මම මූණදුන්නේ මොනතරම් ඛේදනීය අත්දැකීමකටද කියලා දැනුණේ පොත ලියන්න පටන්ගත්තමයි… සොනාලි දැරණියගල
මීට විසි වසරකට උඩදී ‘සොනාලි දැරණියගල’ කී සැනින් ඒ කවුදැයි යන වග මෙරට බොහෝ පිරිසක්
දැනගෙන සිටියහ. නමුත් ඒ දැනගෙන සිටියේ 2004 වසරේදී ආ සුනාමියෙන් සියල්ල අහිමි වී ගිය අපේ
කාලයේ පටාචාරවක ලෙසිනි.
එහෙත් අද වනවිට කවුරුත් සොනාලිව අඳුනන්නේ ජාත්‍යන්තර සාහිත්‍ය ලෝකය උඩුයටිකුරු කරමින් ඉහළ
අලෙවියක් වාර්තා කළ 'WAVE' (වේව්) නම් ප්‍රසිද්ධ කෘතිය ලියූ සම්මානලාභී ලේඛිකාවක ලෙසිනි. එක්
අවස්ථාවක සියල්ල අහිමිව ගිය ඇය පසුව ලේඛිකාවක් වූ ආකාරය පිළිබඳව වරක් විදෙස් මාධ්‍යයකට පවසා
තිබුණි. ඒ ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.
1964 වසරේදී කොළඹ අහස යට ඉපදුණු සොනාලි උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියේ දිනෙක
ආර්ථික විද්‍යාඥවරියක් වීමේ අදිටනෙනි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව හැදෑරූ ඇය පසුව
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගෙන ඒ හීනයට යන අතරවාරයේදී ඇයට අපූරු
සරසවි මිතුරකු හමුවිය. ඒ කේම්බ්‍රිජ් සරසවියේදී හමුවූ ස්ටීවන් ලිසන්බර්ග් ය. ටික දිනක් යද්දී
දෙදෙනාටම හොරා එකී මිතුරුකම ප්‍රේමයකට හැරුනා පමණක් නොව එදා එකී ප්‍රේමය කෙළවර වූයේ
විවාහයකිනි.
සොබාදහමට අසීමිතව පෙම් කළ ඔවුන් දෙදෙනාගේ ලොකුම විනෝදාංශය වූයේ සංචාරය කිරීමය. කාලය
ගතවී දරු දෙදෙනෙකුගේ මව්පියන් වුවද ඔවුන් ඒ පුරුද්ද කීයටවත් අත්හැරියේ නැත. එහි ප්‍රතිඵලයක්
ලෙසයි ඔවුන් පවුලේ අය ද කැටුව 2004 දෙසැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණියේ. ඒ අතර සොනාලිගේ
සැමියා, දරු දෙදෙනා පමණක් නොව දෙමාපියන්, ඇගේ මිතුරියක මෙන්ම එම මිතුරියගේ දෙමාපියන් ද විය.
එහිදී ඔවුන් නවාතැන් ගත්තේ යාල අභයභූමිය කිට්ටුව තිබුණු සංචාරක හෝටලයකය.
ඒ දෙසැම්බර් 26 වැනිදාය. සොනාලි උදෑසනම තමා නැවතී උන් කාමරයේ කවුළුවෙන් මුහුද දෙස බලාගන
සිටියේ කොතරම් බලා සිටිය ද එය එපා නොවන අන්දමේ දසුනක් වූ හෙයිනි. එකී දසුනම තවත් සුළු
මොහොතකින් හිත මරන වියරු දසුනක් වෙන බවක් ඇය නිකමට හෝ සිතුණේ නැත. ඒ මොහොතේ සැමියා
මෙන්ම දරු දෙදෙනාත් සිටියේ ද සොනාලි සමීපයෙනි.
ගතවූයේ නිමේෂයකි. එක්වරම ඇය දුටුවේ කළු පාට රකුසෙකු මෙන් වියරු වැටුණු මුහුදු රළක් ඉහළට නැග
තමාගේ දෙසට එකඑල්ලේ එන බවයි. සොනාලිට හිතන්නට හෝ වෙලාවක් තිබුණේ නැත. ඇය හැකි
ඉක්මණින් සැමියාත් දරු දෙදෙනාත් සමඟින් දිවයන්නට සූදානම් වුව ද ඔවුන්ගේ වාසනාවට වඩා රළ පහර
ඉස්සර විය. සුනාමි රළ පහරට හසුව ඔවුන් සීසීකඩට විසිරී ගිය අතර එලෙස සීසීකඩ ගිය සියලුදෙනා
අතරේ මඩවගුරක යාන්තමට හුස්ම අල්ලමින් සිට නැවතත් ජීවත්වෙන්නට වාසනාව හිමිවුණේ සොනාලිට
පමණි.
