නවතම ප්‍රවෘත්ති

ඔය පීඩාව ටිකකට අමතක කරන්න පුංචි ගෑනු ළමයෝ

ළඟදී දවසක මම මගේ අවශ්‍යතාවයකට ටිකක් සෙනඟ එකතුවෙන තැනකට ගියා. ඇත්තම කියනවා නම් පෞද්ගලික බැංකුවකට. ඔන්න මම ටිකක් වාඩිවෙලා ඉන්නකොට බබාලා දෙන්නෙක් එක්ක අම්මා කෙනෙක් ආවා. එහා පැත්තේ එක පුටුවයි තිබුණේ. එක බබෙක් ටිකක් ලොකුයි. තනියම පුටුවක ඉඳගන්න තරං. ඒ අම්මගේ අතේ කුඩයට අත්බෑග් එකට අමතරව කුඩා දරුවාත් හිටියා. මම ඉක්මණින් නැගිටලා මගේ පුටුවත් ඒ තුන්දෙනාටම දීලා ටිකක් එහාට වෙලා හිටියා. පුංචි දරුවා ටිකක් දඟයි, එක විදියකට ඉන්නෙම නෑ. හැමතැනම දුවනවා. මල් පෝච්චිවල කොළ කඩනවා. කුඩේ බිම දිගේ ඇදගෙන යනවා. ඒ අම්මා පුදුමාකාර පීඩාවකින් වෙහෙසකින් ඉවසීමකින් ඉන්න බව මම දැක්කා. ඒ මූණ අඬන්න වගේ බරවෙලා.

කාලයක් මමත් මෙහෙම ඉඳපු බව සිහිවෙලා මම ඒ අතීතයට ගියා. හැබැයි එයාලා එහෙම දඟ නෑ. දරු දෙන්නගේ වයස පරතරය අවුරුද්දයි. මාවම හොයාගෙන ආපු දෙන්නෙක්නේ.

එයාලා මාව හොයාගෙන එනකොට යන්තම් මම තරුණියක් වුණා විතරයි. ඇත්තටම එතකොට දැනුණෙ නෑ මේ ගෙවෙන්නේ ගෑනු ළමයෙකුගෙ හොඳම කාලය, හොඳට නිදාගන්න ඕන කාලය, අම්මා එක්ක හුරතල් වෙන්න ඕන කාලය, ලස්සනට පුංචි ගවුම් අඳින්න ඕන කාලය, කුකරි ක්ලාස් යන්න ඕන කාලය කියලා…

මට තිබුණේ ඒ කාලේ කඳුළු තද කරගෙන මව්කිරි දෙන්න, ගෙදර නවදෙනෙකුගේ සහයෝගය තිබුණත් දරුවෝ අඬනකොට අතට අරන් කරේ තියන් ගේ පුරා ඇවිදින්න, බෙඩ් ජැකට් සැහැල්ලු ගවුම් ඇඳන් ඕඩිකොලොන් බේබි සබන් සුවඳට ඉන්න, අර සිරප් මේ සිරප් වෙලාවට පොවන්න, එන්නත් ගහලා ගෙදර ගෙනල්ලා අඬනකොට මමත් එයාලා එක්ක අඬන්න, බත් කටක් කෑවත් එයා දිහා බලාගෙන කන්න, අවට ලෝකයක් නෑ කියලා හිතාගෙන ජීවත්වෙන්න.

මාස තුන, මාස හය, අවුරුද්ද දෙක, තුන යද්දි ඒ වෙහෙස මගෙන් තුරන්වෙලා මම ආයම ටික ටික මම වෙන්න පටන්ගත්තා. මගෙ අධ්‍යාපන වැඩ ආයම ආරම්භ කළා. විදේශගත වුණා. ආසාවෙන් රැකියාවල් පවා කළා. කොටින්ම කියනවා නම් මගේ පවුලේ අයටත් මේ විශ්වයටත් පිං සිද්ධ වෙන්න මම ආයෙම ජීවිතේ විසි තිස් ගණන්වල වගේ දකින්න විඳින්න පටන්ගත්තා.

