ගම්බද පැතිවල රූගතකිරීම් කරද්දි උන්ගෙන් නම් පුදුම වදයක් තියෙන්නේ වොල්ගා කල්පනී
2012 අවුරුද්දේ පැවති ප්‍රධානතම සාහිත්‍ය සම්මාන උළෙලවල විශිෂ්ටම නවකතාව බවට පත්වුණු ‘සෙංකොට්ටං’ ලියපු මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ඊළඟ විශිෂ්ට ලියමන වුණේ ‘මාණික්කාවත’. ඒ නවකතාවත් 2015 අවුරුද්දේ ස්වර්ණ පුස්තක විශිෂ්ටම නවකතා පහ අතරට පත්වුණා. කෙටිහාමි, පිච්චි සහ ගුණාදරී නම් ගැමි චරිතවල ජීවිත අළලා ලියැවුණු ‘මාණික්කාවත’ වෙනුවෙන් කොයිතරම් පාඨක ප්‍රසාදයක් හිමිවුණාද කිව්වොත් එයින් ‘මාණික්කාවත’ නමින් හරි අපූරු ටෙලිනාට්‍යයකුත් නිර්මාණය වුණා. සුදත් රෝහණ අධ්‍යක්ෂණය කරපු ඒ ටෙලිනාට්‍ය විකාශනය කෙරුනේ 2021දි. ඒ ස්වාධීන රූපවාහිනියේ. ඊටත් එදා පොතට ලැබුණු ආකර්ෂණයම වෙනසක් නැතුව ලැබුණා.
ඒ ‘මාණික්කාවත’ ටෙලිනාට්‍යයේ කෙටිහාමිගේ චරිතය කළේ ජගත් චමිල විසින්. පිච්චි චරිතය ලැබිලා තිබුණේ උමා අසේනිට. නවකතාව කියවද්දි ගුණාදරීට ගන්න චරිතය ගැන අධ්යක්ෂවරයාට එකපාරම අදහසක් ඇවිදින් නෑ. මොකද අන්ධ චරිතයක් වුණු ගුණාදරීගේ චරිතේ වෙනුවෙන් ඔහුට උවමනා වෙලා තිබිලා තියෙන්නේ අතිදක්ෂ නිළියක්. අවසානෙදි ඒ චරිතය වෙනුවෙන් ඔහු තෝරාගෙන තිබුණේ ජනප්‍රිය නිළි වොල්ගා කල්පනීව.
“මම රංගන ක්ෂේත්රයට ආවාට පස්සේ හරිම ආසාවෙන් හිටියා සුදත් රෝහණ මහතා අධ්‍යක්ෂණය කරන නිර්මාණයක රඟපාන්න. එහෙම ආසාවෙන් හිටපු මට මාණික්කාවතේ ගුණාදරී චරිතයට කතා කරද්දි හිතාගන්න බැරිවුණා. ඉතින් හරිම ආසාවෙන් එද ගුණාදරී චරිතය කරන්න මං බාරගත්තා.”
එදා වොල්ගා ඒ චරිතයට කොච්චර නම් සාධාරණයක් කෙරුවද කිව්වොත් ඇය නැවතුනේ 2023 වසරේ පැවැත්වුණු රයිගම් සම්මාන උළෙලේ වසරේ හොඳම නිළිය විදියට සම්මානත් අරගෙන. මේ වෙනකොට වොල්ගා මොන නිර්මාණයේ හිටියත් අදටත් හැමෝම කතා කරන්නේ ‘මාණික්කාවත’ ටෙලිනාට්‍යයේ ඇය කළ විශිෂ්ට රංගනය ගැන. ඉතින් අපි මෙවර ‘ධරණී’ කවරය හැඩකරන්නට ආරාධනා කළෙත් ජනප්‍රිය නිළි වොල්ගා කල්පනීට.
“මෙච්චර කාලයක් පුරාවට මට ලැබුණු නිර්මාණ අතරින් අදටත් මං ගොඩාක් ආස කරන, ආදරේ කරන නිර්මාණයක් තමයි මාණික්කාවත. මගේ මේ රංගන ජීවිතේට ඒක ලොකු ආශිර්වාදයක් වුණා කිව්වොත් හරි. ගුණාදරීගේ චරිතේ මාව සම්මානලාභී රංගන ශිල්පිනියක් කළා විතරක්මත් නෙවෙයි මගේ හිතේ තිබුණු ලොකු හීනයකුත් සැබෑ කළා.”
