හෙණ්ඩු නැතත් මුරණ්ඩු නැති කැලණියේ කණ්ඩුල
වසර ආරම්භ වෙද්දීම පැවැත්වෙන සුවිසල්ම පෙරහර මංගල්‍යය වන්නේ කැලණිය රජමහා විහාරයේ ඓතිහාසික දුරුතු මහා පෙරහරයි. මෙවර ද එය අතිසාර්ථක අයුරින් පැවැත්විණ. මහගෙදර තිබියදී සැප සේ, රිසි සේ කාලය ගත කරනු පිණිස රත්නපුරට වී ගහකොළ, ඇළදොළ සිරි විඳින කැලණි ගං මිටියාවතේ ආඩම්බරකාර කුමාරයා ද එයට සහභාගී වී තිබිණි. කුමාරයා වෙන කිසිවෙකුත් නොව නම කියූ සැනින් කවුරුත් දන්නා කණ්ඩුල ය. තායිලන්තයේ තිළිණයක් ලෙස මෙරටට හිමි වූ කණ්ඩුල මේ වෙද්දී වයස අවුරුදු තිස්පහ ඉක්මවූ ගජ ඉලන්දාරියෙකි. මෙරටට එද්දී ඔහුගේ නම ‘ශ්‍රී නරෝන්ග්’ ය. එය ‘කණ්ඩුල’ ලෙස අපට උචිත පරිදි වෙනස් විය. එපමණක් නොව, ඔහුට ඇත්තේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික ගතිගුණයි. පෙරහරකට ආවාට ගියාට මේ කොල්ලා වැඩියෙන් රැඳී සිටින්නේ රත්නපුර වේරගම ය. ඒ ඔහුගේ හස්තිපාලක උපුල් නිශාන්තගේ ගම්පියසේයි. උපුල් පරම්පරාගත අලි බලන්නෙකි. ඔහු එම පරපුරේ තෙවන පුරුකයි. කුඹුරේ, කැලේ නිදහසේ ගත කරන කණ්ඩුලගේ දඟ වැඩ ගැන උපුල් පවසන්නේ ඉතාම ආදරයෙනි.
“මෙහෙම සද්දන්තෙට හිටියට මොකද පොඩි එකා වාගේ. ගොයම් කපලා ඉවර වෙලා කුඹුරට දැම්මම ඉපනැල්ලේ දඟලන්න හරිම ආසයි. වතුරට වගේම මඩේ නටන්නත් රුසියා. ඇඟ පුරාම මඩ ගාගන්නවා පේන්නෙ නැති වෙන්න. එයාව නිදහසේ ලිහලා දාලා එනවා මං. රස්නෙ වැඩි දවසට දොළේ බැහැලා නිදියනවා. දවස් කීපයක්ම මං යද්දි දොළේ නිදාගෙන හිටියා. ගෙදර ගෙනත් බැන්දම රෑ හත අට වෙද්දි නිදියනවා. ආයෙ දහයට එකොළහට නැගිටිනවා. එතකොට කන්න ඕනෙ. කෑම දාලා තියෙන්නෙ. ඒවා කාලා නිදාගත්තම ගොඩක් දවස්වලට පහුවදා උදේ හයට විතර තමයි නැගිටින්නෙ. මෙයාව පෙරහරකට ගෙනාවමත් ඉවර කරපු ගමන් ආයෙ ගෙනියන්නේ නෑ. දවසක් දෙකක් නිදහසේ ඉන්න ඇරලා තමයි අරන් යන්නෙ. නායක හාමුදුරුවොත් කවදාවත් මෙයාව දවස් දෙකක් එකදිගට පෙරහරවල්වලට තියන්න දෙන්නෙ නෑ. විවේකයක් දෙනවාම තමයි. කොහොමත් වැඩිපුර කාලයක් මෙයා ඉන්නෙ වේරගම.”
