නවතම ප්‍රවෘත්ති

ප්ලාස්ටික් සැත්කමකට ඔබේ වයස අවුරුදු 10කින් අඩු කර පෙන්වන්නත් පුළුවන්

1994 වසරේදී ලොව සුන්දරම යුවතිය ලෙස ‘ලෝක රූ රැජින’ කිරුළ පැළඳියේ සුපිරි බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායි ය. 1973 ඉපදී ඇති ඇයට දැන් අවුරුදු 51කි. එහෙත් ඇය තවමත් තරුණ පාටය. ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාව ලෙස සැලකුනු ශ්‍රීදේවි දියේ ගිලීමකින් මියගියේ 2018 දී ය. ඒ වනවිට ඇයට අවුරුදු 54කි. එහෙත් මියයන විටත් ඇයට එතරම් වයසක් පෙනුණේ නැත. තවද මේ වනවිටත් අවුරුදු හතළිස් ගණන්වල පසුවෙන රාණි මුඛර්ජිලාට, කරීනා කපූර්ලාට, ප්‍රීති සින්ටලාට ඔවුන්ගේ සැබෑ වයස පෙනෙන්නේ නැත. ඉලක්කමෙන් වයසට යන ඇතැමෙකු එසේ පෙනුමෙන් වයසට නොයෑම බොහෝදෙනෙකුට ප්‍රශ්නාර්ථයකි. බොහෝවිට ඒ පසුපස ඇති හේතුව ප්ලාස්ටික් සැත්කම් ය. ඒ මඟින් තමන්ට අවශ්‍ය පරිදි මුහුණෙහි පෙනුම තරුණ කරගත හැකිය. මේ වනවිට අපේ රටේ ද එවැනි සැත්කම් සිදු කෙරේ. මෙවර අපේ කතාබහ ඒ සම්බන්ධයෙනි.

 

*වෛද්‍යතුමනි, ඇඟට සාපේක්ෂව වයසට ගිය මුහුණක් ප්ලාස්ටික් සැත්කමකින් තරුණ කරගැනීමේ හැකියාව ගැන පැහැදිලි කළොත්?

මේ වෙනකොට අපේ රටේ ඇතුළුව ලෝකයේ බොහෝමයක් දියුණු රටවල එහෙම සැත්කම් සිදුකරනවා. ඔබ දැකලා ඇති සමහර මිනිස්සු ඉන්නවා එයාලගේ ඇඟ වයසට යන වේගෙට වඩා වැඩි වේගයකින් මුහුණ වයසට යනවා. ඒ කියන්නේ මුහුණේ පාට වෙනස් වෙනවා, සම රැලි වැටෙනවා, සම එල්ලා වැටෙනවා වගේ බොහෝ වෙනස්වීම් සිදුවෙනවා. අන්න එහෙම අයට ඇඟට සාපේක්ෂව මුහුණ තරුණ කරන්න පුළුවන් රූපලාවණ්‍ය ක්‍රමවේද ගණනාවක් මේ වෙනකොට තියෙනවා. විවිධ ආලේපන, ලේසර් කිරණ, එන්නත්, ප්ලාස්ටික් සැත්කම් ඒ අතරින් කීපයක්. එයින් ඉතාමත් සාර්ථක ක්‍රමයක් තමයි ප්ලාස්ටික් සැත්කම්.

 

*ඒක මුළු මුහුණටම සිදුකළ යුතු එකක්ද?

එහෙම නෑ. මුහුණේ විවිධ ස්ථාන අනුවත් අපිට ශල්‍යකර්ම සිදුකරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක්ගේ ඇහිබැම එල්ලා වැටෙනවා කියලා. අපිට අවශ්‍ය නම් එතැනට විතරක් යම් ශල්‍යකර්මයක් සිදුකරන්න පුළුවන්. ඒ විදියට නාසයට, තොල්වලට, කම්මුල්වලට, මුහුණේ රැලිවලට වගේ විවිධ ස්ථානවලට පුළුවන්. ඒ වගේම කෙනෙක්ට සම්පූර්ණ මුහුණම තරුණ කරන්න උවමනා නම් ඒකට ‘ෆේස්ලිෆ්ට්’ (Face Lift) එකක් කරගන්නත් පුළුවන්. ගොඩාක් අය තරුණ පෙනුමක් එන්න කරගන්නේ ඒක තමයි.

