නවතම ප්‍රවෘත්ති

‘සීතා’ ඇතින්නට ලැජ්ජා හිතෙන වැඩක් වෙලා!

ඇතැම් නළු නිළියන් ප්‍රසිද්ධ වන්නේ රඟපෑම්වලටත් වඩා තමන්ට සිදුවන
අකරතැබ්බ හේතුවෙනි. සීතා ද එවැන්නියකි. ඇගේ හමේ පැහැය ද සුන්දරය.
එනිසා ද සීතා කා අතරත් ප්‍රසිද්ධ ය. කතාව කියවද්දී ‘ධරණී’ පාඨකයින් වරදවා
වටහාගත යුතු නැත. මේ සීතා, නිළි ඇතින්නකි. මෙරට හීලෑ අලි ඇතුන් අතර
රැජිනක සේ සිටින ඇය පසුගිය වසරේ අලි අකරතැබ්බයකට මුහුණ දුන්නාය. ඒ
මහියංගණ පෙරහරට සහභාගී වීමට ගොස් සිටියදීය. මහවැලි ගඟ අසල බැඳ
සිටියදී වරදවා වටහාගැනීමක් හේතුවෙන් ඈ වෙඩි පහරකට ගොදුරු වූවාය. ඒ
දිනවල ඇගේ නම සෑම මාධ්‍යයකින්ම පාහේ ඇසෙන්නට විය. එබැවින් සීතා ගැන
මේ වෙද්දී බොහෝදෙනා දනිති. දින කිහිපයකට පෙර ඇයට තවත්
අකරතැබ්බයක් සිදුවිය. එය වෙඩි කෑවාට හපන් එකකි. කෙටියෙන්ම කියතොත්
ඇයට මහත් නවනිංගිරාවකට මුහුණදීමට සිදුවිය. එය ද පාසල්වත් නොයන
පොඩිත්තෙකු නිසාය.
පසුගිය දිනක මහරගම සිට හබරණ තෙක් සීතා ගමන් කළේ නිවාඩුවක්
ගතකිරීමකටය. ඇයට සිය වෛද්‍යවරයා වූ තරිඳු විජේකෝන් හමුවීමේ
අවශ්‍යතාවක් ද විය. ඒ, රුධිර සාම්පලයක් ලබාදීම වෙනුවෙනි. පෙරහර
කිහිපයක් හේතුවෙන් ඒ දිනවල වෛද්‍යවරයා සිටියේ කාර්යබහුලවය. හබරණ
යනවාට වඩා අතරමගදී සීතා හමුවීම පහසුවකි. ඒ යෝජනාවට සීතාගේ හිමිකරු
ද එකඟ විය. ඒ අනුව උදෑසනම සීතා කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයට
පැමිණියාය. ඒ වෙද්දී වෙලාව උදේ 6 පමණ විය. පෙරදා රාත්‍රියේ මොරටුවේ
පෙරහරකට සහභාගි වූ පශු වෛද්‍ය තරිඳු නිවසට පැමිණෙද්දී අලුයම වන බව
කලින්ම දැනුම් දී තිබිණ. එනිසා සීතාගේ පැමිණීම වෛද්‍යවරයාට දැන්වීම පැය
දෙක තුනක් ප්‍රමාද කෙරිණ. උදෑසන 8.30ට පමණ පශු වෛද්‍ය තරිඳුට ලැබුණු
ඇමතුම සමඟ ඔහුගේ වයස අවුරුදු තුනහමාරක ලොකු පුත් තිවේන්ට ද අලි
බැලිල්ලක ඉව වැටිණ. එපමණක් නොව, පොඩි මල්ලීට ද උණ බෝ විය.
“අපිටත් එන්න ඕනෙ අලි බලන්න.”
නිවසේ එකම යුද්ධයකි. ඒ අනුව විනාඩි කිහිපයක ගමනකින් ළඟාවිය හැකි
ඇත්කඳ විහාරයට පුතුන් දෙදෙනා ද රැගෙන යාමට පශු වෛද්‍ය තරිඳු තීරණය

