Latest News

කොහෙ ගියත් දුවගෙන එන්න හිතෙන නිවනක් වගේ නිවහනක් හදාගන්න…

දූ දරුවෝ ටිකක් ලොකු වෙනකොට පුංචි කාලේ අහපු ප්‍රශ්නවලට වඩා ලොකු ප්‍රශ්න අහනවා.

අපේ සුදු මැණිකේ දැන් වයස විසිහයක තරුණ විවාහක බිරිඳක්. මේ ළඟදි දවසක එයා මගෙන් මෙහෙම අහනවා “අම්මි මම ලොකු ගෙයක් හදන්නද, පොඩි ගෙයක් හදන්නද, වත්තක් මැද ගෙයක් ගන්නද, තට්ටු නිවාසයකින් ගෙයක් ගන්නද… හැබැයි ඔයා කැමති වත්තක් තියෙනවා නම් නේද? දැන් ලංකාවේ අපේ ගෙදර වගේ… මෙහේ ගෙවල් තමයි ගණන්ම දේ. හැබැයි ලෝන් එහෙම ගන්න පුළුවන් ගොඩක් දිග කාලෙකට. ටික ටික ගෙවන්න. පොඩි ලස්සන වත්තකුත් එක්ක ටිකක් ලොකු ගෙයක් කියන්නේ ඉතින් ලොකු ගාණක් නම් තමයි අම්මි… ඔයා මොකද හිතන්නේ ඒ ගැන..?”

වාසනාවට මගේ දුව ඒක මාත් එක්කම කතා කරන්න හිතපු එක ගැන මම දෙවියන්ට ස්තූතිවන්ත වුණා.

මොකද දන්නවද, මම පුංචි කාලේ ඉඳලා ව්‍යාපාර ගණනාවක් කරලා යහමින් මුදල් පාලනය කරලා ගෙවල්දොරවල් හදලා තියෙන අත්දැකීම් එක්ක මට එයාට අපූරු පිළිතුරක් දෙන්න පුළුවන් නිසා.

“මගේ පුතේ ඔයා දරුවෝ ගොඩක් හදන්නේ නැත්නම් ලොකු ගෙවල් හදන්න එපා. දවසක ඒ ගෙදර පිරිසිදුකිරීම් නඩත්තු ඔයාට තනියම කරන්න වෙනවා. ඔයා ටික ටික වයසට යනකොට පඩිපෙළ, අත්වැටවල් පිරිසිදු කරගන්න, ඉහළ මාලවල කාමරවලට යන්න බැරිවෙනවා. ඔයාගේ දරුවෝ උස්මහත් වෙද්දි ඔයා මේ කාලේ ආසාවෙන් හදන ගෙදර  කාලයේ තාලයෙන් පිට යනවා. ඒක පරණ නිවසක් බවට පත්වෙනවා. ඔයා දරුවන්ටත් එක්ක කියලා ගෙයක් හැදුවට දරුවෝ ඒවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ජීවිතේ හොඳම කාලෙ මගේ පුතා ලෝන් දාගෙන නොකා නොබී හදන ගෙදර දවසක බිත්ති ගල්කණුවලින් වටවුණ මහලු නිවාසයක් වෙනවා. ඔයා ලොකු ලෝන් ගෙවන්න පටන්ගත්තම ජීවිතේ විඳින්න අමතක වෙනවා. පවුල් ජීවිතය ඇතුළේ ආදරෙන් ඉන්න අමතක වෙනවා. විවේකයක් ගන්න, නිවාඩුවක් ගන්න පවා බැරිවෙනවා. දවසක හැරිලා බලපුහාම ඔයාට ලොකුම ලොකු ගෙයක් තියෙයි. හැබැයි ජීවිතේ හුඟක් තැන් අතෑරිලා තියෙයි.

