නවතම ප්‍රවෘත්ති

කවුරු එක්ක රඟපෑවත් පුබුදු අයියත් එක්ක රඟපාන්න නම් ටිකක් බයයි මාෂි සිරිවර්ධන

ලාංකීය සිනමාව අභාවයට යමින් තිබුණු මොහොතක, ගුණාත්මක සිනමා නිර්මාණවල අහේනියක් තිබුණු යුගයක 2020 ජූලි 02 වැනිදා ඉඳන් දිවයින පුරා සිනමාශාලාවල ‘ද නිවුස්පේපර්’ (The Newspaper) නමින් චිත්‍රපටයක් තිරගත වුණා. ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරු වුණේ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල කියන මෙරට ප්‍රවීණ නළුවන් දෙපළ. ඒ චිත්‍රපටයේ රඟපෑවෙත් මෙරට සිටින ප්‍රවීණ සහ විශිෂ්ටම ගණයේ නළු නිළි කැළක්. කොහොමහරි ඒ චිත්‍රපටය නැවතුණේ දෙස් විදෙස් සම්මාන රැසක්ම දිනාගෙන, ඒ වසරේ විශිෂ්ටම චිත්‍රපටය බවටත් පත්වෙලා.

‘ද නිවුස්පේපර්’ චිත්‍රපටයේ රඟපෑ අර ප්‍රවීණ නළු නිළි කැළට මැදිවුණු එක් තරුණ රංගන ශිල්පිනියක් හිටියා. ඔබත් ඒ චිත්‍රපටය නැරඹුවා නම් එහි පුවත්පත් මාධ්‍යවේදිනියගේ චරිතය කරපු ‘තරුෂි’ අමතකවෙන්න විදියක් නෑ. ඒක ඇයගේ රංගන ජීවිතේ පළමු රංගන අත්දැකීම කිව්වොත් හරි. එදා චිත්‍රපටය දෙස් විදෙස් සම්මාන ගණනාවක්ම දිනාගද්දි තරුෂිගේ චරිතයට උපරිම සාධාරණයක් කරපු අර නවක රංගන ශිල්පිනියත් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ ‘වසරේ නැගී එන නිළිය’ විදියට ජනාධිපති සම්මාන උළෙලේදි. අද වෙනකොට ඇය රටේ ඉතාම ජනප්‍රිය නිළියක්. ඇය තමයි මාෂි සිරිවර්ධන. මාෂි තමයි මේ සතියේ ‘ධරණී’ කවරය හැඩකරන ගමන් සොඳුරු කතාබහකට එකතුවුණේ.

“මං පුංචි කාලේ ඉඳන්ම වෙළඳ දැන්වීම් වගේ දේවල්වලට පෙනී හිටියා. හැබැයි රංගන ක්ෂේත්‍රයට ආවේ 2020 අවුරුද්දේ ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටයේ තරුෂි කියන චරිතයෙන්. ඒක මගේ පළමු නිර්මාණය වුණත් මාව සම්මානලාභී නිළියක් බවට පත්කළා. ඒ ගැන මට ගොඩාක් සතුටුයි.”

රංගනයෙන් දායකවුණු පළවැනි නිර්මාණය රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය කරගන්න සමත්වූ නළු නිළියෝ කීපදෙනෙක්ම අපේ රටේ ඉන්නවා. දැන් මාෂිත් ඉන්නේ ඒ අතරේ. මොකද ඇගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටයලු.

“ඒ චිත්‍රපටයේ මට රඟපාන්න අවස්ථාව ලැබුණේ අහම්බෙන්. එදා මගෙයි පුබුදු චතුරංග අයියගෙයි වෙඩින් එක තිබුණු දවස. ඒකට කුමාර තිරිමාදුර අයියලත් ආවා. ඒ ආපු වෙලාවේ තමයි එයා පුබුදු අයියට කියලා තිබුණේ පුබුදු මේ කෙල්ල තමයි බං අපි කරන අලුත් ෆිල්ම් එකට හරියන්නේ කියලා. පුබුදු අයියත් කැමති වුණා. එහෙම තමයි ‘ද නිවුස්පේපර්’ එකේ තරුෂිගේ චරිතය මට ලැබුණේ. මං තමයි ඒකෙ හිටපු පොඩිම කෙනා. අනෙක් අය ගත්තම සරත් කොතලාවල, ධර්මප්‍රිය ඩයස්, කුමාර තිරිමාදුර, ගිහාන් ප්‍රනාන්දු, ශ්‍යාම් ප්‍රනාන්දු, නෙතලි නානායක්කාර වගේ සිනමාවේ දැවැන්ත චරිත…”

කොහොමහරි ඒ චරිතයෙන් පස්සේ ඇයට චිත්‍රපටවලින් දිගින් දිගටම ආරාධනා ලැබුණලු. ඒ වුණත් ඊළඟ නිර්මාණය වෙනුවෙන් මාෂි එවර තෝරාගෙන තියෙන්නේ චන්න පෙරේරා අධ්‍යක්ෂණයෙන් දායක වූ ‘යුගාත්‍රා’ කියන චිත්‍රපටය.

