කෝවිල වැඳලා මහදොර ගාවට එද්දී දෙවියො මට හයිය හිතක් දීලා තිබුණා
ජනවාරි මාසය කොච්චර කාර්යබහුල මාසයක් වුණත් ඒක ඇතුළේ තියෙනවා මට විශේෂ දවසක්. ඒ තමයි මගේ තාත්තගේ උපන්දිනය. ඔහු අපෙන් සමු අරන් බොහෝ කල් ගතවෙලා තිබුණත් මම තවමත් තාත්තාගේ උපන්දිනය සමරනවා. හැමදාම ඒ දවසට මම තාත්තගේ වයසේ සිටින කෙනෙකුට එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේවල් දාපු තෑගි පාර්සලයක් හදලා දෙනවා. එකේ කමිසයක්, සරමක්, බැනියමක්, ඉන පටියක්, සෙරෙප්පු දෙකක්, රැවුල කපන උපකරණ ටික, පැනඩෝල්, සිද්ධාලේප වගේ දේවල් තියෙනවා. ඒ වගේම රසම රස දහවල් ආහාර පාර්සලයකුත් රසකැවිල්ලකුත් එක්ක පුංචි මුදලකුත් අතට දෙනවා.
ජනවාරියට යෙදෙන පෝයට මම වෙනත් පින්කමකුත් කරනවා. මේ ජනවාරිය හරි අපූරුයි. ඒ බෞද්ධ අපේ පොහොයයි, තෛපොංගල් දිනයයි දෙකම එකම ළඟ යෙදිලා තිබුණු නිසා. පෝදා පිංකම මම සිද්ධ කළේ දළදා මාලිගාවේ. සමන්පිච්ච මල් සුවඳ නාස්පුඩුවලට දැනෙන, නෙළුම් මල් සුවඳ හාත්පස විසිරුණු ඒ නිස්කලංක සුවදායී පරිසරය, ඕනෑම කලබලයක් මැද්දේ හිත නිවන තේවාවේ අලංකාරය විඳගන්න නම් මේ ලෝකෙ තියෙන එකම තැන දළදා මාලිගාවම විතරයි. ඒ තරම් පිරිසිදු පරිසරයක කොයිතරම් දෙවි දේවතාවුන් වහන්සේලා වැඩ ඉන්නවා ඇතිද… ඒ භූමිය තුළ එතරම් ආශ්චර්යයන් ඇති නිසාම නිතරම වගේ මම ඒ සියලු දෙවියන්ට පින් අනුමෝදන් කර මගේ දරුවන් නිරතුරුවම රැකදෙන්න කියලා ඔවුන්ගෙන් ඉල්ලනවා.
ඊටපස්සේ යෙදිලා තිබුණේ තෛපොංගල් දවස. දළදා මාලිගාවට සුදු ඇන්දට පුල්ලෙයාර් කෝවිලට යනකොට මඟුල් ගෙදරකට යනවා වාගේ ඇඳගෙන යන්න පුළුවන්. ඉතින් උදෙන්ම නාලා පිරිසිදු වෙලා කොහොඹ ගහෙන් අත්තකුත් පුතාට කියලා කඩාගෙන, කොලපාට සාරියක් ඇඳලා කොලපාට තෝඩු දාලා පෙරදා සවස අරන් තියාගත්තු පිච්ච මල් මාලාවකුත් හිස දවටගෙන, රෝස සුවඳ ක්‍රීම් ටිකක් ඇඟ තවරාගෙන එයින්ම විලවුන් ටිකකුත් ඇඟට හලාගෙන මම එදා උදෙන්ම ගියේ නුවර පුල්ලෙයාර් කෝවිලට.
එදා මගේ දුක සැප අහන දුර්ගා මෑණියන්ටත් විශේෂ දවසක්. ඇයටත් ඉතින් අපට වගේ අපූරු දවස්, සුන්දර දවස් බොහොම ඇතිනේ. ඉතින් උදේ පාන්දර පහට විතර නාලා සුපුරුදු පරිදි සූදානම් වෙලා කොහොඹ කොළ අත්තකුත් ගහෙන් කඩාගෙන හයයි තිහ වෙද්දි කෝවිලට යද්දි ඒක අමුතුම හැඟීමක්. කෝවිල්වල, දළදා මාලිගාවේ, රුවන්වැලි සෑය අවටින් හමන ඒ අද්විතීය පිච්ච මල් සුවඳ කියන්නේ මගේ ජීවිතේ මම ඇස් දෙක පියාගෙන විඳින්න ආස කරන පුදුම නිස්කලංක සුවඳක්.
ඉතින් හැමදෙයක්ම අමතක කරලා ඒ සුවඳ ආශ්වාස ප්රාශ්වාස කරන ගමන් සාමිලා හැමෝටම හිනාවෙලා සුබ උදෑසනක් කියලා දේවාලේ වටේම රවුමක් වැඳගෙන මහදොර ගාවට එද්දි මට තිබුණේ මම කෝවිලට යද්දී තිබුණට වඩා ප්‍රබෝධමත් හිතක්. ඒ සතියෙ ඕනෑම අභියෝගයකට හයියට මුහුණ දෙන්න ශක්තියක් ඇඟට ආවා වගේ මට ඇත්තටම දැනුණේ.
මම දැඩි ආගම් භක්තිකයෙකු නෙවෙයි. හැමතැනකදිම මම මධ්‍යස්ථයි. හැබැයි මම මගේ ආධ්‍යත්මික සුවය, සතුට වෙනුවෙන් ඒ ආගමික වතාවත් කරනවා. ඒ තමයි මම මාවම නිවාගන්නා විදිය. ඉවසීම ප්‍රගුණ කරන විදිය.
එහෙම කරද්දී පාපී සිතිවිලි ඍණාත්මක දේවල් හිතට එද්දී වහ වහා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ශක්තිය මට ලැබෙනවා.
ඒක වැරදි වැඩක්, මම ඒක කරන්නේ නෑ.
එහෙම කළොත් එයාගෙ හිත රිදෙයි. කාටවත් රිද්දලා මට ලැබෙන දෙයක් නෑ.
ඒ මගේ විදිය නෙමෙයි. මම මෙතනින් ඉවත් වෙන්න ඕන.
අනුන් වෙනුවෙන්වත් පව් කරන්න ඕන නෑ. දවසක කර්ම ගෙවන්න වෙන්නේ තනියමමයි.
මෙහෙම හිතන්න පුළුවන් වුණු දවසක දෙවියන් ඔබේ හිත ඇතුළෙත් ලස්සන දෙවොලක් නිර්මාණය කරනවා. ඒක ඇතුළේ ලස්සන දෙවි දේවතාවුන් අරක් ගන්නවා. ඒ අය ඔබව කරදරවලින් ආරක්ෂා කරනවා. නිතර ඔබට මට ආදරණීය මිනිස්සු මුණගස්වනවා. ඔබ මා අතුරු ආන්තරාවලින් ආරක්ෂා කරනවා. ඔබේ මගේ දූ දරුවන් නිරතුරු සතුටින් සැනසීමෙන් තබනවා. ඔබට මට ජීවිතය සාමකාමීව ගෙවාගෙන යාමට කුමන හෝ සහනයක් නිතිපතා අදෘශ්‍යමාන ලෙස ලබාදෙනවා.
දෙවියන් සහ දෙවොල් යනු අපේ සිතේ පිළිඹිබුවයි. අපගේ සංසාර ගමනේ යහපත හෝ අයහපතයි. අධ්‍යාත්මික සුවයේ උපරිම ස්ථානයයි.
ජනාලි මදුරසිංහ