අනිත් එක ඔයා ගන්න හෝ හදන්න හිතන ගෙදර ඔයාලගේ කැමැත්තට වෙන්න ඕන. මට හැමදාම ඔහේ යන්න එන්න බැහැනේ. මමත් වයසට යනවා. මමත් හැමදාම ඉන්නේ නෑනේ. ඒ වගේම ලංකාව වගේ රටක ගෙවත්තක් නඩත්තු කරන එක පහසු වුණාට ඔස්ට්‍රේලියාව වගේ රටක රැකියාවකුත් කරනගමන් ඒක ලේසි නෑ.

ලස්සන පුංචි නවාතැනක් හදාගන්න. එක්කෙනාට එක්කෙනා නිතර මූණට මූණ දකින, ගේ ඇතුළේ මුණගැහෙන තරමේ නිවහනක් හදාගන්න. ලොකු බරපැනවලට යන්නේ නැති ඒත් හොඳම අමුද්‍රව්‍ය යොදාගෙන හොඳම බඩුමුට්ටු කීපයක් තියාගෙන කොහේ ගියත් දුවගෙන එන්න හිතෙන නිවනක් වගේ නිවහනක් හදාගන්න…” මම මගේ දුවට කීවා.

ඒ එක්කම මෙන්න මෙහෙම කාරණා ටිකකුත් මගේ හිතට ආවා. මම ඒ ටිකත් මෙතැනම අකුරු කරනවා.

මනඃකල්පිත අනාගතයක් වෙනුවෙන් ඔබේ ජීවිතේ හොඳම කාලය ණයබරින් මිරිකිලා සිමෙන්ති ගල්වැලි යකඩවලට, ලෝන්වලට, ලීසිංවලට හිර කරන්න කලින් තවත් වරක් හිතන්න.

උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා ගෙවීම් සිහි කර කර ජීවිතේ හෙම්බත්වෙන ආයෝජනවල හිරවෙන්න එපා. නිතර ඔබේ පහසුව සැහැල්ලුව තෝරාගන්න.

දරුවන්ට වුණත් ණයවෙලා කිසි දෙයක් කරන්න එපා. හැකි පමණින් කරන්න. ඔබ කෙතරම් වියදම් කළත් ඔවුන් කෙතරම් ඉහළ නිලතලවලට ගියත් කිසිම දවසක අපට ඒවාට ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්න බෑ.

දිනෙක ඔවුන්ගේ ජීවිතය බෙදාගන්න එන අය වෙනුවෙන් ඔවුන්ට යුතුකම් කරන්න වෙනවා. දූ දරුවන් තනන්න ගෙවල් දොරවල් හදාගන්න යානවාහන මිලදී ගන්න ඔවුන්ට වෙහෙසෙන්න සිදුවෙනවා. ඒ ගැන සතුටින් හිතන්න. ඔබට යමක් ඉතිරි කරගන්න.

මිනිස්සු මානසික ආතතිය, නිදන්ගත රෝගවලින් පීඩා විඳින්නෙ දරන්න බැරි, කරන්න බැරි, අනුන් කරන දේවල් කරන්න ගිහින් ඇති කරගන්න අධික පීඩනය නිසා. ඒ නිසා ඔබේ සීමාවන් තේරුම්ගන්න.

කුඩා කල සිටම ආදායම් වියදම් පාලනයට හුරුවෙන්න. තමන්ගෙ ආදායම කොපමණද එපමණට ජීවිතය හුරුකරගන්න. අනුන් මත යැපෙන බොරු ජීවිතවලින් මිදෙන්න.

දරුවන් දිනෙක පිටව යනවා. දෙමව්පියන්ට යුතුකම්කිරීම් සොයාබැලීම් අතපසුවීම් වෙන්න පුළුවන්. ඉතින් එය එසේ නම් ඔබ වෙනුවෙන් ජීවිතය සැනසීමෙන් ගෙවන්න යමක් ඉතිරි කරගන්න. සැහැල්ලුවෙන් සිතන්න. අනෙකා මත චෝදනා කරමින් අනෙකාව මානසික පීඩනයට පත් නොකර තම වපසරිය තුළ හොඳින් ජීවත්වෙන්න.

