නවතම ප්‍රවෘත්ති

ඔයා කොහොමද ඔච්චර සතුටින් ඉන්නෙ?

“ඔයා මෙච්චර සැහැල්ලුවෙන් ජීවත්වෙන්න පුරුදු වුණේ කොහොමද? ඕනම දෙයක් මධ්‍යස්ථව පිළිගන්න
පුරුදු වුණේ කොහොමද? සතුටින් ඉන්න පුරුදු වුණේ කොහොමද?” කියලා දවසක් කෙනෙක් මගෙන් ඇහුවා.
ඉතින් මගේ පිළිතුර ටිකක් දිග එකක්…
මගේ ජීවිතේට ශක්තිමත් බව, සතුට, සැනසීම එන්න හුඟාක් කල් ගියා. මිනිස්සු හැසිරෙන්නෙ, දේවල්
කියන්නෙ කරන්නෙ, තමන්ගේ බුද්ධියේ තරමට, තමන්ගෙ ජීවන අත්දැකීම් සමඟ පරිණත වූ ප්‍රමාණයත්
එක්ක, තමන්ට ලැබුණ නොලැබුණ දේවල් එක්ක, එයාලගේ හදවතේ ගැඹුරත් එක්ක වගේ බොහොමයක්
කාරණා එක්ක කියලා තේරුම්ගන්න ඇත්තටම මට බොහෝ කාලයක් ගතවුණා.
කෙනෙකුට දෙයක් කියනකොට එයා ආපු මාවතේ ඇවිදගෙන ගිහින් බලලා එන්න කියලා කතාවක් තියෙනවා.
බොහෝ සතුටින් ඉන්න බව පෙනෙන මනුස්සයෙක් එහෙම ඉන්නේ බොහෝ දුක් විඳලා වෙන්න පුළුවන්.
කෙනෙක් බොහොම හයියට ඉන්නේ බොහෝ බිඳුණු තැන් පිළිසකර කරගෙන වෙන්න පුළුවන්. ඒ වගේම
මනුස්සෙයක් දියුණු වෙලා, ආර්ථික අතින් ශක්තිමත්ව ඉන්නේ බොහොම දුප්පත්ව ඉඳලා වෙන්න පුළුවන්…
ඉස්සර කවුරුහරි ටිකක් හයියෙන් කතා කළත් මට රිදෙනවා… මට ඇඬෙනවා… පුදුම විදියට මානසිකව
වැටෙනවා…
ඒ වගේ දුක හිතුණ, එපාවුණ තැන් නිසා සමහර වටිනා ගමන්බිමන් පවා අහිමිවුණ වාර අනන්තයි. හැබැයි
හැමදාම එහෙම වුණේ නෑ. කාලයත් එක්ක මම ඒ අත්දැකීම් තුළින්ම පදම්වෙලා ජීවිතේ වෙනස් කරගත්තා.
ඊටපස්සේ මම අකමැති සමහරුන්ව දැක්කේ නෑ වගේ යන්න පුරුදු වුණා. සමහරු එක්ක නිහඬව සහ
බොහෝ අය එක්ක අතේ දුරින් ජීවත්වෙන්න පුරුදු වුණා. තමන්ට ගැළපෙන අතලොස්සක් පමණ වූ අය
එක්ක විතරක් සුහදව සතුටින් ගනුදෙනු කරන්න පුරුදු වුණා. එතකොට ජීවිතේ හරි පහසුයි කියලා මට
දැනෙන්න ගත්තා.

