නවතම ප්‍රවෘත්ති

ලොකු නැන්දා වගේ නිළියක් වෙලා අම්මයි තාත්තයි දැකපු හීනය හැබෑ කරන්න ඕනේ… සෙනාලි ෆොන්සේකා

ඒ මීට අවුරුදු ගණනකට කලින් පැවැත්වුණු තිබුණු සිනමා උළෙලක්. ඒක
සංවිධානය කරලා තිබුණේ සිංහල සිනමාවේ නිළි රැජින විදියට සැළකෙන මාලනී
ෆොන්සේකා මහත්මිය ඇගයීම වෙනුවෙන්. එදා ඒ සිනමා උළෙලේ එක් අංගයක්
විදියට ඇය රඟපෑ චිත්‍රපටයකුත් ප්‍රදර්ශනය කරන්න සංවිධායක මණ්ඩලය
තීරණය කරලා තිබුණා. ඒ වෙලාවේ චිත්‍රපටය නරඹපු උදවියගෙන් වැඩි
පිරිසකගේ අවධානය යොමුවුණේ ප්‍රේක්ෂකාගාරයේම ඉඳගෙන එය නරඹමින්
හිටපු වයස අවුරුදු හය හතක හුරතල් කෙලි පොඩ්ඩක් දිහාවට. මේ කෙලි
පොඩ්ඩ කොච්චර ආසාවෙන් චිත්‍රපටය නැරඹුව ද කිව්වොත් සමහර වෙලාවට
එහි ප්‍රධාන නිළිය වුණු මාලනී ෆොන්සේකා මහත්මියව අනුකරණයත් කළාලු.
ඉතින් එදා චිත්‍රපටය පෙන්නලා අවසන් වුණාට පස්සේ එතැන හිටපු පුද්ගලයෙක්
ඒ දැරිවි ළඟට ගිහින් මෙහෙම ඇහුවලු.
“දුව ලොකුවෙලා කවුරු වෙන්නද කැමති?”