වොල්ගාගෙන් ඒ සැබෑවුණු හීනය මොකක්ද කියලා අහන්න අපි දෙපාරක් හිතුවේ නෑ. ඒ වෙලාවෙයි ඇය කිව්වේ රංගන ක්ෂේත්රයට අඩිය තියපු දවසේ ඉඳන් ඇයට තිබුණු හරි අපූරුම හීනයක් ගැන.
“රංගන ක්ෂේත්රයට ආපු දවසේ ඉඳන්ම හීනයක් තිබුණා මගේ නම ඉස්සරහින් ‘හොඳම’ කියන විශේෂණය දාගන්න. ඒ හීනය මාණික්කාවත නිසා ඉටුවුණා. මට පුළුවන් වුණා 2023 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගෙන වොල්ගා කල්පනීව ඒ වසරේදි රටේ හොඳම නිළිය කරන්න.”
වොල්ගා පුංචි කාලයේ ඉඳන්ම හීන දැක්කේ නිළියක් වෙන්නලු. මොකක්දෝ වාසනාවකට ඒ හීනේ ඇය හිතුවට වඩා ඉක්මනින් සැබෑ කරගන්න පුළුවන් වුණා කියලයි වොල්ගා කිව්වේ.
“මම පොඩි කාලේ රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍ය කරන ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධිතව තිබුණු නාට්‍ය සංගමයක හිටියා. එතැනදි මට ප්‍රතිභා නිදර්ශන මහතා මුණගැහුනා. ඊටපස්සේ ඔහු ජාතික රූපවාහිනියේ ‘අතුරු මිතුරු’ ළමා වැඩසටහනේ තිර පරීක්ෂණයකට මාව එක්ක ගියා. එතැනින් මං නිවේදන වෘත්තියට පිවිසුනා. එහෙම ඉන්නකොට මට ස්වර්ණවාහිනී නාලිකාවේ ‘හිතට වදින එක’ කියලා අලුත් වැඩසටහනක් කරන්න ලැබුණා. ඒ කාලේ වැඩසටහන් අධ්‍යක්ෂක හිටියේ බුද්ධික කුලසේකර අයියා. ඔහු සහ චාමර සමරවික්‍රම අයියා මට අවස්ථාවක් උදාකරලා දුන්නා අලුත් ටෙලිනාට්‍යයක රඟපාන්න. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කළ ‘මුතුපලස’ තමයි ඒ ටෙලිනාට්‍යය. ඒකෙ මම අතිරේක චරිතයක් කළේ. ඒ කරලා ඉන්නැද්දි තමයි 2012 අවුරුද්දේ අන්තිම වගේ මට ‘කොළඹ අහස’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය කරන්න ලැබුණේ.”
ඒ විදියට රංගන ක්ෂේත්රයට ආපු වොල්ගා අද වෙනකොට රටේ ජනප්‍රියම නිළියක්. ඇය රංගන ක්ෂේත්රයට ඇවිත් මේ වෙද්දි අවුරුදු 12ක් ගතවෙලා. ඉතින් එතරම් කාලයක් ජනප්‍රියත්වය එකම මට්ටමක පවත්වාගත්තේ කොහොමද කියලත් අපි ඇයගෙන් අහලා බැලුවේ ඒක ඒ තරම් ලේසිපහසු වැඩක් නෙවෙයි හින්දා.
“ඇත්තෙන්ම නිළියක් වෙනවටත් වැඩිය අමාරුයි රංගන ක්ෂේත්රය තුළ පැවැත්ම කියන දේ හදාගන්න. ඒ වගේම අපට යම් තැනකදි ලැබෙන ඒ ජනප්‍රියත්වය එකම මට්ටමෙන් පවත්වගෙන යන්න. ඒ නිසා අපි හැමවෙලාවෙම කරන වැඩේ අවංක වෙලා ඒක කැපකිරීමෙන් සහ ආදරෙන් කරන්න ඕන. එතකොට පැවැත්ම වගේම ජනප්‍රියත්වය අපිට රඳවගන්න පුළුවන්.”