 

*දැන් කෙනෙක්ට එවැනි සැත්කමකින් පසු ලැබෙන තරුණ පෙනුම කොයි වගේ එකක්ද කියලත් ගැටලුවක් මතුවෙන්න පුළුවන්?

සරලවම කිව්වොත් ෆේස්ලිෆ්ට් සැත්කමකින් පස්සේ ඒ පුද්ගලයාගේ පෙනුම අවුරුදු 10ක් ආපස්සට තරුණ කරන්න පුළුවන්. ඒක තවත් පැහැදිලි කළොත් අවුරුදු 50ක පුද්ගලයෙක් ඒ සැත්කම කරගත්තොත් ඔහුගේ පෙනුම අවුරුදු 40ට එනවා. 30ක පුද්ගලයෙක් කරගත්තොත් අවුරුදු 20ක වගේ පෙනුමක් එනවා.

 

*මෑතකදි ඔබ කරපු ඒ විදියේ සැත්කමක් පිළිබඳව අපට කියන්න පුළුවන්ද?

මෑතකදි මම ළඟට අවුරුදු 58ක කාන්තාවක් ආවා. ඇය ලොකු මානසික ආතතියකින් හිටියේ. ඒ කාන්තාව විවාහවෙලා දරුවෝ නැතුව ලොකු කාලයක් බලාගෙන ඉඳලා. ඇයට දරුවෙක් ලැබිලා තියෙන්නේ අවුරුදු 42දි. ගැහැනු දරුවෙක් තමයි ලැබිලා තියෙන්නේ. මේ වෙනකොට ඒ දැරිවියට අවුරුදු 16ක්. සාමාන්‍යයෙන් ඒ දැරිවිගේ වයසේ දරුවන්ගේ අම්මලාට වැඩිය මේ අම්මා වයසින් වැඩියිනේ. ඒත් එක්ක ඒ දියණියට විවිධාකාර ප්‍රශ්නවලට මූණදෙන්න සිදුවෙලා. ඇය කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක තමයි ඉගෙනගන්නේ. ඉතින් මේ අම්මා, දියණිය පාසලට එක්ක ගියාම අනෙක් ළමයි අහනවලු ඒ ඇවිත් ඉන්නේ ආච්චි ද කියලා. එක දවසක් ගුරුදෙගුරු රැස්වීමට ගියාම පන්තිභාර ගුරුවරයා මේ කාන්තාව දැකලා අර ළමයගෙන් ඇහුවලු ඇයි අම්මා නැතුව ආච්චිව එක්ක ආවේ කියලා. ඔය වගේ විවිධ ප්‍රශ්නවලට ඒ ගෑනු ළමයට මුහුණදෙන්න වෙලා. ඒ එක්ක ඒ දුව මේ අම්මව ප්‍රතික්ෂේප කරන්න අරගෙන. ඊටපස්සේ ඇය, ඇයගේ පෙනුම තරුණ කරගැනීමේ අදහසින් විවිධාකාර දේවල් පස්සේ ගිහින්. ඒත් ඒ එකකින්වත් බලාපොරොත්තු වුණු විදියේ පෙනුමක් ලැබිලා නැහැ. පස්සේ තමයි ප්ලාස්ටික් සැත්කම් ගැන ආරංචි වෙලා ටික කාලයකට කලින් මගේ ළඟට ආවේ.

 

*ඉතින් ඇය බලාපොරොත්තු වුණු පෙනුමක් ලබාදෙන්න පුළුවන් උණාද?

ඔව්. අපි ෆේස්ලිෆ්ට් එකක් කළා. ඒකෙන් පස්සේ ඇයගේ තිබුණු වයසක පෙනුම නැතිවෙලා ඊට වඩා තරුණ පෙනුමක් ආවා. ඇයටත් ඒ පෙනුම ගැන හිතාගන්න බැරිවුණා. මොකද ඇය හිතුවේ නෑ එච්චර හොඳ පෙනුමක් එයි කියලා.

 

*ශල්‍යකර්මයෙන් පස්සේ ඇයගේ ප්‍රතිචාරය වුණේ මොකක්ද?

