නවතම ප්‍රවෘත්ති

දිනකට ලූනු ගෝනි හතළිහකට වගකියන නිශාන්ති

පසුගිය සිකුරාදා උදෑසන සිටම කොළඹ පිටකොටුවේ වීදියක් වීදියක් පාසා
අණසක පතුරුවාගෙන සිටියේ ගිනි කාෂ්ඨක අව්ව පමණය. අව්රශ්මිය ශරීරකූඩු
අස්සට රිංගාගෙන හයිරම් කරද්දීත් ඇතැමුන් වාහනවලට පාකින් ටිකට්
කඩමිනුත්, තවකෙක් මුට්ට කරගසමිනුත්, තවත් අය ලූනු සුද්ද කරමිනුත්
පණකෙන්ද රැකගන්නට වෙර දැරූහ.
පිටකොටුව මාකට්ටුව අසළදී මට මුණගැසුන නිශාන්ති චන්ද්‍රසේන සිටියේ ලූනු
සුද්ද කරන අයවලුන්ගේ ගොඩේය. අල ලූනු පුරවාගෙන එහෙ මෙහෙ යන ලොරි
බාග අතරින් රිංගාගත් මම නිශාන්ති සිටි තැනට ළංවුණේ ඇගේ උරපත්තට
තට්ටුවක් ද දමමින්ය. ඒ සංඥාවට මා දෙසට හැරුණු ඇගේ ඇස් හීනි වී ගියේ
අව්රශ්මිය නිසා ද නැතිනම් ලූනුවල සැර නිසාදැයි කියන්නට නොදනිමි. නමුත් ඒ
අල්ලපනල්ලේ මා ඇසූ ප්‍රශ්නවලට ද ඇය නොපැකිළිව උත්තර බැන්දාය.
“ලූනු කඩවල්වලට දාන්න කලින් අපිට ගෙනැත් දෙනවා. එහෙම ගෙනැත්
දුන්නට පස්සේ ඒවගේ හොඳ ලූනු නරක ලූනු වෙන්කරලා අපි දෙනවා. පොත්ත
එහෙම වේළිළා තියෙනවා නම් ඒවත් අයින් කරලා තමයි අපි දෙන්නේ. දවසට
මේ කෑලි හතළිහම අපි සුද්ධ කරනවා.”
එසේ පවසමින් නිශාන්ති මට පෙන්නුවේ ලූනු ගෝනි 40කි. ඇය එම ලූනු ගෝනි
40ම අවසන් කිරීමට උදෑසන 7.00ට පැමිණ සැඳෑවේ 06 වන තෙක්ම රැඳිය යුතුය.

“කොහොමහරි හවස් වෙන්න කලින් හතළිහම ඉවර කරන්න ඕනෑ. ඒ
වෙලාවට එකදිගට වාඩිවෙලා අව්ව වැස්ස බලන්නේ නැතුව ලූනු සුද්ධ
කරන්න වෙනවා. මේ රස්සාවට ආපු අලුත නම් ඒ වැඩේ ටිකක් අමාරු වුණා.
ඒත් කොහොමහරි අල්ලාගෙන හිටියා. තව මාමා කෙනෙකුයි මල්ලිලා
දෙන්නෙකුයි මගේ උදව්වට ඉන්නවා. ඒ අයගේ උදව්වත් එක්ක මේ රස්සාව
මම කරගෙන යනවා.”

*ඇයි මේ වගේ රස්සාවක් කරන්න හිතුවේ?
නිශාන්ති කතාවට ඉසිඹුවක් තබන මොහොතක මා ඇගෙන් ඇසුවෙමි.
“මං ඉස්කෝලේ ගිහින් නැහැ. ඒ නිසා ලියන්න කියවන්න බැහැ. ඒ නිසා මට
කරන්න පුළුවන් මේ වගේ රස්සාවක්නේ…”
ඇය එසේ පැවසූවේ පාරේ කොනකට වී කවුරුන් හෝ දැමූ හාල් අහුරක්
එකහුස්මට ගිලමින් සිටි අලුකොබෙයි රෑනක් දෙස බලාගෙනය. ඇයව අනුකරණය
කරමින් මා ද ඒ දෙස බලා සිටියෙමි. ඒ අලුකොබෙයියන්ට ඇති තරම් නිදහස
ඇත. ඒත් උන් කන්නේ අනුන්ගෙන්‍ ය. අනුන්ගේ කා නිදහසේ සිටිනවාට වඩා
තමන් හරි හම්බකර කෑම වටිතැයි මට සිතුණේ නිහඬ බව බිඳිමින් ඊළඟ
තප්පරේ නිශාන්ති කී කතාවත් සමඟය.
“මම ආස නැහැ කාටවත් අතපාන්න. හැබැයි කාටවත් අතනොපා
ජීවත්වෙන්නනම් අපේ අතට සල්ලි එන්න මාර්ගයක් තියෙන්න ඕන. එහෙම
මාර්ගයක් හොයාගන්නවා නම් නිදහස නැතිවෙනවා. හැබැයි කාටත් ණය
නැහැ කියලා හිතේ නිදහසේ ජීවත්වෙන්න පුළුවන්. මගේ අතපය හයි
හත්තියට තියෙනවා. ඒක නිසා මට පුළුවන් දේ කරලා මම මගේ දරුවෝ
දෙන්නට උගන්නවනවා.”
එලෙස කිසිවෙකුටත් අත නොපා නිශාන්ති පිටකොටුවේ ලූනු පොතු හැරියාට
සැමටම එසේ කළ නොහැක. හැබැයි නිශාන්තිගේ කතාවෙන් එක් දෙයක්
ජීවිතයට ගත හැකිය. එනම් ජීවිතය එපා කරගෙන සියල්ල අත්හැර ගන්නට
හේතු අනන්තවත් තිබියදී ජීවිතය අල්ලාගන්නට එක හේතුවක් හෝ සොයාගත
හැකි බවයි.

පිටකොටුවේ ලූනු පොතු හැර ජීවිතය අල්ලාගත් නිශාන්තිට මළපොතේ අකුරක්
බැරි වුණත් ඇය පිටකොටුවේ මිනිසුන් සමඟ ගැටීමෙන් ජීවනපොත
අත්දැකීමෙන්ම පුරවාගෙන ඇත.
“අවුරුදු දහයක් තිස්සේ පිටකොටුවේ මම මේ ගතකරපු ජීවිතේ එක එක
කාලවලදී එක එක මිනිස්සු මුණගැහිලා තියෙනවා. ලංකාවේ හැම
පැත්තකින්ම වගේ මිනිස්සු පිටකොටුවට එන්නේ පිටකොටුවේ ලාබෙට බඩු
ගන්න තියෙනවා කියලා. ඒ ඇවිල්ලත් කොහොමහරි කේවල් කරලා අඩුවට
බඩු ගන්නවා. කොටුව ඇ‍තුළේ ජීවත්වෙන මිනිස්සුන්ගේ ජීවිතත් ඒ වගේ.
ගොඩක් අය ඒ අය ගැන කතා කරන්නේ අගය බස්සලා. හැබැයි මේ
පිටකොටුවේ ජීවත්වෙලාම ඒ මිනිස්සුන්ගේ ජීවිත ඇතුළේ තියෙන මනුස්සකම
මම හොඳට දන්නවා. හිටපු ගමන් ගහ බැණගන්නවා. ඒත් හැමදාම බෙදාගෙන
කන රොටිය වගේම එක කෝප්පේ බොන ප්ලේන්ටිය කවදාවත් මගහැරෙන්නේ
නැහැ.”
නෙත්මි තෂාරා