පසුගිය කාලයේ වොල්ගා ජනප්‍රිය වුණේ ‘තත්පරයක් දෙන්න’ ටෙලිනාට්‍යය තුළින්. ඒක අවසන් වුණාට පස්සේ ඇයව පුංචිතිරයේ දකින්න ලැබුණේ නෑ. හැබැයි මේ දිනවල ආයෙමත් ඇය පුංචි තිරයේ දකින්න පුළුවන්. ඒ ජාතික රූපවාහිනියේ විකාශනය වෙන ‘FLAT නොවන ෆ්ලැට්’ ටෙලිනාට්‍යයෙන්. මාවෝ ලක්ෂිත විසින් අධ්‍යක්ෂණය කරන ඒ ටෙලිනාට්‍යයට මේ වෙනකොට ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබෙන බවයි වොල්ගා ‘ධරණී’ට කිව්වේ.
“සමහරු හිතනවා රංගනය කියන්නේ හරිම ලේසි වෘත්තියක් කියලා. ඒ කතා වැරදියි. රංගනය කියන්නේ හරි අපහසු වෘත්තියක්. රංගනයෙදි අපි හැදෑරීමක් අවබෝධයක් සහ නිර්මාණ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඕන. අනික් ප්‍රධානම දේ තමයි අපි මේ වෘත්තියට ආදරේ කරන්න ඕන. මම ඒ දේවල් හරි විදියට කරපු හින්දයි ‘වොල්ගා කල්පනී’ කියන නම අදටත් මේ රංගන ක්ෂේත්රය තුළ රැඳිලා තියෙන්නේ.”
වොල්ගා එහෙම කිව්වේ අවුරුදු 12 පුරාවට රංගන ක්ෂේත්රයේ ඇය ආ ගමන ගැන ඇහුවම. ඒ අතරෙයි ඇය කිව්වේ ඒ ගෙවුණු කාලය පුරාවටම ඇයව අගයපු තරමට වද දීපු කරදරකාරයෝ පිරිසකුත් හිටියා කියලා.
“ඒ කරදරකාරයෝ තමයි කූඩැල්ලෝ. උන් ඇඟේ එල්ලුණාම ලේසියෙන් ගලවන්න බෑනේ. ගම්බද කැලෑබද ලොකේශන්වල රූගතකිරීම් කරද්දි උන්ගෙන් නම් පුදුම වදයක් තියෙන්නේ. මට මුණගැහුනු පුදුම කරදරකාරයෝ පිරිසක්.”
හිනාවෙලා එහෙම කියපු වොල්ගාගෙන් අපි ඊළඟට අහලා බැලුවේ රංගන ජීවිතේ තුළ අමතක නොවෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවාද කියලා.
“දැනට අවුරුදු කිහිපයකට විතර කලින් මට ලියුම් එවන රසිකයෝ කීපදෙනෙක් හිටියා. ඒ අතරින් එක්කෙනෙක් එළවළු බිස්නස් කරපු කෙනෙක්. ඉතින් හිටපු ගමන්ම එයා අපේ ගෙදරට එළවළු මලු එවනවා. ඒක අමතක නොවන ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්.”
වොල්ගා කියන්නේ ජීවිතේ ඉතාම සංවේදී සිදුවීම්වලට මුහුණදීපු ඒත් හිත හයිය තරුණියක්. ඒ හිත හයිය කතාව මට කියන්න හිතුණේ වොල්ගා අතීතය මතකයක් පමණක් කරලා අද හුඟාක් සතුටින් හිනාවෙලා ඉන්න නිසා. ඒක හරි අමාරු වැඩක්. ඒ ගැනත් අපි ඇයගෙන් අහලා බැලුවේ ඇගේ උත්තරේ කියවන කාට වුණත් ගතයුත්තක් තියේවි කියලා අපට හිතුණු නිසා.
“ජීවිතේට මොන විදියේ ප්‍රශ්න ආවත් මුලින් මම ඒ දිහා නිහඬව බලාගෙන ඉන්නවා. වැඩිය ඔලුවට ගන්න යන්නේ නෑ. ප්‍රශ්නයක් නොවුණු ගාණට ඉන්නයි උත්සාහ කරන්නේ. හැබැයි දරාගන්නම බැරි තැන්වලදි අඬන වෙලාවල් නැතුව නෙවෙයි. ඒත් හිත හයිය කරගෙන එන ප්රශ්නය මොකක් වුණත් තනියෙන්ම ඒක විසඳගන්න උපරිමම උත්සාහ කරනවා.”
*ආදරය, විවාහය කියන මාතෘකා ගැන වොල්ගා මොකද හිතන්නේ?