ඉතින් දන්නවද මේ පුංචි කෙල්ල ගත්කටටම දීපු උත්තරේ මොකක්ද කියලා? ඇය
කිව්වලු “මමත් දවසක අර චිත්‍රපටයේ හිටපු නැන්දි වගේ රඟපානවා” කියලා.
පොඩි එකී ඒ වෙලාවේ නැන්දි කියලා කිව්වේ ජනප්‍රිය නිළි මාලනී ෆොන්සේකා
මහත්මිය ගැන.
ඒ කතාව පොඩ්ඩකට පැත්තකින් තියලා මං දැන් අලුත් කතාවක් කියන්න
යන්නේ. ඒ 2013 අවුරුද්ද. ඔබට මතක ඇති ඒ අවුරුද්දේ ‘සිරි පැරකුම්’ නමින්
සිනමා නිර්මාණයක් තිරගතවුණා. එහි ප්‍රධාන චරිත රඟපෑවේ අකිල ධනුද්දරත්
එක්ක සිනමාවට නවක නිළියක් වුණු සෙනාලි ෆොන්සේකා. සෙනාලි සිනමා
පවුලකින් ආපු නිළියක්. ඇගේ නැන්දා තමයි මාලනී ෆොන්සේකා. කොහොමහරි ඒ
චිත්‍රපටය සෙනාලිගේ පළමු චිත්‍රපටය වුණත් ඇගේ රංගන ප්‍රතිභාව නිසා ඇය
ඉතා ජනප්‍රිය වුණා. අවසානෙදි ඇය නැවතුනේ සම්මානලාභී නිළියක් වෙලා.
දැන් මං හදන්නේ ඉහළින් කියපු කතා දෙකම එකක් බවට පත්කරන්න. දන්නවද
දෙවැනි කතාවේ සෙනාලි ෆොන්සේකා තමයි මුලින් කියපු කතාවේ හිටපු අර පුංචි
කෙලි පොඩ්ඩ. එදා නොතේරුම්කමටදෝ ලොකුවෙලා මාලනී ෆොන්සේකා වගේ
නිළියක් වෙනවා කියපු ඇය අද රටක්ම දන්න කියන ජනප්‍රිය නිළියක් වෙලා. ඇය
තමයි මෙවර ‘ධරණී’ කවරය හැඩකරන ගමන් සොඳුරු කතාබහකට එකතුවුණේ.
“නිළියක් කියන්නේ කවුද කියලා හරියට නොදැන හිටියට, රඟපානවා
කියන්නේ මොකක්ද කියලා නොදැන හිටියට මට පොඩි කාලේ ඉඳන් ආසාව
තිබුණේ ලොකුවෙලා නිළියක් වෙන්න. සමහරවිට පවුල් පසුබිමත් ඒකට
බලපාන්න ඇති. මොකද මං පුංචි කාලේ ඉඳන්ම ලොකු නැන්දගේ (මාලනී
ෆොන්සේකා) චිත්‍රපට බැලුවා. ඒ බලද්දි තමයි මටත් රඟපාන්න ආසාවක්
ඇතිවුණේ.”
එහෙම නිළියක් වෙන්න ආසාවෙන් හිටපු සෙනාලිගේ නිළි හීනය සැබෑවුණේ මීට
අවුරුදු 11කට කලින්, 2013 වසරේ තිරගත වුණු සෝමරත්න දිසානායකගේ
‘සිරිපැරකුම්’ චිත්‍රපටයෙන්. එහි ‘සිරිමල් එතනා’ චරිතයටයි සෙනාලි රංගනයෙන්
දායකවුණේ.
“රඟපාන්න කලින් මං සිරස නාලිකාවේ පුංචි පැංචි සහ සතුටු උයන කියන
ළමා වැඩසටහන් දෙක කළා. මගෙත් එක්ක දිනක්ෂි ප්‍රියසාද් ශේෂාද්‍රි ප්‍රියසාද්
එහෙම හිටියා. ඒ වෙද්දි මට අවුරුදු 12ක් 13ක් වගේ ඇති. කොහොමහරි
ඊටපස්සේ අපි එංගලන්තේ පදිංචියට ගියානේ. ඒ නිසා කලා කටයුතු
මගඇරුනා. ඒත් නිළියක් වෙන්න ආසාව තිබුණා. ඒ අතරේ තමයි ආරංචි

වුණේ සිරිපැරකුම් කියලා අලුත් චිත්‍රපටයකට නිළියක් හොයනවා කියලා.
පස්සේ ඒකෙ තිර පරීක්ෂණයට මං ලංකාවට ආවා. අන්තිමේ කොහොමහරි
මට තමයි ප්‍රධාන චරිතය ලැබුණේ.”
ඒ විදියට කලා ක්ෂේත්‍රයට අඩිය තියපු සෙනාලිගේ රංගන ජීවිතේ ප්‍රධාන හැරවුම්
ලක්ෂය වුණේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය කළ ජයප්‍රකාශ්
සිවගුරුනාදන්ගේ ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යය කියලයි සෙනාලි අපි එක්ක
කිව්වේ.
“ඒ ටෙලිනාට්‍යයේ සුදු චූටි චරිතය පුදුම විදියට ප්‍රේක්ෂකයෝ වැළඳගත්තා.
මට ලැබුණු ඒ අසීමිත ප්‍රේක්ෂක ආදරේ නිසා කීපවරක්ම ජනප්‍රිය නිළිය
සම්මාන පවා දිනාගන්න ලැබුණා. ඒ ටෙලිනාට්‍යය විකාශනය අවසන් වෙලා
වසර කීපයක් ගතවුණත් අදටත් ඒ චරිතයට ප්‍රේක්ෂක ආදරේ ලැබෙනවා.
සමහරු දැනටත් මට කතා කරන්නේ සුදු චූටි කියලා.”
‘නාඩගම්කාරයෝ’ අවසන්වීමත් එක්ක සෙනාලිව අපිට දකින්න ලැබුණේ හරි
අඩුවෙන්. ඒ ගැන ඇහුවම ඇය අපිට පැවසුවේ රංගනයෙන් දායකවුණු අලුත්
චිත්‍රපට කීපයක් වගේම ටෙලිනාට්‍යයක් ඉදිරියේදි විකාශයවීමට නියමිතබවක්.
“තවත් නොබෝ දිනකින් ස්වර්ණවාහිනී නාලිකාවේ මං ඉන්න අලුත්
ටෙලිනාට්‍යය විකාශනය වෙනවා. මං හිතනවා ඒකත් ප්‍රේක්ෂකයෝ හරි
ආදරෙන් වැළඳගන්න විදියේ අපූරු නිර්මාණයක් වෙයි කියලා.”