ලස්සන ගවුම් ඇන්දා, කුකරි ක්ලාස් ගියා, දරුවොත් ඉණේ තියාගෙනම අම්මා එක්ක වරු ගණන් කියවා කියවා හිටියා, හොඳට නිදාගත්තා, ට්‍රිප් ගියා…

හැබැයි ඒ හැමතැනම අත් දෙකේ එල්ලිලා සායේ එල්ලිලා හිටපු ලස්සන රාධාවක්, ශක්තිමත් නිවුන අශෝක කෙනෙක් මගේ දෙපැත්තේ හිටියා. ඒ තමයි මගේ දුවයි, පුතයි. අපි යන හැමතැනකම එයාලාත් ගියා. අපි කන කෑමම පුංචි කාලේ ඉඳලම කෑවා. අපි විඳින සැපදුකම එයාලත් වින්දා.

ඉතින් අද ඒ දෙන්නා මට නංගියි මල්ලියි වගේ. අපි තුන්දෙනා පාරේ යනකොට අපිව දකින අය කියන්නේ “අක්කලා මල්ලිලා කොහෙද යන්නේ” කියලා…

ජීවිතේ කොතැනකවත් ලේසි නෑ. හැබැයි අමාරුත් නෑ. හැමෝටම එක වගේමත් නෑ. ජීවිතේ සාපේක්ෂයි එක එක්කෙනාට. ඒ වුණාට හුඟක් අම්මලාගේ අම්මා කෙනෙක් වුණ දා ඉඳලා ගෙවෙන කාර්තු එක සමානයි.

ඉතිං ඒකට මූණදෙන්න. එන අයව ඔයා කැමති නම් විතරක් කාලය, දේශය, දීපය නොබලාම බාරගන්න. හොඳට බලාගන්න. ඉවසීමෙන් ලොකු කරන්න. ගුණදහම් කියලා දෙන්න. ඉගෙනගන්න කාලයේදී හොඳින් උගන්වන්න. කාලය නාස්ති නොකර රැකියාවල්වලට යොමු කරන්න. නිසිකල දී එයාගේ ජීවිතේ පෞද්ගලික තීරණ ගන්න ඉඩ අරින්න.

මේ වගේ පින්තූර අද වගේ ජංගම දුරකතන වැහි වැහැපු කාලයක ඕනෙම අම්මා කෙනෙක් ළඟ ඕනේතරම් ඇති. ඒවා පරෙස්සම් කරලා තියාගන්න. අනේ මේ මගේ අතේ කරේ හිටපු මගේ සමනල් පැටව් නේද කිය කියලා ආයම දවසක ඔයාට බලන්න. එහෙම අමාරුවෙන් හදපු මගේ පුතා අද කරදඬු උස් මහත් වෙච්ච කඩවසම් තරුණයෙක් වෙලා.

“දැං ළමයි මල්ලිව ලෙක්චර්ස්වලට ඉල්ලනවා. මල්ලි කැම්පස් එකේ හරි ජනප්‍රියයි…”

එයා වැඩ කරන ආයතනයේ දන්න කියන අයගෙන් මට ලැබෙන ප්‍රතිචාර තමයි ඒ…

ඉතින් ඒ මදිද මට මගේ ජීවිතේ ගැන සතුටින් හිතන්න, මා ගැන මගේ මව්වත්කම ගැන, විඳි දුක් කරදර ගැන ආත්මතෘප්තියක් ලබන්න… සිංදුවක් මුමුණගෙන ඉන්න. මම ගැන මට ආඩම්බර වෙන්න.

හයියෙන් වහිනකොට මම හිතන්නේ මේ මොර සූරන වැස්ස අපට එන්න තිබුණ දෙයක්…

හොඳටම පායනකොට, රස්නය වැඩි වෙනකොට මම හිතන්නේ ඒ වෙන්න තිබුණ දෙයක්…

මහා හුලං ඇවිත් මගේ ගහකොළ කැඩිලා බිඳිලා යනකොට මම හිතන්නේ මේ කුණාටුව එන්න තිබුණ දෙයක්…

කොච්චර ප්‍රශ්න අතරේ හරි අපි ඒවට මුහුණ දීගෙන ඉදිරියට ආවා. අපි කොතැනකවත් පැනලා ගියේ නෑ. අපට පැනලා යන්න තැනක් තිබුණෙත් නෑ. ජීවිතේ එහෙම තමයි. අද දවසට කොහොම හරි මුහුණදෙන්න. හෙට කියලා තව දවසකුත් තියෙනවා. ඒක අද වගේ නෙවෙයි හුඟක් හොඳ එකක් වෙන්න පුළුවන්.