ජීවිතේ ඕනෑම දුෂ්කර මොහොතකින් පස්සේ මම නිතරම හිතුවේ උදාවෙන්නේ අලුත් මොහොතක් කියලා.
දැන් ඉන්න මම වෙනස්ම කෙනෙක්. අලුත් කෙනෙක් ඒ හැමදෙයක්ම ඉවරයිනේ කියලා හිතලා හිත හදාගන්න
මම පුරුදු වුණා.
නොලැබුණු දේවල්වලට වඩා මට ලැබුණු දේවල්, මට තියෙන දේවල් සහ මට කරන්න පුළුවන් දේවල් ගැන
වැඩිපුර හිතන්න මම පුරුදු වුණා. ඒ හැමදෙයකටම ස්තූතිවන්ත වුණා.
මම මටම අවංක වුණා. මිනිස්සුන්ට කරුණාවන්ත වුණා. සමහර දේවල්, කාලය, මුදල් ගැන
බලාපොරොත්තු නොවීම දිගටම කරගෙන ගියා. මටම අඩුපාඩු කියාගැනීම, ලෝකයට දෙස්තැබීම මුලින්ම
සහමුලින්ම නතර කර දැමුවා. අතීතයේ සිද්ධවුණු හැමදෙයක්ම ඒ විදියට වුණේ අද දවස මෙහෙම යහපත්
වෙන්න කියලා විශ්වාස කරන්න පටන්ගත්තා.
කාගෙවත් මත යැපෙන්නියක් නොවීමේ නොතිත් ආශාව කුඩා කල සිටම මට තිබුණ දෙයක්. ඉතාම තරුණ
කාලේ ප්ලාස්ටික් මල් සකස් කරලා නගරයේ කඩවල්වල විකිණීමට තියපු දවස් තිබුණා. පෑන් කේක්, හැලප
මට ඉතා රසවත් සෑදිය හැකි නිසා එකල ගමේ පාසල් දෙකේම ආපනශාලාවලට මා සතියේ දින පහේම කෑම
සාදා අලෙවියට දුන්නා. දන්නා කාලයක පටන් අද දක්වා ඒ නිසා මම හොඳ ව්‍යවසායිකාවක් ද වුණා.
ප්‍රේමයේ දුක සතුට, සමහර කාලවල ජීවිතේ ඇතිවුණු හිස්බව, තනි නොවී තනිවුණ දවස්, කිසිම
බලාපොරොත්තුවක් නැති දවස් පහුකරලා ආපු නිසා ඊටපස්සේ ඒ වගේ අවස්ථා කොච්චර ආවත් ඒවා
ලේසියෙන් පහු කරගෙන යන්න තරම් මම ශක්තිමත් වුණා.
ගස්වලට පණ තියෙන බව, එයාලා මට කතා කරන බව, පිනි බිංදු මට හිනාවෙන බව, මල් පොහොට්ටු මට
දේවල් කියන බව මගේ කන්වලට ඇහෙන්න ගත්තේ ඒ විදියට ජීවිතේ හිස්වුණ තැන්වලදී.
කිටීගෙ දිවේ කටු තියෙන බව, එයා ආදරේ කරන්නේ ඒ කටු මතින් බව, එයා ඇස් පුංචි කරන්නේ ආදරේ
හිතුණාම බව, එයා සෙල්ලමට එන්නේ මාව සතුටු කරන්න බව මට දැනුණෙ මම ප්‍රේමයෙන් හෙම්බත්
වුණ තැන්වලදි, ඔහේ බලාගෙන හිටපු තැන්වලදී.
වතුර බිංදුවක් වැටෙනකොට එහි අපූරු රටාවක් තියෙන බව, වතුරටත් සිහින් සුන්දර හඬක් තියෙන බව,
කුරුල්ලො ඇයි එකම පැත්තකට එකම විදියට පියාඹන්නෙ කියලා දැනගත්තේ ඔහේ බලාගෙන ඉඳලා තනි
නොවී තනිවුණ දවස්වල.
වෙලාවකට සාමාන්‍ය ගැහැනියකට නොසිතෙන අමුතු දේවල් සිතට නැගුනත් විශ්වයේ සමහර සත්‍යයන්
මා විසින් සොයාගත්තත් ඒවා කතා කරන්න තරම් සියුම් සියුමැලි සිතක් සොයාගන්නට නොහැකි වූ විට මා
ඒවා ලියන්නට පටන්ගත්තා. ඇස ගැසීමට සැලැස්වීම මිසක ප්‍රකාශ කිරීමට, කියා දීමට, දේශනා දීමට
නොයාමට වග බලාගත්තා.
ලස්සන ශල්වාර් එකක් ඇඳලා කොණ්ඩෙ ටිකක් පැත්තකට ලිහලා දාලා පුංචි තෝඩු දෙකක් දාලා පයට පුංචි
පා සළඹක් දාලා ඕඩිකොලොන් ටිකක් දාලා කෝවිල ළඟ කඩෙන් පිච්ච මල් මාලයක් අරන් දෙවියන්
බැහැදකින්න යන්න පටන්ගත්තා. ඒ ඇස් ඉදිරිපිටට යද්දි පුංචිමවත් බොරුවක් වංචාවක් කාටවත්ම නොකර

