නවතම ප්‍රවෘත්ති

එයා දැන් අම්මා කෙනෙක් ඒත් එයාට දීපු පොරොන්දුව මං ඉෂ්ට කරන්න ඕනේ – ප්‍රියසාද් එදිරිවර්ණ

මතක ඇති කාලෙක ඉඳන් හම්බන්තොට රිදීයගම සෆාරි උද්‍යානය කියපු ගමන් අපට මතක් වෙන නමක් තමයි ‘ඩෝරා’. ඩෝරා පුංචි සන්දියේ හරිම දඟ සිංහ කෙල්ලක්. සෆාරි උද්‍යානයේ හැදුනු වැඩුණු මේ හුරතලීට හිටපු ළඟම යාළුවා වුණේ පශුවෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ. ඒ කියන්නේ ඩෝරා ඉපදුණු දවසේ ඉ‍ඳන් හරිහැටි කෑමක් බීමක් තියා නින්දක්වත් නැතුව ඈව ඇස් දෙක වගේ බලාගත්ත ඩෝරාගේ දොස්තර මහත්තයා. ඒ දෙන්නගේ මේ ආදරණීය බැඳීම ගැන එදා මුළු රටම කතා කළා. ඒත් 2023 අවුරුද්දේ දවසක ඉහළින් ආපු අණක් නිසා ඩෝරගේ දොස්තර මහත්තයාට එතැනින් ඉවත්වෙන්න සිද්ධ වුණා. තමන්ට කවන්න පොවන්න, බෙහෙත් දෙන්න, සෙල්ලම් කරන්න ඉඳපු මේ යාළුවා නැතුව එයින් පස්සේ ඩෝරා තනිවුණා. එතැන් පටන් ඩෝරා ගැනවත් ප්‍රියසාද් දොස්තර මහත්තයා ගැනවත් එතරම් කතාබහක් තිබුණේ නෑ. ඒත් පසුගිය දවසක රිදීයගම සෆාරි උද්‍යානය පැත්තෙන් සතුටු හිතෙන ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා. ඒ ඩෝරා අම්මා කෙනෙක් වෙලා කියලා. ඒත් එක්කම එදා ප්‍රියසාද් දොස්තර මහත්තයත් තමන්ගේ මුහුණුපොතේ අපූරු සටහනක් පළ කරලා තිබුණා. ඒ තමයි ‘ඩෝරා, මං උඹට දුන්නු පොරොන්දුව ළඟදිම ඉෂ්ට කරනවා’ කියලා. ඉතින් ඩෝරා අම්මෙක් වුණු සතුට වගේම අර කතාවේ තේරුම දැනගන්නත් එක්ක අපි මෙවර වනජීවි පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතාට කතා කළා.

 

*දැන් සිංහ දේශයට සිංහයින්ගෙන් නම් අඩුවක් නෑ නේද?

(සිනාසෙමින්) ඔව් ඔව් දැන් ඕනෙතරම් සිංහයෝ ඉන්නවා. මොකද රිදීයගම හිටපු ලාරා, ඩෝරාගෙන් පස්සේ ආයෙත් පැටව් තුන්දෙනෙක් බිහිකළා. ඒ වගේම තමයි ඩෝරාත් පසුගියදා පැටව් තුන්දෙනෙක් බිහිකළා. ලාරටයි ඩෝරටයි කලින් මීරා කියන සිංහ ධේනුවත් පැටව් තුන්දෙනෙක් බිහිකළා. එහෙම බැලුවම ඇත්තටම සිංහයින්ගෙන් අඩුවක් නෑ තමයි.

 

*ඒ අතරින් ඩෝරා ඔබට විශේෂයි. ඒ මතකය අලුත් කළොත්?

ඔව්. ඩෝරා ඉපදුණේ ලාරාට. හැබැයි ලාරා ඩෝරාව ප්‍රතික්ෂේප කළා. සාමාන්‍යයෙන් සත්ව ලෝකයේ එහෙම සිදුවීම් වෙන්න පුළුවන් වුණත් රිදීයගම සෆාරි උද්‍යානය වගේ තැනකදි එහෙම දෙයක් වුණොත් ඒක ලොකු ගැටලුවක්. මොකද අලුත උපන් දරුවෙකුට අම්මෙක් කිරිදෙන එක ප්‍රතික්ෂේප කරනවා කියන්නේම ඒක ඒ දරුවාගේ ජීවිතේට බලපානවා. මෙතැන වුණෙත් ඒක. ඉතින් මං මූලික වෙලා අම්මා අතහැරලා දාපු මේ සිංහ පැටික්කිව රැක බලාගත්තා. සමහර වෙලාවට මං එයාගේ අම්මා වුණා. තවත් වෙලාවකට තාත්තා වුණා. තව වෙලාවට සහෝදරයා, යාළුවා වුණා. ඒ හැමදේම කරලා එයාව පරිස්සම් කරගත්තා.

 

*ඔබ හිතන විදියට ලාරා එදා ඩෝරා ප්‍රතික්ෂේප කළේ ඇයි?

