නවතම ප්‍රවෘත්ති

රුපියල් විස්සෙනුත් මිනිස්සු අඳුරගන්න පුළුවන් රස්සාවක් මම කරන්නේ

බෙලිඅත්ත බලා මරදානෙන් ගමන් ඇරඹූ සාගරිකා දුම්රියට පසුගිය සිකුරාදා කොල්ලුපිටියෙන් මා ගොඩවුණේ පස්වරු 5.15ට පමණය. එතැන් සිට බොහෝ දුරක් යනතුරුම දුම්රියේ දකුණුපස කවුළුවකින් මා සිටියේ තෙරක් නොමැති මහමුහුද දෙස බලාගෙනය. ගොම්මන් අඳුර නිල් පැහැ මහමුහුදේ අතරින්පතර ගුරු පැහැය තවරද්දී දුරතියා වෙරළ වෙත ඇදෙන මුහුදු රළ දෙස මා නිසොල්මන්ව බලා සිටියෙමි. හිටිහැටියේ යෝධ ගල්ප‍ර හමුවේ මුහුදු රළ පසුබසින ආකාරයත් නැවත සැණෙකින් ඒ බාධක නොතකා නැගී සිටින ආකාරයත් මොනතරම් අපූරුදැයි කියා මට සිතුණි.

මුහුදු රළ සේම කොතෙක් බාධක පැමිණියත් තම අරමුණ අත්නොහැර ඉදිරියටම යන දිරිය ගැහැණුන් සහ මිනිසුන් මේ ගෙන්දගම් පොළොවේ කොතෙකුත් ඇත. පසුගිය දිනක රාජගිරිය බස්නැවතුම අසළ ත්‍රීරෝද රථගාලේදී අහම්බෙන් මුණගැසුන සුනේත්‍රා හේමමාලි ද එවැන්නියකැයි කියා මට සිතිණි. තුන්කාලේ ඩෙනිම් කලිසමත්, සුදු පැහැ ටී ෂර්ටයත් හැඳ සිටි ඇය අවුරුදු 18ක් තිස්සේ ත්‍රීවිල් හයර් දුවන්නියකි.

“2007 අවුරුද්ද කියන්නේ මම ආර්ථික ප්‍රශ්නවලින් හොඳටම බැටකාපු අවුරුද්දක්. එතකොට මගේ දරුවෝ දෙන්නත් ගොඩක් පොඩියි. දරුවෝ දෙන්නට හොඳ අනාගතයක් හදන්න වගේම පවුලට හයියක් වෙන්න මම රැකියාවක් කරන්න ඕන කියන එක මට තදින්ම දැනිලා තිබුණා.”

එලෙස රැකියාවක අවශ්‍යතාවය දැඩිව දැනෙද්දී ඇගේ හිතේ මෝදුවෙමින් පැවතියේ වෙනස්ම අදහසකි.

“මම ලොකුවට ඉගෙනගෙනත් නැති නිසා අට පහ රස්සාවක් කරන්න යන්නේ නැතුව ගෙදර තියෙන ත්‍රීවිල් එක හයර් කළානම් හොඳයි කියලා හිතුණා. හැබැයි එහෙම හිතුවට මොකද ත්‍රීවිල් එළවන්නේ කොහොමද කියලවත් මම දැනගෙන හිටියේ නැහැ. අන්තිමට කොහොමහරි ත්‍රීවිල් එළවන විදිය ඉගෙනගෙන ලයිසන් එකත් ගත්තා. ඒ සුදුසුකම් ඔක්කොම සම්පූර්ණ කරගෙන ගෙදර තිබුණ ත්‍රීවිල් එකත් අරන් මගේ ගම වුණ රාජගිරියේ මොරගස්මුල්ල ත්‍රීවිල් පාර්ක් එකට ආවා.”

නමුත් ඈ ඒ ආ ගමන සිතූතරම් සුන්දර එකක් වුණේ නැත. එතෙක් ත්‍රීරෝද රථගාලේ ත්‍රීවිල් හයර් කළ එකම ගැහැනු පරාණය වූ ඇයට විවිධ දුෂ්කරතාවලට මුහුණපාන්නට සිදුවිය.

“ඒ කාලේ ගැහැනු අය ත්‍රීවිල් පැද්දේ හරි අඩුවෙන්. දැන් එච්චර ගාණක් නැති වුණාට ඒ කාලේ ගැහැනු කෙනෙක් ත්‍රීවිල් එකක් හයර් කරනවා කියන එක මැජික් එකක් වගේ. ඒ නිසාද මන්දා ගොඩක් ප්‍රශ්නවලට මට මුහුණදෙන්න සිද්ධ වුණා. ඒ ප්‍රශ්නත් එක්ක දමලා ගහලා යන්න හිතුණ අවස්ථාත් තිබුණා. හැබැයි ඒ හැම වෙලාවකම මම මතක් කරගත්තේ මම මේ රස්සාවට ආපු අරමුණ. ඒ නිසා ඒ අරමුණ ඇතුව හිත හයිය කරගෙන හැම ප්‍රශ්නෙකටම මුහුණ දුන්නා. අන්තිමේදී මොරගස්මුල්ල ත්‍රීවිල් පාර්ක් එක වෙනුවට රාජගිරිය ත්‍රීවිල් පාර්ක් එකේ ඉඩක් මගේ ත්‍රීවිල් එක වෙනුවෙනුත් වෙන්වුණා.”