*ඇත්තටම සෙනාලි රංගනය කියන්නේ ලේසි දෙයක්ද?
“පිට ඉඳන් අපේ දිහා බලන උදවියට නම් හිතෙනවා ඇති අපි රඟපානවා
කියලා කරන්නේ කැමරාව ඉස්සරහට ගිහින් පිටපත කියවන එකනේ කියලා.
හැබැයි රඟපාන මනුස්සයා දන්නවා ඒක කොයිතරම් අමාරු වැඩක් ද කියලා.
හැම නළු නිළියෙක්ම ඒ වෙනුවෙන් හුඟාක් ලොකු කැපකිරීමක් කරනවා.”
මෑත කාලේ බොහෝ නළු නිළියෝ හතු පිපෙනවා වගේ බිහිවුණත් එයින්
බොහෝදෙනෙක් කාලයත් එක්ක අපට දකින්න ලැබෙන්නේ නෑ. ඒකට ලොකුම
හේතුව තමයි ඔවුන්ට රංගන ක්ෂේත්‍රය තුළ දිගුකාලීනව පැවැත්මක් නිර්මාණය
කරගැනීමට ඇති නොහැකියාව. එහෙම වෙන්නේ ඇයි? ඒකට සෙනාලිගෙන් අපිට
ලැබුණේ මෙහෙම උත්තරයක්.

“අපිට ලැබෙන නිර්මාණවලට අපි හොඳ සාධාරණයක් කළොත්, ලැබෙන
නිර්මාණ තෝරාබේරාගෙන ක‍ළොත් වගේම ප්‍රේක්ෂකයන් එක්ක නිහතමානීව
කටයුතු කළොත් පැවැත්ම කියන දේ ඉබේම නිර්මාණය වෙනවා. මං දැන්
රංගන ක්ෂේත්‍රයට පිවිසිලා අවුරුදු 11ක්. ලොකු නිර්මාණ ප්‍රමාණයක හිටියේ
නෑ. ඒත් මට පුළුවන් වුණා කලින් කියපු විදියට කටයුතු කරපු නිසා
පැවැත්මක් නිර්මාණය කරගන්න.”
කිව්වත් වගේම සෙනාලි නිර්මාණ ලොකු ප්‍රමාණයකට රංගනයෙන් දායක
නොවුණත් කරපු නිර්මාණවලින් සෙනාලි ෆොන්සේකා කියන්නේ කවුද කියන වග
ඇය ඔප්පු කළා. ඒ ඉතාම කෙටි කාලයක් තුළ සම්මානලාභී නිළියක් වෙලා.
“ඔව් සරසවි, සුමති ඇතු‍‍ළුව අපේ රටේ ප්‍රසිද්ධ සම්මාන උළෙල කිහිපයකදි
මං ලංකාවේ ජනප්‍රියම නිළිය විදියට වසර කීපයක්ම සම්මාන දිනාගත්තා. දැන්
මට ඕන හොඳම නි‍ළිය විදියට සම්මානයක් අරගන්න.”

