අපි එකට මැරුනත් කමක් නෑ මට ඔයාව දාලා යන්න නම් බෑ කියලා මම පුතාට කිව්වා සුනාමියේ අමිහිරි මතක දිනේෂ් චන්දිමාල්ගේ මව සිහිපත් කරයි
එළැඹෙන දෙසැම්බර් 26 වැනිදාට සුනාමි ව්‍යසනය සිදුවී හරියටම වසර 20කි. එදා දස දහස් ගණනකට
ජීවිත අහිමි වුණත් මරණය පෙනි පෙනී ජීවිත රැකගත් මිනිසුන් ද ඒ අතර නැතුවාම නොවේ. මේ කියන
ධම්මිකා ශාන්ති ද සොයිසා ද එවැන්නියකි. ඇය සිය කුසේ දරුගැබක් ද දරාගෙන සිය සැමියා ද සමඟ තම
දරුවන් සිව්දෙනා සුනාමියෙන් බේරාගත් දිරිය කාන්තාවකි. ඇය තවදුරටත් අපට විශේෂ වන්නේ ඇය වත්මන්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු දිනේෂ් චන්දිමාල්ගේ ආදරණීය මව වීම නිසාය. ඉතින්
එළැඹෙන දෙසැම්බර් 26 වැනිදාට යෙදී ඇති සුනාමි සංවත්සරය නිමිති කොටගෙන අප ඇය සමඟ කළ
සුවිශේෂී කතාබහක් ඇසුරෙන් මේ ලිපිය සැකසේ.
*මේ දෙසැම්බර් 26 වැනිදට ‘සුනාමි ඛේදවාචකය’ වෙලා අවුරුදු 20ක් නේද?
ඔව් අවුරුදු 20ක්. ඒත් එච්චර කාලයක් ගියත් ඒ බිහිසුණු අත්දැකීමට මුහුණපෑ කෙනෙක් විදියට අදටත් ඒක
මතකයට එද්දි හිත ගැස්සෙනවා. අනේ එහෙම දෙයක් නම් ආයෙත් වෙන්න එපා කියන එකයි මගේ
ප්‍රාර්ථනය.
*ඒ අතීතය මතක් කරන්න කැමතිද?
ඒ අතීතය මතක් වෙද්දි හරිම දුකයි. එදා අපිට ඉතිරිවුණේ ඇඳිවතයි මේ ජීවිතෙයි විතරයි. අනෙක් හැමදේම
නැතිවුණා. ඒත් ඒ සිදුවීම ගැන කියන්න බැරිකමක් නෑ.
*මුලින් කියන්නකෝ ඒ කාලේ පවුලේ විස්තර එහෙම මොනවද?
ඒ වෙනකොට අපේ පවුලේ හිටියේ මමයි මහත්තයයි දරුවෝ හතරදෙනයි. ඒ අය හැමෝම පිරිමි ළමයි.
ලොකු පුතාට වයස අවුරුදු 15යි. දෙවැනි පුතාට 13යි. ඊළඟ පුතාට 9ක් වගේ ඇති. පොඩි පුතාට 4ක් ලැබුවා
විතරයි. ඒ වෙද්දි මට තව පුතෙක් ලැබෙන්නත් හිටියා. මතක විදියට කුසට මාස 8යි.
*ඒ වැඩිමල් පුතා නේද දිනේෂ් චන්දිමාල්?
(සිනාසෙමින්) ඔව්. මගේ ලොකු පුතා තමයි දිනේෂ් චන්දිමාල්.
*එතකොට අම්මලගේ ගෙවල් තිබුණේ අම්බලන්ගොඩ මුහුද කිට්ටුවද?
ඔව් ඔව් ගෙදර පිටිපස්සේ දොර ඇරියම මුහුද පේනවා.
* සුනාමියක් එනවා කියලා හීනෙකින්වත් නොහිතපු පවුලේ උදවිය ඒ වෙද්දි මොකද කරමින් හිටියේ?
මම නම් සාමාන්‍ය විදියට ගෙදරදොරේ වැඩ කරමින් හිටියේ. ඒත් මට මතකයි චන්දිමාල් පුතා නම් එදා
හවස කොළඹ මැච් එකකට යන්න එයාගේ ක්‍රිකට් බෑග් එක සූදානම් කරලා ටීවී එකේ පරණ මැච් එකක්
බල බලා හිටියේ.
*ඇත්තටම එදා අම්මලා සුනාමියෙන් බේරුනේ කොහොමද?