උපුල් නිශාන්ත භාරගැනීමට පෙර කණ්ඩුල මුරණ්ඩුකාර ගති පෙන්වූවෙකි. වෙනත් අලි සමඟ මුහුවීමට කැමැත්තක් දැක්වූයේ ද නැත. එහෙත් මේ වනවිට සිටින හාදයා ඊට හාත්පසින් වෙනස්ය. කිරිවෙහෙර සාලිය සහ තරිඳු සිටින්නේ ද වේරගම ය. ඒ දෙදෙනාත් කණ්ඩුලත් ගජමිතුරෝ වෙති. මෙවර දුරුතු පෙරහරේ කණ්ඩුල කරඬුව වැඩම කරවූ අවස්ථා දෙකේම ඔහුට දෑල ඇල්ලුවේ සාලිය සහ තරිඳු ය. යහළු තුන්කට්ටුව නිසි පරිදි රාජකාරිය ඉටුකළේ කිසිඳු වරදකට ඉඩ නොතබමිනි.
“දැන් කණ්ඩුලට පෙරහරේ යන විදිය හොඳට තේරෙනවා. මං කිව්වෙ නැතත් එයාගෙ වැඩේ එයා හරියටම කරනවා. ඉස්සරහින් යන නැටුම් කණ්ඩායම නැවතුනාම එයත් නවතිනවා. එයාලා යන්න ගත්තම එයත් ඉස්සරහට යනවා. මං නැතුවත් යන්න පුළුවන්. මේ පාර දුරුතු පෙරහරේ පෙරහර හතරක එයා ගියා. පටන්ගත්තෙ දේවදූත පෙරහරෙන්. ඊටපස්සෙ උඩමලුව සහ පාතමලුව පෙරහරවලත් අවසන් මහා පෙරහරෙත් ගියා. පාතමලුව සහ අවසන් මහ පෙරහරේදී කරඬුව වැඩම කෙරෙව්වා. කණ්ඩුල පාවඩෙන් පිට අඩිය තියන්නෙත් නෑ. වංගුවලදිත් හරියටම පාවඩේට අඩිය තියලයි යන්නෙ. ඇඳුම් පැළඳුම් ඇන්දුවම මෙයා හරිම ලස්සනයි. කිසිම කලබලයක් නැතුව වැඩෙත් කරනවා.”
කණ්ඩුල කැලණිය රජමහා විහාරයේ නොසිට වේරගම වාසය කිරීම ගැන විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමිපාණන්ගේ පූර්ණ මනාපය තිබේ. එහෙත් උන්වහන්සේ මසකට වරක් කණ්ඩුල බැලීමට යාම වරද්දන්නේ නැත. එසේ යන්නේ හිස් අතින් ද නොවේ. වාහනය පිරෙන්නට ඉස්තරම්ම එළවලු, පලතුරු ආදිය සමඟිනි. වට්ටක්කා, කොමඩු, කෙසෙල්, කැරට් ආදියේ සිට මුද්දරස්පලම් වැනි රස ආහාර දක්වා සියල්ල එහි ඇත. ඒවා අතරට විශේෂයෙන් ගෙනියන කෑමනම් මෑකරල් ය. ගිරවුන් වැනි පක්ෂීන් මෑකරල් කෑම ප්‍රිය කරන බව අප අසා තිබුණ ද කණ්ඩුල ද ඒ කාණ්ඩයේමය. නායක හාමුදුරුවන් ගෙනියන තෑගිබෝග අතර මෑ කරල් කිලෝග්‍රෑම් දහයක් පහළොවක් වරදින්නේ නැත. උන්වහන්සේගේ පැමිණීම කණ්ඩුලට ද සතුටක් බව උපුල් කියයි.