යන්න වගබලාගත්තා. විවිධාකාර මල් සුවඳට පොල්තෙල් පිච්චෙන සුවඳට ඉන්දියන් හඳුන්කූරු සුවඳට මගේ
ජීවිතේට ඇතුළු වෙන්න මාව සනසන්න දෙන්න මම හුරුවුණා. නන්දිට කනට රහස් කියන්න, එයාගේ හිසේ
මලක් රඳවන්න, පත්තිනි මෑණියන් ළඟ සීනුව නාද කරන්න මම පොඩි ළමයෙක් වගේ ඇබ්බැහි වුණා.
කෝවිල් වැඳලා පාර දිගේ පයින් එනකොට හැමදාම බේකරිය ළඟ ඉන්න කකුලක් නැති අහිංසක බව්
කොල්ලට ඉස්පංචියක් අරං දීලා කනකම් බලාගෙනත් ඉඳලා ඉතිරි දුර මම ඇවිදගෙන එන්නේ හරියට
දිව්‍යලෝකයේ ඇවිදං එන හැඟීමෙන්.
මාගේ අභ්‍යන්තර සහ ආධ්‍යාත්මික වෙනස්වීම මටම දැනෙන්නට ගත්විට දවස අවසානයේ මම තෘප්තිමත්
ගැහැනියක් යැයි මටම ස්තූති කරගත්තා. සතුටින් ජීවත්වීමට සාර්ථක ක්‍රම සොයාගත්තා.
හැමවෙලාවෙම හිතුවේ මේ ලෝකෙට මුලින්ම ඕනේ සතුට කියලා.
ඉතින් මට දවසේ මුලින්ම මුණගැහෙන පුද්ගලයාගෙ ඉඳලා අවසානයට මුණගැහෙන පුද්ගලයා දක්වා
සුන්දර සිනහවක් දෙන්න පුරුදු වුණා. මට දිනයේ මුලින්ම මුණගැසෙන්නේ මගේ සැමියා. දවසේ මුලින්ම
මම සුබ පතන්නේ ඔහුට. සමහර දවස්වල දවසේ සිදුවුණු පුංචි පුංචි නෝක්කාඩු එක්කම නින්දට ගිහින්
උදේ ඇහැරෙද්දි මට හරිම අපහසුවක් තිබුණා පසුදින උදෑසනම ඔහුට සිනහවකින් සුබ පතන්න. මාව
වෙනස් කරගන්න, මගේ තද ගති ඉවත් කරගන්න මට බොහොම අමාරු වුණා. ඒත් මම හිතුවේ මෙහෙමයි…
‘මේ තරහව මේ පුංචි අමනාපය මටම මිසක ඔහුට කිසිඳු පීඩනයක් නෙමෙයි. ඔහු මෙය දන්නෙත් නැතිව
ඇති. ඔහු මා තරම් පීඩාවෙනුත් නැතුව ඇති. ඇයි මම මටම මගේ ඕරාවටම හානි කරගන්නේ? මම ඊයේ
රාත්‍රිය එතැනින් නිමා කරනවා. මේ මොහොතේ මම අලුත් කෙනෙක්. ඉතින් මම ඒ අලුයම බ්‍රහ්ම
මුහුර්තියෙ පාන්දර හතරට ඔහුට සුබ උදෑසනක් කියනවා. සුන්දර සිනහවක් දෙනවා.
එතැන් පටන් ලොකු කුඩා සෑමදෙනාටම සුබ උදෑසනක් කීම, සිනහවක් දීම මගේ ප්‍රථම රාජකාරිය වුණා.
මිනිස්සුන්ට විතරක් නෙවෙයි කිටීට, බව්වො දෙන්නට පවා මම උදෙන්ම සුබ පතනවා. සිනහවක් දෙනවා.
හිස අතගානවා. ඒ විතරක් නෙවෙයි මගේ ගස්වැල්වලට, රෝස මල්වලට පවා මම සුබ පතනවා.
කාටහරි සතුට දෙනකොට කාටහරි සිනහවක් දෙනකොට තමන්ගේ වටේ තියෙන ඕරාව සුදු පැහැයෙන්
බබළනවා. හෘදය මගින් ශරීරය පුරා සමබරව රුධිරය රැගෙන යනවා. අපේ සම පැහැපත් වෙනවා.
ලෙඩදුක් නැති වෙනවා. නිරෝගී සිරුරක් ලැබෙනවා. හොඳ මිනිසුන් අප වෙත ඇදී එනවා. විශ්ව ශක්තිය
ආකර්ෂණය වෙනවා.
මුලින්ම තමන් තුළ මනා ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගාගත්විට තමන්ගේ මානසික සීමාව සුද්ද පවිත්‍ර
කරගත්විට ජීවිතේ කියන්නේ මොනතරම් උත්කර්ෂවත් දෙයක් දැයි මොනතරම් සුන්දර සාරවත් දෙයක්
දැයි මනාව තේරුම් යනවා.
ඉතින් මට ඕනේ සතුටින් ඉන්න. මගේ වටේ ඉන්න අය සතුටින් ඉන්නවා දකින්න. සිංදුවක් ඇහුවත් ඒක ඇතුළේ
සතුට තියෙනවා දකින්න. පොතක් කියෙව්වත් ඒක සතුටින් නිමාවෙන පොතක් වෙන්න. තනියම හිටියත්
එක්ව හිටියත් හැමකෙනෙක්ම සතුටින් ඉන්න. මාව කියවන මාව දකින හැමෝම සතුටින් ඉන්නවා දකින්න.

සතුටින් ඉන්නේ කොහොමද, ජීවිතේ තෘප්තිමත්ව පවත්වාගෙන යන්නේ කොහොමද, නෑ බෑ කියලා හිතෙන
තැන්වලත් හයිය වෙන්නේ කොහොමද කියලා අපි ආයමත් දවසක කතා කරමු…
ජනාලි මදුරසිංහ