නවතම ප්‍රවෘත්ති

“මහත්තයා මොකුත් නොකීවට ඒ ගෙදර කවුරුවත් මට කතා කරන්නේ නෑ…”

ජනවාරි මාසය කියන්නේ වසර පහළොවක් විතර තිස්සේ මම හරිම කාර්යබහුල වෙන මාසයක්. ඒ මම හෝමියොපති වෛද්‍යවරියක් වගේම ව්‍යායාම උපදේශිකාවක් නිසා. සාමාන්‍යයෙන් ජනවාරි මාසයේ මිනිස්සු තමන්ගේ ජීවන රටා අර්ථවත් ලෙස වෙනස් කරගන්න විවිධ දේවල් ජීවිතේට එකතු කරගන්නවා. ව්‍යයාම කරන්න පටන්ගන්න එකත් එහෙම එක පුරුද්දක්. ඉතින් ඒ නිසාම ජනවාරි මාසයේ මගේ ආයතනයට අලුතින් සම්බන්ධ වෙන අය වැඩියි. එතකොට මටත් වැඩ වැඩියි. සමහර අය එක්ක අවබෝධයෙන් කතා කරන්න ඕනෑ වගේම බොහොම ඉවසීමෙන් දේවල් තේරුම් කරන්නත් ඕන. ඒකට හේතුව තමයි හිතුමතේ කාලා බීලා, වැරදි ජීවන රටාවල ඉඳලා හොඳටම බර වැඩිවෙලා හොඳටම ලෙඩ වැඩිවෙලා මගේ ළඟට එන හුඟක් අය, ආපු ගමන් අහන්නේ ‘මට කොච්චර කාලෙකින් කෙට්ටු වෙන්න පුළුවන්ද… මට කොච්චර කාලෙකින් බඩ අඩු කරගන්න පුළුවන්ද’ කියලා.

ඉතින් එහෙම වෙලාවට මම මුලින්ම හිනාවෙනවා. ඊටපස්සේ අහනවා ‘දැන් ඔයාගේ වයස කීයද, බර කීයද’කියලා. එතකොට කීවොත් වයස තිස්පහයි බර කිලෝ අසූවයි කියලා, මම කියන්නේ ‘ඔයා අවුරුදු තිස්පහක් පුරාවට එකතු කරගත්ත කිලෝ අසූවක බර අපට සතියෙන් දෙකෙන් මාසෙන් එකපාරට වෙනස් කරන්න බෑ’ කියලා. ‘ඔයාගේ අස්ථිවල බර, ලේ වල බර, මාංශවල බර, දියර බර ඇරුනාම ඉතිරි කොටසම තැන්පත් වෙලා තියෙන්නේ මේදය විදියට. ඉතිං එතැනින් යම් මේද ප්‍රමාණයක් තමයි ඉතා ප්‍රවේශමෙන් ඉවත් කරගන්න ඕන’ කියලා.

අනික විශාල බර ශරීරයක් නම් කොපමණ ආශාව තිබුණත් ව්‍යායාමවලට අනුගත කරන්න ඕන හරි හෙමින්. කිලෝ සීයක කෙනෙක් කිලෝ පනහක් දක්වා බර අඩු කරන්න අපට වසරක පමණ කාලයක් ගොස් තිබෙනවා. බර අඩු කරන්න කෙට්ටු වෙන්න විවිධාකාර අරමුණුවලින් බලාපොරොත්තුවලින් එනවා. මූලිකම දේ ලස්සනට හයියට ඉන්න එක. ඒ හැරුනම මාසික ඔසප්වීම අක්‍රමවත් වීම, දරුවන් පිළිසිඳගැනීම් ප්‍රමාද වීම, ශරීරයේ අනවශ්‍ය රෝම වර්ධනය වීම, නිතර උදරය විශාල වීම, බෙල්ල වට කළුවීම, විවිධාකාර ශරීර වේදනා, තමන්ගේ හැඩය සහ තමන් පිළිබඳ තෘප්තිමත් නොවීම වගේ දේවල් නිසාත් ව්‍යායාමවලට යොමු වෙනවා. ඒ වගේම තමන්ගේ විවාහය ළංවුණාම ශරීරය තව ටිකක් හැඩ කරගන්න, ගුවන් සේවාවල සම්මුඛ පරීක්ෂණවලට යන්න නියමිත උස බර හදාගන්න, විවිධ ක්‍රීඩා ඉසව්වලට යන්න නියමිත බර හදාගන්න වගේ නොයෙක් හේතු මත ව්‍යයාම කරන්න එන අයත් ඉන්නවා.