ඇත්තටම මම ජීවිතේ හොයා ගනිද්දි වයස හතළිහක් විතර පහුවෙලා. මේ වගේ දේවල් අවබෝධ වෙන්න, ජීවිතේ ගැන සාමකාමීව හිතන්න, ඕනෙම දෙයක් අතාරින්න, මම ඉන්නෙ තව ටික කාලයයි කියලා හිතන්න ඇත්තටම දැන් මට පුළුවන්.

දරුවො ලොකුවෙලා, වෙන්වෙලා, ස්වාධීන වෙලා ඉන්න ගොඩක් අයට ඇත්තටම ඒක දැනිලා ඇති. ඕනෙම දෙයක් දිහා මැදිහත්ව බලන්න හුරුවෙලා ඇති. මේච්චර ගෙවල්, දේපල, ඇඳුම්, සපත්තු මොකටද කියන තැනට ඇවිත් ඇති.

ඇවිදින්න ඕනේ, රසට කන්න ඕනේ, ලස්සනට ඉන්න ඕනේ, හොඳට නිදාගන්න ඕනේ, ව්‍යායාම කරන්න ඕනෙ කියන තැනට ඇවිත් ඇති. හැබැයි ඒකට පුංචිවට හරි බැංකු පොතකට හරි දාලා ඉතිරි කරගන්න පුරුදු වුණොත් හොඳයි කියලා මම හිතනවා.

ඉස්සර මම දරුවො චූටි කාලේ දකින දකින තැනදි එයාලට රත්තරන් බඩු එකතු කළා. සුදු මැණිකෙගෙ බරට චූටි කරාබු අරං තියලා ඇති. ඊට ටික දවසකට පස්සෙ ඒකට ගැළපෙන මාල, පෙන්ඩන්ට්, වළලු එකතු කරලා ඇති. එයාට හරියන විදියට ආරක්ෂිත විදියට නිදන කාමරය නාන කාමරය පවා අධික වියදමින් කරලා හැදෙව්වා. කොටින්ම යන්තම් එයාට වයස අවුරුදු තුනක් වෙද්දි ලොකු වුණාම එයාගෙ රැකවරණයට කියලා ගේ වටේ විශාල බැම්මකුත් බැන්දා. ඒත් දන්නවද ටික ටික ලොකු වෙද්දි එයා රත්තරන් බඩුවලට අකමැතිම ළමයෙක් වුණා. කනට කරාබු දෙකවත් දාන්න අකමැති වුණා. එයාගෙ නිදන කාමරේට වඩා ගේ ඇතුළෙ අතන මෙතන මෙට්ට දාගෙන අපි එක්කම ඉන්න කැමති වුණා. මම බැමි ගහලා එයාව රැක්කාට වයස දහඅටක් වගේ වෙද්දි එයාගෙ අනාගත සැමියා මුණගැහුනා. විවාහා වුණේ නම් විසිහතරෙදි. මේ හැමදේම අම්මෙකුගෙ  සිතිවිලි. අශාවන්. බලාපොරොත්තු… ඒ කාලය මම පහුකරා. අද එයා ලංකාවෙත් නෑ. හැබැයි මට මේ කුටුම්භය තුළ ජීවන අත්දැකීම් නම් අනන්තයි අප්‍රමාණයි.

මගෙ පුතාට මම එයා චූටි කාලෙ ලස්සන ඔරලෝසු එකතු කළා. කැප් තොප්පි එකතු කළා. විවිධ ඇඳුම් සපත්තු එකතු කළා. එයාගේ ඇඟේ හැඩයට බෙල්ලේ උසට මාල අරං තිබ්බා. හැබැයි විශ්වාස කරන්න, එයා ආසාවට ඔරලෝසුවක් බඳින්නේ නෑ. පාට පාට මිශ්‍ර වුණ ඇඳුම් අඳින්නේ නෑ. තනි පාට ඇඳුම් විතරයි අඳින්නේ. මාල දාන්නෙ නෑ. මගේ තරුණ කාලේ මට යමක් නොකරගෙන එයාට එකතු කරපු දේවල්වලින් අද වැඩක් නෑ. ඒකයි කියන්නේ අපට හයිය තියෙන කාලයේ අපි ලස්සනට ඉන්න ඕන. අද කාලයේ හැටියට දෙමව්පියන් දරුවන්ට හොඳින් උගන්වා ගුණ නැණ කියාදෙන්නට පමණක් වෙහෙසුනත් ඒකත් මහාවිශාල ආයෝජනයක් විදියටයි මම හිතන්නේ.

