Latest News

ඔය මොන ‘යකා’ වුණත් දමනය කරන්න ආදරේට පුළුවන්

ප්‍රේමය, විවාහය ඒකාකාරී වුණාම මෙලොව රහක් නැතිවෙලා එපාවෙන එක
සාමාන්‍ය දෙයක්. ගොඩක් දෙනෙක් ඇත්තටම අද වෙද්දී සම්බන්ධතාවල හිරවෙලා
ඉන්නේ කර කියාගන්න දෙයක් නැති නිසා. එක්කෝ දරුවන් නිසා. ඒ විදියට
සම්බන්ධතා ගල්වෙලා, ජීවිතේ එක තැන නතර වෙලා ඉන්න අයට සතුටින්
ඉන්න මිනිස්සු දැක්කාම හිතෙනවා අනේ එයාලා කොහොමද මෙච්චර සතුටින්
ඉන්නේ කියලා.
අනියම් සම්බන්ධතා, දික්කසාද, කාමරවල තනිව විසීම, දරුවන් එක්ක නිදාගැනීම
වගේ තත්ත්වවලට මුල්ම විෂබීජය එකතුවෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා
නෙවෙයි, ඒකාකාරී සම්බන්ධතා නිසා.
මගෙත් සැමියාගේත් සම්බන්ධතාවය ඉඳහිටලා ඒකාකාරී වෙනකොට මට ඒක
දැනෙනවා.
උදේට “good morning” කියනවා.
“තේ හදන්නද” අහනවා.
රෑට “good night” කියනවා.
දවල්ට “අපි කමුද” අහනවා.
“අසවල් බිල් ටික ගෙවන්න තියෙනවා” කියනවා.
“රෑට අපි මොනවද කන්නෙ” අහනවා.

“ඔලුව රිදෙනවා හරියට කලින් නිදාගන්න ඕන” කියනවා.
සමහර දවස්වලට එහෙම හරි වචන කීපයක් හුවමාරු වෙන්නෙත් හරි අඩුවෙන්.
එකිනෙකාගේ මූණ බලන්නෙත් කලබලෙන්. එයා කීයට නිදාගන්න ඇඳට ආවද
කියලා දන්නෙත් නෑ.
ඉතින් එහෙම වෙලාවට මම ම කල්පනා කරනවා ‘අපි සෑහෙන්න ඈත් වෙලානෙ’
කියලා. ඊටපස්සේ එයාට පුංචි කෙටි පණිවිඩයක් යවනවා මෙහෙම… ‘හවසට
බලාජි එකෙන් අනියන් තෝසේ කමුද… රසම රස ඉඟුරු තේ එක්ක…’ කියලා.
හැරෙන තැපෑලෙන් උත්තර එනවා… ‘නියමයිනේ… කලින් යමු එහෙනම්…’
ඒ එක්කම පොඩි චෝදනාවකුත් එනවා… ‘ඇති යාන්තම් ඔයාට මා එක්ක කතා
කරන්න වෙලාවක් ආවා… අඩුමතරමේ තෝසේ කන්නවත් අපට වෙලාවක්
ආවානේ. ඒකත් මදැයි’ කියලා. හිනා මූණක් එක්ක හදවතකුත් සටහන් කරලයි
ඒ පිළිතුර එන්නේ.
ඒක දැක්කාම මගේ හිත මහා වැස්සක් වැහැලා නිදහස් වුණ අහසක් වගේ සිසිල්
වෙනවා. පුංචි හිස්බවක් එක්ක දුකකුත් දැනෙනවා. එතකොට මම හරි ඉක්මනට
තේරුම් ගන්නවා මට කොතැනක හරි චුට්ටක් වැරදුනු බව. ඉතින් මම ඒක ආයෙ
නොවෙන්න ඉතා ඉක්මණින් නිවැරදි කරගන්නවා. මොකද මම මගේ ළඟම
කවයේ සම්බන්ධතාවලට හරිම ආදරෙයි.
සුදූ, වස්තුවේ, මැණිකේ, මැණික, බබා ඔය වගේ පුංචි වචනවල තියනවා
පුදුමාකාර බලයක්. ඒ බලගතු වචනවලට පුළුවන් ප්‍රේම සම්බන්ධයක් විතරක්
නෙවෙයි විවාහ සම්බන්ධයක් වුණත් හුස්ම වැටෙමින් අවසන් මොහොත දක්වාම
හයියට ඇදගෙන යන්න. සෞම්‍ය සම්බන්ධයක් ලෙසින් පවත්වගෙන යන්න.
දෙන්නාගෙන් එක්කෙනෙක් කේන්ති අරගෙන කියවගෙන රණ්ඩු කරගෙන
එනකොටම “ඇයි බබා ඔයා මේ කේන්ති අරං… චුට්ටක් එන්නකෝ… මෙතනින්
ඉඳගන්න… ටිකක් නිවෙන්නකො… අපි හෙමිං මේක විසඳගමු… හරි මම වැරදි
නම් මට මුලින්ම සමාවෙන්නකෝ…” කියලා අර බලගතු වචනවලින් දෙකක්
තුනක් පාවිච්චි කරලා බැලුවොත් ඔබට වැටහේවි මම මේ කියන්නේ බොරුවක්
නෙවෙයි කියලා.
නිවුනට පස්සේ පිළිවෙලට හෙමිං ප්‍රශ්නය විසඳගන්න මට නම් හරිම පහසුයි.
සමහරවිට හිත රිදිලා බිඳිලා දෙන්නා දෙපැත්තට වෙන්න තිබුණු ප්‍රශ්න හරි