මං මොකක් හරි වැඩකට පස්සේ දොරින් එළියට ගියා. ඒ යද්දි දැක්කා මුහුදු රැල්ල ගේ කිට්ටුවට එනවා. මං
කෑ ගැහුවා. ඒත් එක්ක අහළ පහළ ගෙවල්වල අයත් කෑ ගැහුවා. ඒත් ගේ කිට්ටුවටම ඇවිත් ඒක ආපහු ගියා. ඒ
රැල්ල ආවේ උදේ හතකුත් ගාණකට. අපි හිතුවෙම පිටමුහුද ගැලුවා කියලා. මොකද එක කාලෙකට පිටමුහුද
ගලනවා කියලා මුහුදු රළ අපේ ගෙවල් කිට්ටුවට ඇවිත් යනවා. ඒ නිසා එච්චරම ගණන් ගත්තේ නෑ.
කොහොමහරි එදාම උදේ නවයකුත් ගාණට ගමේ මිනිස්සු කෑ ගහනවා ඇහුවා “මුහුද ගොඩ ගලනවා
දුවපියෝ” කියලා. මං ගෙදර අයට කිව්වා බල බලා ඉන්න වෙලාවක් නෑ ඉක්මණට දුවමු කියලා. ඒත් ඒ
වෙලාවේ චන්දිමාල් කිව්වා අම්මා මල්ලිලා තුන්දෙනා එක්ක යන්න එයයි තාත්තයි ගෙවල් බලාගෙන ඉන්නම්
කියලා. පස්සේ මං කිව්වා එකට හැමෝම මැරුනත් කමක් නෑ මට ඔයාව විතරක් දාලා යන්න බෑ කියලා. ඒ
කිව්වට පස්සේ තමයි එයාලත් ආවේ. පස්සේ අපි පුළුවන් තරම් ඈතට දුවලා කොහොමින් හරි ජීවිත
බේරගත්තා.
*නිකන් හරි එදා චන්දිමාල් තාත්තත් එක්ක ගෙදර නැවතුනා නම්?
එහෙනම් මේ කතාව මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුණා.
*එතකොට අම්මා දිව්වේ මාස අටක දරුගැබකුත් කුසේ තියාගෙන?
ඔව් ඉතින් අපට වෙන කරන්න දෙයක් තිබුණේ නෑනේ.
*සුනාමියෙන් පස්සේ ආයෙත් ගෙවල් තිබුණු තැනට ආවේ කවදද?
එදාම ආවා. ඒත් යද්දි තිබුණු කිසි දෙයක් එද්දි තිබුණෙ නෑ. කැඩුණු ගේ විතරයි අපි ඉස්සරහා තිබුණේ.
අනෙක් හැමදෙයක්ම සුනාමියට ගහගෙන ගිහිල්ලා. අඬනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.
*එදා චන්දිමාල් අම්මට මුකුත් කීවේ නැද්ද?
එයා මටත් වඩා ඇඬුවා. එයාට ගොඩක් දුක තිබුණේ එයාගේ ක්‍රිකට් බඩු බෑග් එකයි, ශ්‍රී ලංකාවේ
හොඳම පන්දු රකින පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට කියලා එයාට ලැබිලා තිබුණු සම්මානයයි දෙක
සුනාමියට ගිහින් තිබුණු එකට. මට තාම මතකයි එයා අඬපු විදිය.
*ඒත් ඒ දෙකම ආයෙත් චන්දිමාල්ට හම්බවුණාලු නේද?
අනේ ඔව්. දවස් කීපයක් යද්දි ක්‍රිකට් බඩු බෑග් එක සොහොන් පිට්ටනියක තිබිලා හම්බවුණා. සම්මානය
ගෙවල් පිටිපස්සේ වැල්ල යට තිබිලා හොයාගත්තා.
*අනෙක් දරුවන්ට එදා ඒ සිද්ධවෙච්ච දේ දැනිලා තිබුනේ කොයි විදියටද?
චන්දිමාල්ටයි දෙවැනි පුතාටයි විතරයි ඒ වෙනකොට දැනුම් තේරුම් තිබුණේ. ඒ දෙන්නා නම් වුණු දේ ගැන
පුදුම විදියට කම්පා වුණා. චන්දිමාල්ට ඊළඟ අවුරුද්දේ (2005) සාමාන්‍ය පෙළත් තිබුණු හින්දා ඒ ගැනත්
එයා ගැටලුවක හිටියේ. මොකද එයාගේ පොත්පත් එහෙමත් සුනාමියෙන් විනාශ වුණානේ.