කළේය. ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තිය ද බලන සිය පියාගේ දැනුම පුත්
තිවේන්ට ද හොඳින් තිබේ. වයස අවුරුදු තුනහමාරක් වූවාට ඔහුට අලි ඇතුන්
ගණනකගේ නම් හොඳට මතක ඇත. වාහනයෙන් බැස පියා සමඟ ගිය වහාම
තිවේන් දුටුවේ දළ සහිත සද්දන්තයෙකි. සිය දැනුමෙන් ප්‍රයෝජනයක් ගත යුතු
බව පුංචි තිවේන්ට සිතෙන්නට ඇත.
“අප්පච්චි, මේ පුලතිසියද?”
“නෑ පුතේ, මේ සීතා.”
“සීතා වෙන්න බෑනෙ අනේ. අප්පච්චි සීතාට බෙහෙත් කරද්දි එයා මෙච්චර
මහත නෑනෙ. අනික සීතා කියන්නෙ ඇතින්නක්නෙ. එයාට දළ නෑනෙ. මේ
ඉන්නෙනං සීතා නෙමේ.”
තිවේන්ට මහා ප්‍රශ්න ගොඩකි. ඔහු දන්නා පරිදි දළ ඇති සියල්ලෝ ඇත්තු ය. දළ
ඇති ඇතින්නියන් කිසිදාක ඔහු දැක නැත. තමන් ඉදිරියේ සිටින සද්දන්තයා දළ
ඇත්තෙකි. පියා ඒ සීතා බව කියයි. ඇතින්නකට දළ කොයින්ද? මේ අවුල හමුවේ
ඔහු නිහඬ වූයේය. ටික වෙලාවක් කල්පනා කළ තිවේන් යළි හඬ නැගීය.
“අප්පච්චි, මේ ඉන්නෙ ඉන්දි රාජා.”
“නෑ. නෑ. මේ එයා නෙමේ.”
“එහෙනං මේ වස්තු ද?”
“නෑ. නෑ. මේ සීතා.”
එහෙත් පියාගේ වචන පිළිගැනීමට තිවේන් සූදානම් නොවීය.
“එහෙනං මේ බුරුමයා ද?”
ඒ පැනය බුරුම රාජා ගැනය. පියාගෙන්ම අසා ඇති දැන ඇති ඇතුන් වැලකගේ
නම් කීමෙන් පසු ද තිවේන්ට පියාගෙන් ලැබුණේ සෑහීමකට පත්විය හැකි
පිළිතුරක් නොවේ.
“නෑ. නෑ පුතේ, මේ ඉන්නෙ සීතා.”
ඒ වනවිට පුත්‍රයාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොසිනි. වටේම සිටි අයට අලි
ඇතුන් ගැන තොරතෝංචියක් නැතිව විස්තර කියමින් සිටි තිවේන්ට මෙය මහත්

මදිපුංචිකමකි. ඔහුට කේන්තියක් ද ආවේය. හෙතෙම සියල්ල එක වැකියකින්
නිම කළේය.
“මේකානං කිසිම විදියකින් අලියෙක්නං වෙන්න බෑ.”
පිරිස ඉදිරියේ මහ හඬින් පුතා කී කතාවෙන් පශු වෛද්‍ය තරිඳුට වූයේ
වසලැජ්ජාවකි. ඒ මදිවාට සීතාගේ හස්තිපාලකට ද එය ඇසිණ. තමන් බලන්නේ
අලියකු නොවන බව පැවසීම කෙතරම් අවනම්බුවක්ද? සීතාගේ වෙදැදුරුගේ පුතු
නිසා ඔහු ඉවසන්නට ඇත. මේ සියල්ල අතරේ සීතාගේ රුධිර සාම්පලය ද
වෛද්‍යවරයා ලබාගත්තේය. සීතාටද සිතෙන්නට ඇත්තේ යන ගමන නොයා
මොකට මග නැවතුණාදැයි කියා විය හැක. මෙතරම් ලොකුවට සිටිනා තමන්ට
අලියෙකු නොවන බව දරුවකු පැවසීම ගැන සිතමින් ඇය ද හබරණ යන්නට
ඇත.
තොරතුරු – පශු වෛද්‍ය තරිඳු විජේකෝන් (ශ්‍රී දළදා මාලිගාව, Millennium
Elephant Foundation සහ Vet care සත්ව රෝහල)
රෂ්නිකා ලියනගේ