ලස්සනට විසඳෙන්නෙ එක්කෙනෙක් හරි නිවුණාම මිසක්, දෙන්නම එක වගේ
ඇවිලුනාම නෙවෙයි.
හැබැයි අපි තරම් කවුරුවත් නොදන්න අපේ ප්‍රශ්න සමහර වෙලාවට බාහිරට
නිරාවරණය වුණාම, සමාජය ඒවාට මෙන්න මෙහෙම උත්තර දෙනවා.
“ඔය හැමදෙයක්ම හරි යනවා හොඳට සල්ලි තිබුණා නම්. සල්ලි ප්‍රශ්න එද්දි
ප්‍රේමය ආදරය එපාවෙනවා.”
“ඔය හැමදෙයක්ම හරි යනවා දෙන්නම වෙනස් වුණා නම්.”
“ඕවා හරි යනවා උද්දච්චකම, බොරුව නතර වුණා නම්.”
“ඕවා ජානවල වැරදි. ඕවට කවුන්සිලින් කරලා වැඩක් නෑ, ඕවට දොස්තරලටත්
කරන්න දෙයක් නෑ.”
සමාජය අපේ ප්‍රශ්න දිහා බලලා එහෙම කිව්වට ඇත්ත ඒකම නෙවෙයි. බඳින්න
කලින් හොයලා බලන්න, යාළුවෙන්න කලින් හොයලා බලන්න කීවට ශිව
පාර්වතීටවත් බැරිවුණා හරියටම ගැළපෙන්න. මම අහලා තියනවා ශිවට තරහා
එනකොට පාර්වතී පිපාසයට වතුර දුන්නා කියලා. පාර්වතී කලබල වෙනකොට
ශිව ඇයට ඇසෙන්නට බටනලා වාදනය කළා කියලා.
ඉන්නම බැරිනම් වෙන්වෙන එක වෙනමම කතාවක්. හැබැයි පටන්ගත්තු
ප්‍රේමයක්, බැඳගත්තු විවාහයක් ඒකාකාරී නොවී පුංචි පුංචි දේවල්වලින් වෙනස්
කරගත්තොත් ඒ සම්බන්ධය කවදාවත් බිඳවැටෙන්නේ නෑ…
මමත් මගේ සැමියාත් තරහා වුණාම යාළුවෙන්නත් මොකක්ම හරි විදියක් අපි
දෙන්නා හොයාගන්නවා. එක්කෝ මොකක් හරි හිනායන පෝස්ට් එකක් ශෙයා
කරගෙන කඳුළු එන්න හිනාවෙනවා. නැත්නම් පෙට්ටිකඩේකින් වඩේ දෙකක්
කාලා ප්ලෙන්ටියක් බොනවා. එහෙමත් නැත්නම් “ගෙදර බඩු මොකුත් නෑ. මට
බෑ තනියම යන්න. එනවාද යන්න” කියලා අහනවා.
අතමිට තියන දවසකට දෙන්නා එක්ක රස කෝපි කෝප්පයක් බොන්න යන එක,
බුෆේ එකකට ගිහින් කෑම ටිකක් කන එක, ෂොපින් ගිහින් පුංචි රස්තියාදුවක්
ගහන එක සම්බන්ධතා හයිය වෙන්න හේතු බව මම දන්නෙ මගේ
අත්දැකීමෙන්මයි.
හැමෝගෙම සම්බන්ධතා එකිනෙකට වෙනස්. ඒ තුළ ඇති ගනුදෙනු වෙනස්. ඔය
මොන සම්බන්ධයක් වුණත් අපි පටන්ගත්තේ ඒ සම්බන්ධය ජීවිතයට ඕන එකක්

කියලා අපි හිතුව නිසානේ. එහෙනම් තම තමන්ගේ සම්බන්ධතාවලට ආවේණික
විදියට සතුටින් ඉන්න විදි හොයාගන්න ඕනත් අපිම තමයි.
එක්කෙනෙක් නෙමෙයි දෙන්නම තමන්ගේ විවාහය හෝ ප්‍රේමය කියන සම්බන්ධය
ප්‍රථම රාජකාරිය බවට පත්කරගන්න ඕනේ. එදිනෙදා ජීවිතේ අනිත් හැමදෙයක්ම
සැහැල්ලු වෙන්නේ සුන්දර වෙන්නේ ගෙදර සතුට පිරුණු තැනක් වුණොත් විතරයි.
ඒ නිසා තමන්ගේ සම්බන්ධතා ඇතුළෙ සතුට නෑ කියලා චෝදනා කරන්න කලින්
චුට්ටක් වෙනස් වෙලා ආපහු පාරක් උත්සාහ කරලා බලන්න කියලා මම ආදරෙන්
ඉල්ලනවා. අපි කතාවටත් කියනවනේ ‘දෙන තරමට ලැබෙනවා’ කියලා. ආදරේ
වුණත් එහෙමයි. දෙන තරමට ආදරේ ලැබෙනවාමයි. ඔය මොන යකා වුණත්
දමනය කරන්න ආදරේට පුළුවන්. ඒ නිසා අතහැරලා දාන්න කලින් තවත් පාරක්
උත්සාහ කරලා බලන්න.
ජනාලි මදුරසිංහ