මට හිතෙන විදියට ඒක වෙනස්ම කතාවක්. ලාරා කියන්නේ රිදීයගම හිටපු නාහෙට නාහන, දඩබ්බර සිංහ ධේනුවක්. එයාගේ ලොකු ලස්සනක් නෑ. ඒ නිසා යන එන අය වුණත් ලාරා දිහා වැඩි උනන්දුවකින් බැලුවේ නෑ. ඇත්තටම එයාගෙ කූඩුව ගාවින් කවුරුහරි ගියත් එයා ගහන්න පැන්නා. එක්කෝ සතෙක් එහෙම කරන්නෙ ඒක එයාගෙ පුරුද්දක් බවට පත්වෙච්ච නිසා. නැත්නම් වෙනයම් විශේෂ හේතුවක් නිසා. ඉතින් ලාරා දිහා ටිකක් අවධානයෙන් බලද්දී මට තේරුම් ගියපු දේ තමයි එයා අනිත් අයගේ අවදානය බලාපොරොත්තු වෙනවා කියන එක.

මොකද ලාරා දිහා නොබලා යන හැමෝම ශීනා ව බලන්න කැමති වුණා. ශීනා කියන්නේ හරි ලස්සන සිංහ ධේනුවක්. ඒ වගේම ලාරා ට කලින් ශීනා ට පැටව් ලැබුණා. හැමෝම ඒ පැටව් හුරතල් කරනවා ලාරා දැකලා තිබුණා. අනිත් එක ඒ සැර වැර ගති නිසා එයාව පාලනය කරන්න කවුරු වුණත් එයාට උස් හඬින් තමයි කතා කළේ. එයාට කවුරුත් ආදරෙන් කතා කළේම නැති තරම්. ඉතින් ලාරාගේ මේ හැසිරීම්වලට හේතුව මේකමයි කියල හරියටම කියන්න බැරි වුණත් මට හිතෙන්නේ එයාට ජීවිතේ වැඩි කාලයක් අත්විඳින්න ලැබුණු ඒ ප්‍රතික්ෂේප කිරීම් නිසා ලාරා කිසියම් පීඩනයක හිටියා. ඒ නිසාම ඩෝරා ලැබුණම එයාවත් ප්‍රතික්ෂේප කළා.

ඒත් පස්සේ කවුරුත් ගණන් ගන්නෙ නැති ලාරා ළඟට ගිහින් මම කතා කළා. පුරුදු විදියටම එයා ඇටැක් කරන්න ආවත් මම අඩියක් පස්සට ගිහින් උස් හඬින් නැතුව ආදරෙන් කතා කළා. එහෙම වෙලාවට එයා පැත්තකට ගිහින් වාඩිවෙලා මම දිහා බලනවා – නොබලනවා වගේ බැල්මක් දානවා මම දැකලා තියෙනවා. ඉතින් මගේ නිගමනය වුණේ එයාට ආදරේ ඕන කියලා. ආදරේ නැති හින්දයි එයා ඒ තත්ත්වෙට පත්වෙලා හිටියේ. අපි පුළුවන් තරම් එයාට ආදරේ දුන්නා. කොහොමහරි ඊළඟ සැරේ පැටව් බිහිකරාට පස්සේ ලාරා කවුරුත් බලාපොරොත්තු නොවුණු විදියට ඒ පැටවුන් ආදරෙන් බලාගෙන තිබුණා.

 

*කොහොමහරි ඔබ ඩෝරා හොඳින් බලාගත්තා. ඒත් එක් අවස්ථාවක ඔබට ඩෝරා තනිකරලා එන්න වුණා. ඒක හරිම සංවේදී අවස්ථාවක් වෙන්න ඇති?

මම මුල ඉඳන්ම කියපු කතාවක් තමයි මගේ වැඩේ ඉවරවෙන්නේ ඩෝරා අම්මා කෙනෙක් වුණු දවසට කියලා. හැබැයි ඊට කලින් 2023 මාර්තු 09 වැනිදා මට ඩෝරාව දාලා රිදීයගමින් එන්න වුණා. එන එක දුකක් වුණත් ඒ වෙනකොට මට සතුටුවෙන්න පුළුවන් එක කාරණයක් තිබුණා. ඒ මම ඒ වෙනකොටත් කේශර සහ වොලී කියලා පිරිමි සත්තු දෙන්නෙක්ව ඩෝරාට යාළු කරලා දීලා තිබුණු එක. ඒත් මම එහෙම ඇවිත් දවස් කීපයකට පස්සේ කේශර මියගිහින් තිබුණා. ඊටපස්සේ ඩෝරාගේ තනිකම මකලා තිබුණේ වොලී කොල්ලා.

 

*එදා රිදීයගමින් ආවට පස්සේ ඩෝරා බලන්න ගියාද?

යන්න හිතුණා. ඒත් ගියේ නෑ. මොකද මං ගියත් ආයෙත් දාලා එන්න වෙනවනේ. ඒ නිසා අමාරුවෙන් හිත හදාගෙන හිටියා.