*එතකොට චන්දිමාල් සාමාන්‍ය පෙළ විභාගයට පාඩම් කළේ?
යාළුවෝ උදව් කළා. ගොඩාක් වෙලාවට යාළුවන්ගේ ගෙවල්වල එහෙම ගිහින් තමා එයා පාඩම් වැඩ කළේ.
ඒ ගිහිල්ලා තමයි ලේලි පොඩ්ඩකුත් හොයාගත්තේ.
*ඒ කතාව මොකක්ද?
එයා යාළුවෙකුගේ ගෙදර පාඩම් කරන්න ගිහිල්ලා ඉන්නකොට ඒ ගෙදරට දවසක් නෑදෑයෝ ඇවිත්. ඒ අතරේ
ගෑනු ළමයෙක් ඉඳලා. කොලු වයසනේ. ඉතින් පුතාට හිත ගිහින්. පස්සේ කොහොමහරි ඒ දුවගේ ෆෝන්
නම්බර් එකක් හොයාගෙන කතා කරලා යාළුවෙලා. ඒ දුව තමයි චන්දිමාල් පස්සේ කාලෙක විවාහ
කරගත්තේ. එයා ඉසිකා ජයසේකර.
*සුනාමියෙන් වුණු එකම හොඳේ ඒක වෙන්න ඇති?
(සිනාසෙමින්) අනේ ඔව්. එයාට ගොඩාක් හොඳ බිරිඳක් හම්බවුණා.
*ඒක එහෙම වෙද්දි අම්මලා ආයෙත් හිටපු තැනින් ගොඩ ආවේ කොහොමද?
හුඟාක් දෙනා අපිට උදව් කළා. ඒ හැමෝගෙම හයියත් එක්ක තමයි අපි ආයෙමත් හිටපු තැනින් ගොඩට ආවේ.
එතැන ඉඳන් අපේ පවුලේ බර කරට ගත්තේ චන්දිමාල් තමයි. එයා ලොකු කැපකිරීමක් කරලා ජාතික
ක්‍රිකට් කණ්ඩායමට තේරුනා.
*දැන් අම්බලන්ගොඩ ගෙවල් එහෙම තියෙනවද?
දැන් නෑ. මං කැමතිත් නෑ ආයෙත් එහෙ යන්න. දැන් අපි ජීවත්වෙන්නේ කොළඹ.
*පසුගිය අවුරුදුවල ‘දෙසැම්බර් 26’ වැනිදා දවස් ගෙවුණේ සුනාමියේ අමිහිරි මතක එක්ක වෙන්න ඇති
නේද?
කොච්චර අමතක කරන්න හැදුවත් ඒක එදාට මතක් වෙනවා. චිත්‍රපටයක් වගේ හැමදේම මැවිලා පේනවා.
මං හිතන්නේ සුනාමි අත්දැකීමට මුහුණදීපු අයගෙන් කිසිම කෙනෙක්ට ඒක ලේසියට අමතක වෙන මතකයක්
නෙවෙයි.
*ඒ තරම් කරදර බාධක මැද්දේ පවා ‘දිනේෂ් චන්දිමාල්’ අද ඉන්න තැන ගැන අම්මට කියන්න දෙයක් ඇති?
(සංවේදී වෙමින්) ඒ සතුට වචන කරන්න මට තේරෙන්නේ නෑ. ජීවිතේ බින්දුවටම වැටිලා තිබුණත් එයා
කිසිම මොහොතක උත්සාහය අතෑරියේ නෑ. සුනාමියට ගියපු බැට් එක හෝදලා වේළලා අරන් ලකුණු
ගහලා එයා ජාතික කණ්ඩායම දක්වාම ආවා. අද ඇන්ජලෝ මැතිව්ස් හැරුනම චන්දිමාල් තමයි කණ්ඩායමේ
ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා. ඉතින් මට අම්මා විදියට මගේ ලොකු පුතා ගැන හරි සතුටුයි.
*අවසාන වශයෙන් 20 වැනි සුනාමි සංවත්සරය ගැන අම්මට කැමති දෙයක් කියන්න පුළුවන්?
ආයෙත් කිසිම දවසක මෙහෙම විපතක් අපේ රටට වෙන්න එපා කියන එකයි මගේ ප්‍රාර්ථනාව.
රුවන් එස්.සෙනවිරත්න