මේ ගෙවපු හැම කාලෙකටම මම හරි ආදරෙයි. බිළිඳියක, ගැහැනු දැරිවියක, තරුණියක, බිරිඳක, මවක, අත්තම්මා කෙනෙකු හරහා දිවෙන්නට නියමිත මගේ ජීවිතය මා පියවරෙන් පියවර හරි අපූරුවට නිමාකර ඇති බව මේ නිවසේ සෑම පියවරක් පාසාම මට දැනෙනවා. සිහිවෙනවා.

ඒ වගේම හැම ජීවිතයක්ම එකම වාගේ පහසුවට ඉතා හොඳින් ගෙවෙන්නේ නැහැ.

ඔබ තාමත් විවාහයට සුදානම් වෙන තරුණියක වෙන්නට ඇති,

කුඩා දරුවන් එක්ක ජීවිතේ උපරිම වෙහෙස වෙන මවක් වෙන්න ඇති,

අපූරුවට ඉඳලා දරුණු ආර්ථික කඩාවැටීම්වලට ලක්වුණ කෙනෙක් වෙන්න ඇති,

අසාධාරණ විදියට සැමියා දාලා ගිය ගැහැනියක් වෙන්න ඇති,

ගහක් ගලක් වගෙ ඉඳලා ලෙඩ ඇඳකට වැටුණ අම්මෙක් වෙන්න ඇති,

ජීවිතේ එපාම කරපු තරුණ‍ ජවය වැඩිම වෙලාවේ ඉන්න දරුවන්ගෙ අම්මෙක් වෙන්න ඇති,

දරු ප්‍රසූතියට අද හෙට රෝහල්ගත වෙන්න හෝ අලුත් දරුපැටියා අරන් ඊයෙ පෙරේදා ගෙදර ආපු පීඩනය උපරිමයට ගිය අම්මෙක් වෙන්න ඇති,

මානසික ශාරීරික ආඛාධවලට ලක්වුණ දරුවෙක් ඉන්න අම්මෙක් වෙන්න ඇති,

මට වගේම නිදහස් කාලයක් ඔයාටත් එනවා. ජීවිතයට දැඩි ඉවසීමෙන් මූණදෙන්නම වෙනවා. අරයා මෙයා කරන දේ නම් කොහෙත්ම කරන්න යන්නේ නැතුව හිටියාමයි හොඳ. ඔයාගෙ කිසිම යුගයක් පියවරවල් කීපයක් එකවර පහුකරගෙන එන්න උත්සාහ කරන්න එපා. ඔයාට ලැබෙන හැම පියවරකටම අවංකව ඉවසීමෙන්, සතුටින් හෙමින් අඩිය තියලා එන්න. සතුට සහ හැකියාවන් සාපේක්ෂයි එක එක්කෙනාට තියෙන සහ නැති දේවල් එක්ක. ඔයාගේ වපසරිය ඇතුළේ ලස්සනට ඒ ගමන එන්න. දවසක ඔයාට ඒ පුදුමාකාර සැනසීම නිදහස් බව ලැබෙනවා. ඔයාට ඔයාව මුණගැහෙනවා.

එදාට ආයෙම ඔයා එක්ක ඔයා ජීවත්වෙන්න. ලෝකය දකින්න. මේ විශ්වයට ආදරේ කරන්න. ආදරේ බෙදන්න. හොඳ අත්දැකීම් දරුවන්ට සමාජයට දෙන්න තරම් පරිණත වුණාම මෙහෙම වුණොත් මෙහෙම වෙන්න පුළුවන් පුතේ කියලා අපට දරුවන්ට වුණත් දවසක කියලා දෙන්න පුළුවන්.

ජනාලි මධුරසිංහ