*ඒ කියන්නේ ජනප්‍රිය නිළියට දැන් ඕන හොඳම නිළිය වෙන්න. එහෙමද?
“(සිනාසෙමින්) ඔව් ඔව් ජනප්‍රිය වගේම හොඳම කියන කැටගරියේ සම්මානයත්
ගන්න ඕන. අපේ රටේ එහෙම අරගෙන තියෙන්නේ කිහිපදෙනයි. මගේ නමත්
ඒ අතරට යනවා දකින්න ඇත්තටම මගේ හිතේ ආසාවක් තියෙනවා. මං
හිතනවා ඒ වෙනුවෙන් ගුණාත්මක නිර්මාණයක් මට ඉදිරියේදි ලැබෙයි
කියලා.”
අපිට දැනගන්න ලැබුණා සෙනාලි රඟපාන සීමාව ඇතුළෙදි ඕනෑම දේකට ඔට්ටු
නිළියක් කියලා. ඒ කියන්නේ ඕන අභියෝගයක්, අවදානමක් බයක් සැකක් නැතුව
බාරගන්නවා කියලා. එහි ඇත්ත නැත්ත ගැනත් අපි සෙනාලිගෙන් අහලා බැලුවා.
“ගොඩාක් නිර්මාණවල කරන්න අපහසු රූගතකිරීම් තියෙනවනේ. ඒ කියන්නේ
උස තැනකින් පනින දර්ශන, ඔය ගැඹුරු තැන්වල වතුරේ පීනන දර්ශන වගේ.
ඒ දේවල් මං ඇත්තටම කරන්න ආසයි. මට මතකයි කබඩි චිත්‍රපටයේ ලයිට්
හවුස් එකක ජනේලයකින් පහළට පනින්න තිබුණා. එතැන හුඟාක් උසයි. ඒත්
ඉතින් මං පැන්නා. හැබැයි එදා චණ්ඩියෙක් වගේ පැන්නට මොකද බය
හිතුණා. සිරිපැරකුම් චිත්‍රපටයේ නම් ඒ වගේ අවදානම් දේවල් ගොඩාක් කළා.”

*රංගන ජීවිතේ අමතක නැති ප්‍රේක්ෂක ප්‍රතිචාර එහෙම නැද්ද?