මේ අතරේ සමහර කාන්තාවෝ ගැහැනු ළමයි බොහොම පෞද්ගලික දේ මා එක්ක කතා කරනවා. සමහරු අඬලා හිත නිදහස් කරගන්නවා. සමහරු හිටියට වඩා ශක්තිමත් වෙලා පිටත්වෙලා යනවා. ඒ වගේ වෙලාවට මම මගේ හිත ගැඹුරු මුහුදු පතුලක් වගේ කර ගන්නවා. ගැඹුරු මුහුදු පතුලක් කියන්නේ රහස් වළදාපු තැනක්. කවුරු හරි මා එක්ක කියපු එයාගේ පෞද්ගලික කතාවක් මම මගේ සැමියා එක්කවත් නොකියන්නට වග බලාගන්නවා. මට දේව පිළිමයකට වගේ විශ්වාස රකින්න, රහස් රකින්න පුළුවන්. ඉතින් මිනිස්සු ඒ නිසාම මට ආදරෙයි. කොහේ ගියත් ලංකාවට ආපු දවසට එයාලා මාව බලන්න එනවා. මගේ උපන්දිනය දාට එයාලගෙන් ලැබෙන මල් නිසා මට දැනෙන්නේ මම මල්වත්තක ඉන්නවා වගේ. මගේ වෘත්තීය ඒ තරම්ම තෘප්තිමත්.

මිනිස්සු ශරීරය දුර්වල කරගන්නේ හුඟක් වෙලාවට මනස දුර්වල කරගත්තාම. එක දවසක් ලස්සන ගෑනු ළමයෙක් ආවා මාව හම්බවෙන්න. අපේ සුදු මැණිකේටත් වඩා වයසින් බාලයි. ඒ කියන්නේ වයස විසිතුනයි. මා එක්ක තනියම කතා කරන්න ඕන කීවා. මම එහෙම අය එක්ක හරි ඉක්මනට කතා කරනවා. මොකද එතැන මොකක් හරි නරක තත්ත්වයක් තියෙන බව ඉක්මනින් පිහිටක් අවශ්‍ය බව මම අත්දැකීමෙන් දන්නවා.

මේ දරුවා හරිම ලස්සනයි. විවාහ වෙලා අවුරුද්දයි කියලා තමයි මට කිව්වේ. කොච්චර ඇඬුවද කියනවා නම් මට සෑහෙන වෙලාවක් අඬන්න වෙලාව දෙන්න වුණා. ඉකි ගගහා අමාරුවෙන් වචන හදාගෙන මුලින්ම කීවේ “මගේ අම්මා නිසා තමයි මේ සේරම” කියලා. ඒ දරුවා ඊළඟට මෙහෙම කියාගෙන කියාගෙන ගියා. ඒ අතරේ නවත්ව නවත්වා ඇඬුවා.