එදා සිට උදෑසන 6.30 වද්දී ත්‍රීරෝද රථගාලට ගොඩවැදෙන සුනේත්‍රා දහවල් 12.00, 12.30 වනතුරු හයර් දුවන්නීය. ඉන්පසු නිවසට ගොස් උයාපිහා රෙදි සෝදා දරුවන්ගේ වැඩ ද අහවරකොට යළිත් සවස 3.30 වනවිට ත්‍රීරෝද රථගාලට පැමිණෙන්නීය. ඒ අතරතුරේ ප්‍රශ්න කරදර පිරීගිය ජීවිතයේ ඉසිඹුවක් අපේක්ෂාවෙන් පැදුරු සාදවල ගී ගයමින් ඇය සතුට සොයන්නීය.

“අපි හැමෝම ගතකරන්නේ ඒකාකාරී ජීවිත. ප්‍රශ්න කරදර කාටත් පොදුයි. ඒ දේවල් එක්ක පොඩි හරි වෙනසක් අපේ ජීවිතවලට ඕන. ඉතින් මම කරන්නේ ඉඩක් ලැබෙන හැමවෙලාවකම පැදුර සාදවලට ගිහින් සින්දු කියන එක. වැඩිපුර හයර් තියෙන වෙලාවට ත්‍රීවිල් පාර්ක් එකේ ඉන්නවා. අනිත් වෙලාවට දරුවොන්ගේ වැඩ කරන ගමන් මගේ සතුට වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරගන්නවා. සාමාන්‍යයෙන් හයර් වැඩිපුර තියෙන්නේ හවස 1.30 – 03.00 ආපහු හැන්දෑවේ 05.00 – 08.00 කියන වෙලාවල්වල. ඒනිසා ඒ වෙලාවල් බලලා තමයි ත්‍රීවිල් පාර්ක් එකට එන්නේ.”

ඒ අතරතුරේ වසර 18ක් පුරාවට, ත්‍රීවිල් හයර් කිරීමෙන් ලද අමතක නොවන සිදුවීම් නැතිදැයි මා ඇගෙන් ඇසුවෙමි. ඇය කී නෙක සිදුවීම් අතර වඩාත් මා සිත්ගත් කතාව මෙහි සටහන් කර තබමි.

“එක දවසක් මගේ ළඟට ආවා කැඩුණු සිංහල කතා කරන දෙමළ කපල් එකක්. ඇවිත් ඇහුවා අක්කා මොරගස්මුල්ලට හයර් එකක් යනවනම් ගාණ කීයද කියලා. මම කිව්වා ගාණ අසූවයි කියලා. ඒ දවස්වල ඒ ගාණ අසූව වුණාට දැන් නම් එකසිය අසූවක් විතර වෙනවා. ඊටපස්සේ මම ඒ දෙන්නාව එක්කගෙන ගිහින් කියපු තැනින් බැස්සුවා. මට හයර් එක විදියට එයාල රුපියල් සීයක් දුන්නා. එයින් අසූවක් අරන් ඉතුරු විස්ස දෙන්න මම ලෑස්ති වෙද්දීම, ‘ඒක අක්කා තියාගන්න’ කියලා ඒ දෙන්නා ගියා. මට පුදුමත් හිතුණා. ඊටපස්සේ මම ආයේ ත්‍රීවිල් පාර්ක් එකට ආවා. ඊටපස්සේ අර දෙමළ කපල් එක ගිය තැනටම යන්න හොඳට හැඳ පැළඳගත්ත නෝනා කෙනෙක් ඇවිත් ත්‍රීවිල් එකට නැග්ගා. ඒ නෝනවත් ඒ විදියටම මම ගෙනත් ඇරලුවා. එයත් මට රුපියල් සීයක් දික්කරා. ඒත් එක්කම ඉතිරි සල්ලි දෙන්න ප්‍රමාද වෙන ටිකට ‘කෝ ඉක්මණට ඉතුරු විස්ස දෙන්න වහින්න හදන්නේ’ කියලා මගේ ඇඟට කඩන් පැන්නා. ඊටපස්සේ මම ඉතුරු දීලා කිව්වා ‘නෝනා මං මීට ටික වේලාවකට කලින් ටැමිල් කපල් එකකුත් මේතැනටම ගෙනත් ඇරලුවා’ කියලා. ‘ආ ඒ අපේ ගෙදර වැඩ කරන කට්ටිය. ගමේ ගිහින් එන්න ඇති අද’ කියලා ඒ නෝනා යන්න ගියා. ඔය සිද්ධිය වෙලා නම් දැන් ගොඩක්කල්. හැබැයි මට කවදාවත් ඒක අමතක වෙන්නෙ නෑ.”

නෙත්මි තෂාරා