නවතම ප්‍රවෘත්ති

ආසියානු කුසලාන ඉතිහාසයේ පළමු ශතකය චමරිගෙන්

2024 ජූලි මස 19 වැනි දා සිට 28 වැනිදා දක්වා කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්සාන ක්‍රිකට් තරඟාවලිය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. එහි ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරඟය ඊයේ (ජූලි 22 වැනිදා) මැලේසියාවට එරෙහිව පැවැත්වුණා. ලකුණු 144ක දැවැන්ත ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට ළඟා වුණා.

මේ තරඟයේ සුවිශේෂීත්වය වූයේ කාන්තා ආසියානු කුසලාන තරඟ ඉතිහාසයේ පළමු ශතකය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්වීමයි. ඊයේ රැස් කරපු ශතකයත් සමඟ ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතකලාභිනිය වශයෙන් සම ස්ථාන ගැනීමටත් චමරි සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිළ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නා. පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න එක් ලකුණකටත්, දෙවැනි කඩුල්ල ලෙස හර්ෂිතා සමරවික්‍රම ලකුනු 26කටත් දැවී යද්දී කණ්ඩායම් නායිකා චමරි සමඟ අනුශ්කා සංජීවනී තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 115ක සබඳතාවක් ගොඩනැඳුවේ පන්දු 62කදීයි. ඉනිම අවසාන වනතෙක් නොදැවී ක්‍රීඩා කළ චමරී පන්දු 69ක දී ලකුණු 119ක් රැස් කලේ හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් සමඟයි.

ලකුණු 185ක ඉලක්කයක් හඹා ගිය මැලේසියා කණ්ඩායමට පන්දුවාර 19.5ක් අවසන් වන විටත් රැස් කරගත හැකිවූයේ ලකුණු 40ක් පමණයි. කණ්ඩායමේ ලාබාලතම ක්‍රීඩිකාව වූ ශෂිනි ගිම්හානි කඩුලු 3ක් සහ කවීෂා දිලාහාරි, කාව්‍යා කාවින්දි කඩුලු දෙක බැඟිනුත් දවාගත්තා.

මේ සුවිශේෂී ජයග්‍රහණය සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට ඇතුලත් වීම සඳහා මේ ජයග්‍රහණය ප්‍රමාණවත් වනු ඇතැයි විශ්වාස කරනවා. අවසන් පූර්ව වටයේ දී ඉන්දියාව මඟ හැරීමට නම් 24 වනදා තායිලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරඟය ශ්‍රී ලඤා කණ්ඩායම ජය ගත යුතුයි.

ආසියානු කුසලානයේ ජයග්‍රහණය ඉදිරියේ ශ්‍රී ලංකා නාමය සටහන් කරන්න ශ්‍රී ලංකා කාන්තා පිළට හැකියාව ලැබේවායි ධරණී අපි සුබ පතනවා.

 

මූලාශ්‍රය: අරුණ පුවත්පත (2024 ජූලි 23)

සටහන: දිල්මිකා අත්තනායක