(සිනාසෙමින්) ඩොක්ටර් මේ මමමද ඇහුවා. මං සෑහෙන්න තරුණ වෙලානේ කිව්වා. ඇය ආපසු ගියෙත් ලෝකෙම දිනුවා වගේ පුදුම සතුටකින්.

 

*අපිට ඒ ශල්‍යකර්මය සිද්ධවෙන ආකාරය ගැන කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවද?

අපි කෙනෙක් තරුණයි කියන්නේ මුහුණේ රැළි නැත්නම්. මොකද වයස යද්දි මුහුණේ රැළි එන්න ගන්නවා. ඒ එන රැළි ප්‍රමාණය සහ ඒ රැළිවල ස්වාභාවය අනුව අපිට ඕන කෙනෙක්ගේ මුහුණ දිහා බලලා වයස කියන්න පුළුවන්. මේ සැත්කම තුළින් මූලිකව වෙන්නේ අන්න ඒ රැළි සියල්ලම ඉවත් කිරීම. එහෙම කළාම මුහුණේ කඩාහැලුනු ගතිය නැතිවෙලා පෙනුම තරුණ වෙනවා. බෙල්ල කොටසේ ඉඳන්ම ඒක වෙනවා. මේක ලේසිපහසු ශල්‍යකර්මයක් නෙවෙයි. ඒ මොකද කියනවා නම් සාමාන්‍යයෙන් වයසට යනකොට අපේ මුහුණේ මාංශපේෂි ලිහිල්වෙනවා. වයසක අයගේ සම එල්ලා වැටෙන්නේ ඒකයි. මෙතැනදි අපි කනේ ඉදිරිපස දාරයෙන් පටන් අරන් කනේ පිටුපස කොටසට යනකල් පොඩි කැපීමක් කරලා ඒ මාංශපේෂී ආයෙමත් ඇදලා සවිකරන්න ඕන. එතකොට රැලි නැතිවෙනවා. ඒ වැඩේ කරද්දි අපි මුහුණේ තියෙන ස්නායු එකින් එක බේරන්නත් ඕන. මුහුණේ ක්‍රියාශීලී ස්නායු එකක් හරි කැපුනොත් මුහුණේ ඒ පැත්ත වැඩ කරන්නේ නැතුව යනවා. ඒ නිසාම මේ සැත්කම් රූපලාවණ්‍ය (අලංකරණ) සැත්කම් සිදුකරන පිළිගත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකුගෙන් පමණක්ම කරගන්න ඕන.

 

 

*මේ සැත්කම සිදුකරන්නේ නිර්වින්දනයට පත්කරලද?

ඔව්, ඒක සිදුකරන්නේ පූර්ණ ජීවානුහරණයට ලක්කරපු ශල්‍යාගාරයක පූර්ණ නිර්වින්දනයට පත්කරලා. පැය හතරක, හතර හමාරක වගේ දීර්ඝ ශල්‍යකර්මයක්. මේක හිරිවට්ටලා කරන්න බැහැ.

 

*සැත්කමෙන් පස්සේ කැළැල් ඇතිවෙනවද කියලා කෙනෙක්ට බියක් ඇතිවෙන්න පුළුවන්?

කන සවිවෙලා තියෙන ඉදිරිපස කොටසේ පොඩි කැළලක් ඇතිවෙන්න පුළුවන්. ඒත් ඒකත් නැති කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒක නිසා ඒ ගැන බියක් ඇතිකරගත යුතු නැහැ.

 

*එතකොට ඒ සැත්කමෙන් පස්සේ වයසට යන්නේ කොයි විදියටද?

මුලින් මම කිව්වනේ සැත්කමකින් පස්සේ ඒ පුද්ගලයාගේ පෙනුම අවුරුදු 10ක කාලයක් වගේ ආපස්සට තරුණ වෙනවා කියලා. අන්න එතැන ඉඳන් සුපුරුදු විදියටම වයසට යනවා.

 

*සැත්කමෙන් පස්සේ කොච්චර කාලයක් පරිස්සම් වෙන්න ඕනද?

සැත්කමෙන් පස්සේ දවස් 5ක වගේ කාලයක් මුහුණ ආවරණය කරගෙන ඉන්න වෙනවා. ඒ ඇරුනම සති දෙකක් විතර පරිස්සම් වෙන්න ඕන. ඊටපස්සේ සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්.