 

*අඩුතරමේ දුක සැපවත් හොයලා බැලුවේ නැද්ද?

මගෙත් එක්ක වැඩකරපු අයට නිතරම කතා කරලා එයාගේ දුක සැප ඇහුවා. ඒ වැඩේ මං දැනටත් කරනවා.

 

*ඩෝරාත් එක්ක ඒ ගතකරපු කාලේ අමතක නොවෙන දවස් තියෙන්න ඇති?

අනේ ඔව්. පොඩිම කාලෙදි එයා සැරයක් හොඳටම අසනීප වුණා. මැරෙන්න ගිහින් අමාරුවෙන් ගොඩගත්තේ. තව සැරයක් එයාට වසක් විසක් වගේ දෙයක් කැවිලා ඒ වගේම අමාරුවුණා. මට අන්න ඒ දවස් අමතක වෙන්නේ නෑ.

 

*ඩෝරාට නම තිබ්බේ එහෙම කවුද?

(සිනාසෙමින්) ඒක නම් මගේ වයිෆ්ගේ වැඩක්.

 

*ඩෝරා අම්මෙක් වුණු ආරංචිය අහපු වෙලාවේ දැනුණු හැඟීම ගැනත් කියමුද?

මම හිතන්නේ නෑ ඩෝරා අම්මෙක් වුණා කිව්වම මම තරම් සතුටු වුණු කෙනෙක් හිටියා කියලා. ඒ තරම් මට සතුටුයි. මට ලොකුවටම සතුටු හිතුණේ ආයෙත් එයා තනිවෙන්නේ නෑ කියලා හිතිලා.

 

*‘ඩෝරා මං උඹට දුන්නු පොරොන්දුව ළඟදිම ඉෂ්ට කරනවා’ කියලා ෆේස්බුක් එකේ පෝස්ට් එකක් පළකරලා තියනවා අපි දැක්කා. ඇත්තටම ඔබ ඩෝරට දුන්නු ඒ පොරොන්දුව මොකක්ද?

එදා මං ඩෝරා දාලා එද්දි පොරොන්දු වුණා එයා බලන්න ආයෙ දවසක එනවා කියලා. දැන් මට ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනේ.

 

*ඔබ හිතනවද ඩෝරා එහෙම ගියාම ඔබව අඳුරගනියි කියලා?

100%ක් විශ්වාසයි, අඳුර ගන්නවා. ඒත් දැන් එයා අම්ම කෙනෙක්. ඉස්සර වගේ දුවන පනින කෙළිලොල් කෙල්ල නෙවෙයි. ඒ හින්දා අඳුරගත්තත් ඉස්සර විදියට අපට ගනුදෙනු කරන්න නම් බැරිවෙයි.

 

*වෙනස් වුණු වත්මන් පාලනධිකාරිය යටතේ ආයෙමත් ඔබට ඩෝරාත් එක්ක කටයුතු කරන්න අවස්ථාව ලැබුණොත් ඒ අවස්ථාව ඔබ බාරගන්නවද?

මේ වෙනකොට ජාතික සත්වෝද්‍යානයේ නව අධ්‍යක්ෂ ජනරාල් විදියට ඉන්නේ චන්දන රාජපක්ෂ මහත්තයා. ඉදිරියේදි ඔහු සත්තු ගැන හිතලම හොඳ දේවල් ටිකක් කරයි. ඔබ අහපු එකට නම් මට කියන්න තියෙන්නේ ඩෝරාට දැන් මාව අනවශ්‍යයි. මොකද එයා දැන් ලොකුයි සහ එයා ඉන්නේ හැමදේම තනියෙන් කරගන්න පුළුවන් වයසක. ඒකනේ අර මං කලින්ම කියලා තිබුණේ මගේ වැඩේ අවසන්වෙන්නේ ඩෝරා අම්මා කෙනෙක් වුණු දවසට කියලා.

 

*අවසාන වශයෙන් කියන්න සත්තුත් එක්ක ගෙවන ජීවිතේ කොයි වගේද?

මගේ මූලික රාජකාරිය සතුන්ට ප්‍රතිකාර කරන එකම නෙවෙයි. ඒ හැම සතෙක්ම ඔවුන්ට ආවේණික භාෂාවකින් යම්කිසි පණිවිඩයක් දෙන ගමන් ඉන්නේ. හැබැයි අවාසනාවට ඒක හැම මනුස්සයෙකුටම තේරෙන්නේ නෑ. ඒත් සත්තුන්ව ළඟින්ම ඇසුරු කරන නිසා මට ඔවුන් කියන ඒවා තේරුම්ගන්න පුළුවන්. මට ඕන ඒ දේවල් තෙරුම් අරන් මේ සමාජේ ඉන්න අනෙක් අයටත් ඒක තේරුම් කරලා දෙන මනුස්සයෙක් වෙන්න. මං හිතනවා එතකොට මිනිස්සු සත්තු ගැන, සොබාදහම ගැන මීට වැඩිය හිතයි කියලා.

රුවන් එස්.සෙනවිරත්න