“ආදරය, විවාහය කියන මාතෘකා දෙක හරිම සුන්දර මාතෘකා. හැබැයි සුන්දරද නැද්ද තීරණය වෙන්නේ අපි ඒ මාතෘකා ළඟ කරන තෝරාගැනීම් එක්ක තමයි.”
මෑතකදි වොල්ගා මෙරට ජනප්‍රිය පුද්ගලයෙක් වන වස්ති අනුෂ්ක එක්ක ඉන්න විවාහ ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වුණානේ. ඒත් එක්කම බොහෝදෙනෙක් හිතුවේ ඇය ආයෙමත් විවාහවෙලා කියලා. එහෙම හිතලා ඔවුන් දෙපළට සුබපතපු අයත් හිටියනේ. ඒත් එම ඡායාරූපය එක්තරා වීඩියෝවක් ජනප්‍රිය කිරීමේ අරමුණෙන් සමාජ මාධ්‍යයට මුදාහැරපු එකක් බවයි පසුව ඔප්පු වුණේ. ඒ ගැනත් අපි ඇගෙන් අහලා බැලුවා.
“ඒ ෆොටෝ එක සාමාන්‍ය එකක්. බ්‍රයිඩල් ශුට් එකක් කළත් කෙනෙක් එක්ක අපිට ෆොටෝ ගහන්න සිද්ධ වෙනවනේ. ඔය ෆොටෝ එකත් එහෙම එකක්. මට නම් ඒ කියපු ෆොටෝ එක ගැන කියන්න විශේෂ දෙයක් නෑ.”
*වොල්ගා එන්න එන්නම තරුණවෙනවා කියලා කවුරුත් කියලා නැද්ද?
“(සිනාසෙමින්) මොකද නැත්තේ. හුඟාක් අය ඔය කතාව කියනවා. ඒ වගේම තමා මට තාමත් වයස අවුරුදු 18 – 20 චරිත හම්බෙනවා. මං සුදුවෙන්න කියලා ක්‍රීම් ගාන කෙනෙක් නෙවෙයි. හැබැයි නිතරම මං ලස්සනට පිළිවෙලට ඉන්න ආසයි. ඒ ඇරුනම විශේෂ යමක් කරන්නේ නෑ. මං නිතර නිතරම වගේ සතුටින් හිනාවෙලා ඉන්න කැමති කෙනෙක්. එහෙම හිටියම වයසට යන්නේ නෑ. සතුට කියන්නේ අපි තරුණ කරන ඖෂධයක්.”
වොල්ගා ඉන්නේ රාගම. අම්මයි තාත්තායි ඇරුනම ඇයට තව ඉන්නේ වැඩිමල් සහෝදරියක්ලු. අපේ කතාබහ අවසන් කරමින් ඒ සියලුදෙනා වගේම ආදරණීය ප්‍රේක්ෂකයිනුත් මතක් කරපු වොල්ගා ‘ධරණී’ කියවන කාන්තාවන් වෙනුවෙන් ඇගේ ජීවිත කතාව තුළින්ම ශක්තිමත් පණිවිඩයක් දෙන්න අමතක කළෙත් නෑ.
“කවදාවත් ජීවිතේ ගත්ත තීරණ ගැන පසුතැවෙන්න එපා. තීරණ ගනිද්දි අපි ගන්නේ ඒ වෙලාවේ අරගන්න තියෙන හොඳම තීරණේ. ඒක ගත්තා, එතැනින් ඒක ඉවරයි. ඒක හරි ගියත් වැරදුනත් ආයෙත් ඒ ගැන හිතලා තේරුමක් නෑ. ඒ නිසා මං ‘ධරණී’ කියවන ඔබ හැමෝටම කියන්නේ ඔබේ ජීවිතේ අතීතය එක්ක සංසන්දනය කරන්නෙ නැතුව වර්තමානේ ජීවත්වෙන ගමන් අනාගතේ වෙනුවෙන් වැඩ කරන්න. මේ ජීවිතේ අපි හැමෝම හොයන, ඒත් හොයාගන්න අමාරු සතුට එතැනදි ඔබට මුණගැහේවි.”
රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූප – චමත් ඒකනායක
හැඩගැන්වීම – ලක්ෂාන් ජඹුරේගොඩ
පසුතලය – සෝලිස් හොටෙල්, පිටකෝට්ටේ