ඉතින් පුංචිම පැටව් ඉන්න අම්මලාට මම මෙහෙම මගේ අත්දැකීම් ටිකක් ලියන්න හිතුවා.

මොන කරදර තිබුණත් ලස්සනට ඇඳලා දරුවත් ඉණේ ගහගෙන, එයාගෙ කෑම ටිකත් හදාගෙන හිනාවෙලා එදිනෙදා ජීවිතයට මූණදෙන්න වෙන කාලයක් විවාහ වුණොත්, හැම පුංචි ගෑනු ළමයෙකුටම එනවා. ඒකට කමක් නෑ. ඔය කාලය හරිම ටිකයි. ගෙවිලා යන හැටි ඔයාවත් දන්නේ නෑ පුංචි ගෑනු ළමයෝ.

හැමදාම මව්කිරි දෙන්නේ නෑ. හැමදාම කිරි ඇත්තෙත් නෑ. ඉතින් නින්දෙන් හරි, අඬ අඬා හරි හිනාවෙලා හරි ඒ ටික දෙන්න පුංචි ගෑනු ළමයො. ඒ තමයි දරුවෙකුට මේ ලෝකෙ ලැබෙන දිව්‍යමය ආහාරය.

හැමදාම එයාලා අඬන්නෙ නෑ. ඇහැරලා ඉන්නෙ නෑ. ඒ හැමදෙයක්ම ටික කාලයයි. කාලයකදී මූණ බිම ඔබාගෙන හොඳට නිදියනවා. ඇහැරලාත් වටපිට බල බල ඉන්නවා. අඬන්නෙ නෑ. දැන් ඉතින් ඔය තියෙන පීඩාව අමතක කරන්න පුංචි ගෑනු ළමයො. ඔය කාලය හරි කෙටි එකක්.

හැමදාම බෙරිබත හදාගෙන ගේ වටේ දුවන්න වෙන්නෙ නෑ. වැලමිට රිදෙනකම් උස්සගෙන ඉන්න ඕනෙ නෑ. යන්තම් උගුර කට ශක්තිමත් වෙලා කෑම ටික හරියට උගුරෙන් පහලට දා ගන්න තේරෙනකොට පැදුරක් එලලා කෑම එකත් එක්ක බිමින් තියන්න. ඔයා ළඟින් ඉන්න. කතාවක් කියන්න. එයා ලස්සනට කනවා. ඒ නිසා මේ පුංචි කාලෙ ඔය බෙරිබත හරි රහට හදලා ඉවසීමෙන් සතුටින් කවන්න එයාට පුංචි ගෑනු ළමයො. ඔය කාලය ආයෙ එන්නෙ නෑ.

වැක්සින් ගහලා උණ එනකොට එයා අඬනකොට එයාට පුංචි පුංචි ලෙඩ එනකොට ඔයාටත් ඇඬෙනවා, මැරෙන්න හිතෙනවා තමයි. මොනව කරන්නද… ඒ කාලය හැමදාම නෑ. ටික කාලයක් යනකොට වේදනාව අපහසුකම් කියන්න එයාලට තේරෙනවා. එතකොට බයවෙන්න ඕන නෑ. දරුවෝ එක්ක එයාලාගෙ පුංචිම කාලය ගෙවද්දි ඒ කාලය ඉවසීමෙන් ආදරෙන් කරුණාවෙන් ගෙවන්න පුංචි ගෑනු ළමයො…

පුළුවන් තරම් එයා චූටි කාලෙ එයා ළඟ ඉන්න බලන්න. යන තැනක අරන් යන්න. ගෙවල් හැඩිව තිබුණදෙන්. ඔයා චුට්ටක් මහත්වුණ දෙන්. අනිත් හැමදේම මග ඇරුන දෙන්. ඔයාගෙ කාලය හරි ඉක්මණට එනවා. ඉතිං සතුටින් ඉන්න… ජීවිතේ මොන අභියෝග ආවත් ඒවට පවුල රැකගෙන ශක්තිමත්ව මූණදෙන්න. දවසක මනුස්ස ලෝකෙට ශක්තිමත් අම්මෙක් වෙලා පායන්න ලස්සන ගෑනු ළමයො…

ජනාලි මදුරසිංහ