“නායක හාමුදුරුවෝ වඩින වාහනේ සද්දෙ මෙයා හොඳට දන්නවා. මීටර පන්සීයක් විතර ළඟට එද්දි මෙයා ඒක අඳුනනවා. එතකොට ඉතින් ඉන්න බෑ. හොඬ උස්සනවා. පද්දනවා. කකුල් උස්සනවා. එක නැටුමයි. ඉතින් නායක හාමුදුරුවො එන එක එයාට ලොකු සතුටක්. හොඳට මුල මතක කෙලෙහිගුණ දන්න සතෙක්.”
ඒ බව අපට ද ඒ මොහොතේම සනාථ විය. උපුල් සමඟ අප කතා කරමින් සිටියදී කණ්ඩුල වහාම එහි පැමිණි අයෙකුට හොඬ දිගු කර සෙනෙහස පෑවේය. ඔහුව හැමෝම දන්නේ ‘ආමි මාමා’ ලෙසිනි. කැලණිය විහාරයට කණ්ඩුල පැමිණි දා සිට ආමි මාමා ඔහු සමඟ ගනුදෙනු කරයි. නායක හිමියන් සමඟ කණ්ඩුල බැලීමට ඔහු ද මසකට වතාවක් වේරගම යන්නේය. අසලට පැමිණි ආමි මාමාගේ අතේ හොඬ තැබූ කණ්ඩුලට පුංචි තෑග්ගක් ලැබිණ. ඒ ටොපියකි. කණ්ඩුල එය ගිල දමා ආමි මාමාට වද දිදී තව තවත් ටොපි ඉල්ලීය. එහෙත් පැණි රස කෑම ශරීර සෞඛ්‍යයට අහිතකර නිසාම දෝ ආමි මාමා එය ගණනකට නොගත්තේය.
කැරට්, පිපිඤ්ඤා, මෑ කරල්, අඹ, කොමඩු, වට්ටක්කා ආදිය හොඳට අනුභව කරන කණ්ඩුල පල නෙළා බුදීමට ද දක්ෂයෙකි. වේරගම නිවස ඉදිරිපිට රඹුටන් ගසක් ඇත. වාරෙට එහි හටගන්නා රඹුටන්වලට අයිතිවාසිකම් කියන්නේ කණ්ඩුල ය. එහෙත් උන්දෑ ඒවා නාස්ති කරන්නේ ද නැත. රඹුටන් වල්ලම බිමට හෙලීමේ පුරුද්දක් ඔහුට නොවේ. ඉදුණු ගෙඩිය පමණක් තෝරා කඩා, හොඬෙන් ලෙල්ල ඉවත් කර ඵලය භුක්ති විඳී. රඹුටන් සියල්ලටම පාහේ වග කියන්නේ කණ්ඩුල ය.
නැවුම් ආහාර පමණක් නොව කණ්ඩුල සහ සගයන්ට ලැබෙන්නේ සුපිරිසිදු පානීය ජලය බව උපුල් කියයි.
“අලුපත්ගල කන්දෙන් එන වතුර තමයි අපි මෙයාලට බොන්න දෙන්නෙ. කණ්ඩුල, සාලිය, තරිඳු තුන්දෙනාටම වෙන වෙනම ටැංකි හදලා තියෙනවා. බට දාලා ඒවට වතුර පිරෙන්න අරිනවා. හැමවෙලේම උතුරලා යන්න වතුර තියෙනවා. මෙයාලා දරුවො වගේ. ආදරෙන් සැලකිල්ලෙන් බලාගන්න ඕනෙ. එතකොට අපි කාටත් හොඳයි.”
කැලණිය රජමහා විහාරයේ දුරුතු පෙරහර රාජකාරි හමාර කර ආශිර්වාද ලබාගත් කණ්ඩුල දින කිහිපයකට පසු වේරගම බලා පිටත්ව යාමට නියමිත විය. මේ ලිපිය පළවෙද්දී ඔහු නැවත ගමේ කොල්ලෙකු වී මඩ නාමින් කෙළිදෙලෙන් සිටිනවා ඇත.
තොරතුරු – උපුල් නිශාන්ත
රෂ්නිකා ලියනගේ