“යුගාත්‍රා කියන්නේ චන්න අයියා කලින් කරපු ‘අංජලිකා’ වගේම ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක්. ඒක 2023 තිරගත වුණේ. යුගාත්‍රා චිත්‍රපටයේ මම කරපු සමාධි කියන චරිතයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. වසරේ ජනප්‍රියම නිළිය සම්මානයටත් මං නිර්දේශ වුණා.”

ඒ චිත්‍රපටයේ මාෂි රඟපෑ සමාධිගේ චරිතයේ හරි ලස්සනම කොටසක් තමයි ඇය බටනලා වාදනය කරන එක. ඉතින් මාෂිගේ ඒ හැකියාව ගැනත් අපට අහලා බලන්න හිතුණා.

“ඒක නම් චිත්‍රපටය නිසාමයි පුරුදු වුණේ. ඒ වුණාට බටනලා වාදනය ලේසි නෑ. චන්න අයියගෙන් බැණුම් අහගෙන ඔය ටිකත් පුරුදු වුණේ.”

‘යුගාත්‍රා’ චිත්‍රපටයෙන් පස්සේ මාෂි දිගු කාලයක් කිසිම කලා කටයුත්තක දකින්න ලැබුණේ නෑ. ඒකට හේතුව වුණේ ඇයට අලුත්ම අලුත් චරිතයක් රඟපාන්න ලැබී තිබීම. හැබැයි ඒ චිත්‍රපටයක නම් නෙවෙයි. සැබෑ ජීවිතයේ ‘අම්මා’ කියන උත්තරීතර පදවිය. ඉතින් කුළුදුලේ ලබපු ඒ අත්දැකීම ගැනත් අපි ඇයගෙන් අහලා බැලුවා.

“මං අම්මා කෙනෙක් වෙන්න ගොඩාක් ආසාවෙන් හිටියේ. මම පොඩි දවස්වල ඉස්කෝලේ යද්දි ටීචර්ලා ලොකුවෙලා කවුද වෙන්නේ අහද්දි අම්මා කෙනෙක් වෙනවා කියනවලු. මං හිතන්නේ මගේ අම්මගෙන් මට ලැබුණු ආදරෙත් එක්ක මං එහෙම කියන්න ඇති. කොහොමහරි දැන් මං දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. දුවගේ වයස දැන් අවුරුද්දක්. එයා හින්දා තමයි රංගනයෙන් තාවකාලිකව දුරස් වෙලා දිගු කාලයක් විදේශගත වෙලා හිටියේ.”

රංගනයෙන් එහෙම තාවකාලිකව ඈත්වෙලා දිගු කාලයක් විදේශ රටකට වෙලා හිටියට මොකද ඒ රටේදිත් මාෂිට රඟපාන්න අවස්ථාවක් ලැබුණලු. ඒ දමිළ චිත්‍රපටයක.

“ඒ වෙනකොට මට දරුවා ලැබුණු අලුත හින්දා මහතයි. පෙනුමත් වෙනස්. ඉතින් මුලින්ම මට මගේ පෙනුම ඉස්සර වගේ වෙනස් කරගන්න වුණා. ඊටපස්සේ තමා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ගත්තේ. ඒක දමිළ චිත්‍රපටයක්. ඉදිරියේදි ඒක බලන්න පුළුවන් වෙයි. මං හිතනවා මගේ රංගන ජීවිතේට ඒක ලොකු ආශිර්වාදයක් වෙයි කියලා.”

 

*ඇත්තටම ඒ පෙනුම වෙනස් කරගත්තේ කොහොමද?

“මට තිබුණු උනන්දුවත් එක්ක කෑමබීම පාලනයෙන් සහ ව්‍යායාම්වලින් පෙනුම වෙනස් කරගත්තා. අම්මා තමයි උනන්දු කළේ.”

පසුගියදා මාෂි ආයෙමත් ලංකාවට පැමිණියා. ඒ එක්ක නැවතත් තම රංගන කටයුතු ආරම්භ කරන බවයි ඇය අපිත් එක්ක කිව්වේ.

“මේ වෙනකොටත් නිර්මාණ කීපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් එක්ක ඉදිරියේදි මාව සුපුරුදු විදියට ආයෙමත් නිර්මාණවල දකින්න ලැබෙයි. මමත් හරි ආසාවෙන් ඉන්නේ ආයෙත් ප්‍රේක්ෂකයෝ මුණගැහෙන්න.”

මාෂි විවාහවුණේ අපේ රටේ ජනප්‍රිය නළුවෙක් වෙන පුබුදු චතුරංගත් එක්ක කියලා කවුරුත් දන්නවනේ. ඉතින් ඔහු එක්ක ගෙවන පවුල් ජීවිතේ ගැනත් ඇය අපිට මේ විදියට කිව්වා.