 

*තොල්වල දැනීමට (සංවේදී බවට) ගැටලු මතුවෙන්නේ නැද්ද?

කොහෙත්ම නෑ. ඒ ගැන බයවෙන්න ඕනේ නෑ.

 

*මුහුණේ පෙනුම වෙනස් වෙයිද කියලත් සමහර අයට බියක් ඇතිවෙන්න පුළුවන්?

කොහෙත්ම නෑ. කලින් වගේම මුහුණේ ඉරියව්, හිනාව ඒ හැමදේම ඒ විදියටම එනවා. වෙනස් වෙන එකම දේ වයස්ගත පෙනුම නැතිවෙලා ඒ පෙනුම තරුණ වෙන එක විතරයි.

 

*මේ සැත්කමට වයසේ ගැටලුවකුත් නැද්ද?

වයසේ ප්‍රශ්නයක් නෑ. තරුණ කෙනෙක්ට වුණත් සැත්කම කරගන්න පුළුවන්. ඒ වගේම ගැහැනු පිරිමි භේදයකුත් නෑ. සරලව කිව්වොත් තමන්ට තියෙන පෙනුමට වඩා තරුණ පෙනුමක් ගන්න උවමනා නම් ඕනම කෙනෙක්ට මේ සැත්කමෙන් ඒ පෙනුම ගන්න පුළුවන්. තමන්ගේ පෙනුම මත වෘත්තීන් රඳාපවතින බොහෝ අය මේ සැත්කම කරගන්නවා. ඒ කියන්නේ නළු නිළියෝ, ගායක ගායිකාවෝ, නිවේදක නිවේදිකාවෝ සහ මහජන සම්බන්ධතා නිලධාරීන් වගේ අය.

 

*වෙනත් රෝග තියෙන අයට මේ සැත්කම කරගන්න පුළුවන්ද?

දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වගේ බෝ නොවන නිධන්ගත රෝග තිබුණොත් ඒවා හරියාකාරව පාලනය කරලා ශල්‍යකර්මය කරන්න පුළුවන්. කොහොමත් අපි ළඟට යම්කිසි කෙනෙක් ආවොත් මුලින් වෛද්‍ය පරීක්ෂණයක් කරනවා. ඒ අනුව තමයි වෛද්‍යවරයා සැත්කමට යනවද නැද්ද කියලා තීරණය කරන්නේ.

 

*මේ ලිපිය කියවලා කෙනෙක්ට ප්ලාස්‍ටික් ශල්‍යකර්මයක් කරගන්න හිතුණොත් පිළිගත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් විදියට ඔබට කියන්න තියෙන්නේ මොනවද?

රූපලාවණ්‍ය (අලංකරණ) සැත්කම් සිදුකරන පිළිගත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකුගෙන් පමණක් සැත්කම කරගන්න. මොකද අර මුලදි කිව්වා වගේ මේ සැත්කම මුහුණේ ඇති ස්නායු ආරක්ෂා කරමින් කරන්න ඕන සැත්කමක්. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. වැදගත්ම දේ ඒක.

—————–

මෙම ලිපියේ අන්තර්ගතය හා සම්බන්ධ කිනම් හෝ ගැටලුවක් ඔබටත් ඇත්නම් එම ගැටලුව පැහැදිළිව ලියා ‘විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කවින්ද රාජපක්ෂ මහතා, ධරණී පුවත්පත, නො. 91, විජේරාම මාවත, කොළඹ 7’ යන ලිපිනයට හෝ dharanee.editor@liberty.lk යන විද්‍යුත් ලිපිනයට ඡායාරූප සහිතව හෝ රහිතව යොමු කරන්න. ඔබගේ අනන්‍යතාවය හෙළි නොවන පරිදි එම ගැටලුවලට ධරණී පුවත්පතේ සැකෙවින් පිළිතුරු සැපයීමට වෛද්‍ය කවින්ද රාජපක්ෂ මහතා සූදානමින් සිටියි.

විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය

(Plastic & Reconstructive Surgeon)

කවින්ද රාජපක්ෂ

 

රුවන් එස්.සෙනවිරත්න