“මගේ තාත්ති හරිම නිවුන මනුස්සයෙක්. මටයි මල්ලිටයි අම්මටයි හරිම ආදරෙයි. අපෙ පවුල ඉස්සර හරි ලස්සනයි. තාත්ති එකපාරටම අසනීප වෙලා පස්සේ දැනගත්තා පිළිකාවක් කියලා. මගෙ අම්මා ඊටපස්සේ ඔෆිස් එකක පොඩි රස්සාවකට ගියා. එයා ලස්සනයි. එතනින් පස්සේ තමයි හුඟක් දේවල් වෙනස් වුණේ. අම්මා ටික කාලෙකට පස්සෙ වැඩ ඉවර වෙලා එන වෙලාවල් පරක්කු වෙන්න ගත්තා. සමහර දවස්වල වාහනවලින් ඇවිත් ගේ ළඟම බැස්සා. අපට කන්න, තාත්තිට බෙහෙත්, ඇඳුම් පැළඳුම් සේරම අම්මගේ වැටුපටත් වඩා ඉහළින් කරා. මට යන්තම් තේරෙනකොට මම ඒ ගැන ඇහුවා. එතකොට ඕටී කරපු සල්ලි කියලා කිව්වා. ලෝන් එකක් දැම්මා එකේ සල්ලි කීවා. ඔහොම ගිහින් එක දවසක් ගෑනු කෙනෙක් ආවා අපේ ගෙදර. ලෙඩවෙලා හිටපු තාත්තිට හොඳටම බැන්නා. ගමටම ඇහෙන්න බැන්නා. ඒ ගෑනු කෙනා පිහියකුත් අරං ආවේ. අම්මා හිටියොත් මොකක් හරි කරන්න. ඒ ගෑනු කෙනාගේ මහත්තයා එක්ක අම්මා සම්බන්ධයක් තියෙනවාලු. ඒ ගෑනු කෙනාව දැං අතෑරලලු. දරුවෝ තුන්දෙනෙක් ඉන්නවලු. තාත්තිට කරගන්න දෙයක් තිබුණෙ නෑ අන්තිමට. මොකද ඒ වගේ සිද්ධි කීපයක්ම ඊටපස්සේ වුණා. එක දවසක් තාත්තත් ඉස්පිරිතාලේ නවත්තන්න මම එයත් එක්ක ගියාම එක අයියා කෙනෙක් ඇවිත් හිටියා ඉස්පිරිතාලේ එයාගේ අම්මා එක්ක. ඒ අයියා මට උදව් කරා තාත්ති වැසිකිළි ගෙනියන්න. අපි කතා කරා. පස්සේ අපි යාළුවුණා. එයාලගේ ගෙදරින් අපේ ගෙදර ආවා. මම ගැන ඇහුවා. අපේ අම්මා කිසිම හෙවිල්ලක් නැතුව හරිම පොඩි කාලෙකින් මාව කසාද බන්දලා දුන්නා. ඒ අයියගෙ නෑදෑයෙකුටවත් අපේ ගෙදරව එන්න දුන්නේ නැති නිසා එක නැන්දා කෙනෙක් හොරෙන් අපේ විස්තර හොයලා අම්මා නරක කෙනෙක් කියලා සාක්ෂි එක්කම මම කසාද බැඳපු ගම පුරාම ප්‍රචාරණය කරලා. අන්තිමට බලනකොට ඒ නැන්දගෙ මහත්තයා එක්කත් අපේ අම්මා සම්බන්ධයක් තිබිලා. පිංතුර ෆෝන් එකේ තිබිලා. දැන් මගේ මහත්තයා මොකුත් නොකීවට ඒ ගෙදර කවුරුවත් මට කතා කරන්නේ නෑ. මට මාස දෙකකින් මාසික ඔසප්වීම වුණේ නෑ. පෙරේදා මම දැනගත්තේ මට දරුවෙක් ලැබෙන්න ඉන්න බව… අනේ මම දැන් මොකද කරන්නේ… මට ජීවිතයක් නෑ… මේ තත්ත්වය තියාගෙන කොහොමද මෙයාව හදන්නේ” කියලා වැලහින්නියක් වගේ අඬනවා. ඒ දරුවා ජීවිතේ නැති කරගන්න තැනට හිත හදාගෙන ආයමත් මගේ ලිපියක් කියවලා හිතුණලු මා එක්ක කතා කරන්න.

සමහර වෙලාවට ජීවිතේ වරදින්නේ අපේම වරදින් නෙමේ. අපේ කියන අය නිසාත් එහෙම වෙන්න පුළුවන්.

මේ වගේ අවස්ථාවල සමහර වෙලාවට අපි ළඟ අතිසාර්ථක උත්තර නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට එහෙම උත්තර හොයන එක අපේ වෘත්තියට අදාළ නොවෙන්නත් පුළුවන්.  ඒත් මිනිස්සු විදියට මිනිස්සුන්ගේ දුක දැනෙන, ඇහෙන කෙනෙක් වෙලා ජීවත්වෙන්න පුළුවන්නම්, එහෙම මිනිස්සුන්ට වචනයකින් හරි අස්වැසිල්ලක් වෙන්න පුළුවන් නම් ඒක තමයි අපේ මෙහෙවර කියලා මම නිතරම හිතනවා.

ජනාලි මදුරසිංහ