“එදා මං හිතුවා මං වගේම මගේ පවුලේ අයත් බේරිලා ඇති කියලා. මං
හිතාගෙන හිටියේ ඔක්කෝම මිනී ගේනකල් බලන් ඉඳලා ඒ අය හැමෝම
එතැන හිටියොත් මමත් මැරෙන්න.”
ගෞතම බුදුන් දවස පටාචාරාවට සිදුවූ දේම වෙනස් හැඩයකින් එදා මේ කියන සොනාලිට සිදුවී තිබුණි.
එම නිසාම ඇය මන්දමානසික ගැහැනියක ලෙස හැසිරෙන්නට විය. පටාචාරාවට පිහිට වෙන්නට එකල
බුදුරජුන් සිටිය ද එවර සොනාලිගේ පිහිටට එවැනි කෙනෙකු සිටියේ නැත. එතැන් පටන් ඈ දෙවසරක
කාලයක් ජීවත්වූයේ කොළඹ පිහිටි නෑදෑ නිවසකය. අනතුරුව ඇය යළි ලන්ඩනය බලා ගියේ තමන්ට
සියල්ලම අහිමි කළ රටක ජීවත්වීමට හිත් ඉඩ නොදුන් නිසා විය යුතුය.
ඇය ලන්ඩනයේ පිහිටි තම නිවසට ගොස් මුලින්ම කළේ නිදන කාමරයේ වූ ඇඳ මත වැතිරුණු එකය. වසර
දෙකක් ගතවුණද ඇයට එහි සැමියාගේ මෙන්ම දරුවන්ගේ සුවඳ පරෙස්සම් වී තිබුණි. ඒ සුවඳ මැදින්
සොනාලි තම කඳුළු කතාව දවසින් දවස අකුරු කරන්නට විය. 2013 වසරේදී ‘රැල්ල’ යන අරුත් දෙන
'WAVE' (Life and Memories after the Tsunami) කෘතිය දොරට වැඩියේ එහි ප්‍රතිඵලයක්
ලෙසිනි.
“මම මූණදුන්නේ මොනතරම් ඛේදනීය අත්දැකීමකටද කියලා හිතුණේ පොත
ලියන්න පටන්ගද්දි. ඒත් මං මේ පොත ලිව්වේ දුක තුනී කරගන්න නෙවෙයි.
මට ඕන වුණේ මගේ පවුලේ අය ගැන මතක පොතක ලියන්න විතරයි. පොත
ලියද්දි ඒ අය එක්ක ගතකරපු ජීවිතේ මට ආයෙම මතක් වුණා. මට දැනුණා
ඒ අය මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක්. මට තවමත් එදා වුණු
කිසි දෙයක් හිතාගන්න බෑ.”
සොනාලි තම දුක්බර කදුළු කතාව ලිවීම හරහා ඇගේ දුක තුනීකරගැනීමේ පාඩම ද හොඳින් උගත්තාය.
අමතක කර සැනසෙන්නට නොව තම ආදරණීයයන් මතකයේ තබාගෙන සැනසෙන්නට ඇය පුරුදුවූයේ ඒ
ලිවීම උඩය. නමුත් ලියන්න පටන්ගත් මුල් අවධියේදී නම් එය සිතූ තරම් ලේසි නොවුණු බව ඇය කියන්නීය.
“ඒක ලේසි වැඩක් වුණේ නෑ. මගේ ගෙදර ඇඳේ මුල්ලක ඝන පොරෝනයක්
අස්සට වෙලා අතීතය විඳිමින් තමයි මම පොත ලිව්වේ. ඒ හැමවෙලේම
පවුලේ අයව මට පෙනුණා. එදා මට හැමදේම තිබුණා. ඒත් ඒ හැමදේම එක
තත්පරෙන් නැතිවුණා. දුක හිතෙන අතීතයක් තියෙන කෙනෙක්ට ඒ අතීතය
ආයෙත් සිහිකරද්දි මානසිකව වැටෙනවා. ඒ විදියටයි මං පොත ලියලා
ඉවරකළේ. ඒකට කාලයක් ගියා. හැබැයි ලියාගෙන යද්දි හැමදේම දරාගන්න
මම හුරුවුණා.”
'WAVE' පොත මුද්‍රණය කෙරුනේ 2013 වසරේදීය. ටික දිනකින් එය ලොව පුරා අතිශය ජනප්‍රිය
කෘතියක් බවට පත්වූවා පමණක් නොව සම්මානයෙන් ද පිදුම් ලැබීය. ඉතින් දරාගන්නට නොහැකි
තැන්වලත් දරාගෙන උන් සොනාලි ගැන අපි නොලියා, අපි නොකියා කොහොමද?
රුවන් එස්.සෙනවිරත්න