“ඕනතරම් තියෙනවා. ඒත් ඒ අතරිනුත් මට අමතක නැති දෙයක් තියෙනවා. ඒ
තමයි මම පුරුද්දක් විදියට ෆේස්බුක් එකේ මෝටිවේෂන් පෝස්ට් දානවා. මගේ
ෆොටෝ එකක් දැම්මත් කැප්ෂන් එකට දාන්නේ එහෙම දෙයක්. එක දවසක්
මට නොදන්න කෙනෙක්ගෙන් කෝල් එකක් ආවා. එයා මට කිව්වා එයා එදා
සියදිවි හානිකරගන්න හිටපු කෙනෙක්ලු. ඒත් මගේ පෝස්ට් එකක් දැකලා ඒ
තීරණය එයා වෙනස් කරගෙන. ඒක අහපු වෙලේ මට පුදුම සතුටක් දැනුණා
දෙවියනේ මං කෙනෙක්ගේ ජීවිතේ බේරුවනේ කියලා.”
පසුගිය කාලේ සෙනාලිට ජීවිතේ හුඟාක් ප්‍රශ්නවලට මුහුණපාන්න වුණු වග
පාඨක ඔබත් දන්නවා ඇති. ඒ ඇයගේ මවත් පියාත් ඇයට හදිසියේම අහිමිවීම
නිසා. ඒත් අපි දැක්කා ඇය ඒ හැමදේම දරාගෙන ඒ අමාරු කාලසීමාව පහුකරපු
විදිය. මේ ඒ අතීතය ගැන ඇය ‘ධරණී’ට කියපු කතාව.
“ඇත්තටම ගෙවුණු අවුරුදු කිහිපය තුළ මට ජීවිතේ හුඟාක් දේවල් නැතිවුණා.
ඒ කාලේ හරි අමාරුවෙන් තමයි ජීවිතේට මුහුණදුන්නේ. සාමාන්‍යයෙන් ඕන
ගෑනු ළමයෙකුගේ ජීවිතේ වටිනාම දේ තමයි අම්මයි තාත්තයි. ළඟ ළඟම ඒ
දෙන්නව නැතිවෙද්දි මට දරාගන්න බැරිවුණා. මම මේ ලෝකයේ සදහටම
තනිවුණා කියලා හිතුණා. අපේ පවුලේ එකම ළමයත් මම හින්දා මට එයාලා
පුදුම විදියට ආදරේ කළා. මමත් එහෙමයි. ඉතින් ඒ දෙන්නම නැතිවෙද්දි මං
මානසික අතින් බිංදුවට වැටුණා. ඒත් කාලයත් එක්ක මං තේරුම්ගත්තා අපි
හැමෝම මේ ලෝකෙට ආවේ යන්න බලාගෙන මිසක් ඉන්න බලාගෙන
නෙවෙයි කියලා. එහෙම හිතලා මං හරි අමාරුවෙන් හිත හදාගත්තා.
දරාගන්න පුරුදු වුණා. කදුළු අස්සෙන් හිනාවෙන්න පටන්ගත්තා. එදා එහෙම
නොකළා නම් සමහරවිට මගේ රංගන ගමන අවසන් වෙන්නත් ඉඩ තිබුණා.”
හැබැයි දැන් සෙනාලිගේ ලොකුම බලාපොරොත්තුව වෙන්නේ ඇයගේ ලොකු
නැන්දා වෙන මාලනී ෆොන්සේකා මහත්මිය වගේ අත්දක්ෂ නිළියක් වෙන එකලු.
“මගේ අම්මයි තාත්තයි ජීවතුන් අතර ඉන්න කාලේ එයාලා දැක්ක ලොකුම
හීනයක් වුණේ මං ලොකු නැන්දා වගේ ලංකාවේ විශිෂ්ට නිළියක් වෙනවා
දකින එක. ඉතින් එයාලා වෙනුවෙන් ඒ හීනේ මං කොහොම හරි සැබෑ
කරන්න ඕනේ.”
එහෙම කියපු සෙනාලි කතාබහට සමුදුන්නේ මෙච්චර කාලයක් පුරාවටම ඇයට
ආදරේ කළ ප්‍රේක්ෂකයින්ව හරිම ආදරෙන් මතක් කරන ගමන්. ඒ වගේම මේ

අලුත් අවුරුද්දේ ‘ධරණී’ පාඨක ඔබ වෙනුවෙන් විශේෂ යමක් කියන්නත් ඇය
අමතක කළේ නෑ.
“ගොඩාක් තැන්වලදි කාන්තාවෝ හිතන දෙයක් තමයි අනේ අපි හරි
දුර්වලයිනේ කියලා. මං කියන්නේ තවදුරටත් එහෙම හිතන්න එපා. මොකද
කාන්තාවෝ කිසිම විදියකින් දුර්වල නෑ. තමන්ට තමන්ගේ ගැන
ආත්මවිශ්වාසයක් තියෙනවා නම් ඕන කෙනෙක්ට ඕනෑම අභියෝගයකට
මුහුණදෙන්න පුළුවන්. අන්න ඒ ශක්තිය ඇතිකරගන්න. එහෙම ගැහැනුන්‍ට
පුළුවන් මොන ප්‍රශ්නයක් ආවත් ඒවා දරාගෙන ඉදිරියට යන්න.”
රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූප – චමත් ඒකනායක
ඇඳුම් – H&H Bridal Gallery
මේකප් – දිලුක්ෂි නාරංගොඩ (Dee’s Hair and Beauty)