළුවන් තනතුරකට මම පත්වෙලා ඉන්න ඕන වගේම මගෙන් උපාධිය
ලබාගන්න අවශ්‍ය සුදුසුකම් දුවත් සපුරාගෙන ඉන්න ඕන. ඒ සුදුසුකම් අපි
දෙන්නම සපුරගෙන හිටපු නිසා මගේ අතින් දුවට උපාධිය පිරිනමන්න

අහම්බෙන් හරි අවස්ථාව ලැබුණා. අනිත් එක කොළඹ විශ්වවිද්‍යාලය කියන්නේ
ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලයයි. ඒ හරහා පසුගිය අවුරුදු දෙකහමාර තුළ
තිස්තුන්දාහකට අධික සිසුන්ට උපාධි වගේම ඩිප්ලෝමා පිරිනමන්නත් කොළඹ
විශ්වවිද්‍යාලය සමත්වෙලා තියෙනවා. ඒ තරම් පිළිගැනීමක් තියෙන
විශ්විද්‍යාලයකින් උපාධිය ලබාගන්න මගේ දුවට වගේම අනිත් උපාධිධාරීන්ටත්
හැකිවීම ගැන මට තියෙන්නේ සතුටක්. ඒ සතුට එදා ඒ අයගේ මුහුණුවලිනුත්
මම දැක්කා.”
නෙත්මි තෂාරා