“අපි සතුටින්. දෙන්නා තුන්දෙනා වුණාට පස්සේ ඒ සතුට තවත් වැඩිවුණා. පුබුදු අයියා කියන්නේ හොඳ ආදරවන්තයෙක්, සැමියෙක් සහ පියෙක්. ඉතින් ඒ වගේ ආදරණීය කෙනෙකුගේ බිරි‍ඳ වුණු එක ගැන මටත් ලොකු සතුටක් තියෙනවා.”

 

*මාෂි නළුවෙක් විදියට පුබුදු චතුරංගව දකින්නේ කොහොමද?

“පුබුදු අයියා කියන්නේ මේ වෙනකොට ලංකාවේ ඉන්න හො‍ඳම නළුවෙක්. ඔහු හොඳම නළුවා ඇතුළුව ගන්න පුළුවන් හැම සම්මානයක්ම අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි වේදිකාව, රිදී තිරය සහ පුංචි තිරය කියන ඕන එකක් ඔහුට ඔට්ටුයි. ඇත්තටම මමත් එයාගේ හො‍ඳ රසිකාවියක්.”

කලා ක්ෂේත්‍රයේ ඉන්න සමහරෙක් කියන පොදු කතාවක් තමයි ඔවුන් කලා ක්ෂේත්‍රයේ කෙනෙක් විවාහකරගන්නේ නෑ කියන එක. ඒකට මාෂිගෙන් ලැබුණේ මේ වගේ උත්තරයක්.

“මම අනෙක් අය ගැන කියන්න දන්නේ නෑ. හැබැයි මට නම් අපි දෙන්නම එකම ක්ෂේත්‍රයේ කියන එක ගැටලුවක් වෙලා නෑ. ඇත්තටම එහෙම වුණු එක හොඳයි කියලයි මට හිතෙන්නේ. ඒක පහසුවක්.”

 

*පුබුදු ඔබේ රංගනයට සීමා මායිම් දාලා නැද්ද?

“එහෙම නෑ. ඒත් එයා මට නිර්මාණයක් වෙනුවෙන් ආරාධනා ලැබුණම පිටපත එහෙම කියවලා බලනවා. සමහරවිට එයා වෙනත් ක්ෂේත්‍රයක වගේ හිටියා නම් සීමා මායිම් දාන්නත් ඉඩක් තිබුණා.”

 

*පුබුදු නොදැම්මට මාෂි නම් පුබුදුට සීමා මායිම් දාලා ඇති?

“(සිනාසෙමින්) මමත් නෑ. එයා රංගනය ඉස්සරහා ඒ වගේ සීමා මායිම් ඇතු‍ළට හිරකරන්න මං කැමති නෑ. ඒකනේ එයා ජංගි හොරා, හුස්ම වගේ චිත්‍රපටවලත් රඟපෑවේ.”

 

විවාහවුණාට පස්සේ තාමත් මාෂිට පුබුදුත් එක්ක එකට රඟපාන්න ලැබුණේ නැද්ද කියලත් මාෂිගෙන් අහලා බැලුවේ ඒක ඔවුන්ට සුවිශේෂී අත්දැකීමක් වෙන නිසා. නමුත් එවැනි අවස්ථාවක් ඔවුන්ට 2021 වසරෙදි ලැබුණු බවයි ඇය ‘ධරණී’ට කිව්වේ.

“සුනිල් ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කරපු ‘නිහඬ සෙවණැලි’ චිත්‍රපටයේ අපි දෙන්නම රඟපෑවා. හැබැයි කවුරු එක්ක රඟපෑවත් පුබුදු අයියා එක්ක රඟපාන්න මං ටිකක් බයයි. ඒකට හේතුවක් නෑ. ඒත් ටිකක් බයයි.”

 

*මාෂි ඔබේ පවුලේ වෙන ඉන්නේ කවුද?

“අම්මයි තාත්තායි ඇරුනම අක්කයි නංගියි මල්ලියි තමයි. එයාලා තමයි ඉතින් හැමවෙලේම ළඟින්ම ඉන්නේ.”

අපේ කතාබහ අවසන් කරමින් ඒ සියලුදෙනා වගේම ඇයට ආදරේ කරන ආදරණීය ප්‍රේක්ෂකයොත් මතක් කරපු මාෂි ‘ධරණී’ කියවන ඔබ වෙනුවෙනුත් යමක් කියන්නත් අමතක කළේ නෑ.

“හැමෝටම මට කියන්න තියෙන්නේ එක පුංචි පණිවිඩයක්. පුංචි වුණාට ඒක ගැඹුරු අර්ථයක් තියෙන පණිවිඩයක්. අපි ජීවත් වෙන්නෙ බොහොම කෙටි කාලයක් විතරයි.  ඒ ටික කාලේ පුළුවන් තරම් සතුටින් ඉන්න. ජීවිතේ විඳින්න. මේ ගෙවෙන එක තත්පරයක්වත් ආපහු ලැබෙන තත්පර නෙවෙයි. ඒ නිසා අඬන්න දහසක් හේතු තිබුණත් හිනාවෙන්න එකම හේතුවක් හරි හොයාගෙන සතුටින් ජීවත්වෙන්න.”

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක

Dress – H&H Bridal Dresses

Hair and Makeup – Salon Chagalle (Priyantha )