නවතම ප්‍රවෘත්ති

“අපි විවාහ වුණොත් මං මාසෙන් කසාදෙ දමලා ගහලා ගෙදර යනවා කියලා කේන්දරේ තිබුණා ” ‘Travel with Wife’ – චමරී දීගොඩගමගේ

ඒ මීට අවුරුදු හතකට කලින්, ඒ කියන්නේ 2018 අවුරුද්දේ ජූනි මාසේ. ඒ දිනවල උඩ දියලුම ඇල්ල නරඹන්න ගිය තරුණ යුවළකගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සෑහෙන්න ප්‍රසිද්ධ වුණා. ‘අනේ ඒ දෙන්නා නම් හරි ආදරණීය දෙන්නෙක්’ ඒ වීඩියෝ එක නරඹපු හැමෝම කිව්වේ එහෙම. කොහොමින් හරි එතැන් පටන් ඒ යුවළ තම යූටියුබ් නාලිකාව තුළ පළකරපු ට්‍රැවල් වීඩියෝස් නරඹන්න ලක්ෂ ගණනක පිරිසක් එකතු වුණා. අවසානේ ඔවුන්ගේ යූටියුබ් නාලිකාව නැවතුනේ ලංකාවේ ජනප්‍රියම ට්‍රැවල් යූටියුබ් නාලිකාව විදියට සම්මාන පිට සම්මාන ලබාගනිමින්. ඉතින් අපි මේ කියන්නේ වෙන කෙනෙක් ගැන නෙවෙයි ‘Travel with Wife’ ගැන. මෙවර ‘ධරණී’ කවරය හැඩකරන්න අපි ආරාධනා කළෙත් ‘Travel with Wife’ යූටියුබ් නාලිකාව හරහා ඔබේ ආදරය දිනාගත්තු ඒ දෙපළට. ඒ කසුන් දීගොඩගමගේට සහ ඔහුගේ බිරිඳ චමරි දීගොඩගමගේට. ඒ තනිවම නෙවෙයි ඒ දෙදෙනාගේ ආදරණීය දියණිය වන එලීනා අභිමන්ත්‍රාත් එක්ක.

 

*ඉතින් ඉතින් අලුත් අවුරුදු කොහොමද?

“අලුත් අවුරුදු සුබයි.මේ අවුරුද්දෙත් අපි සුපුරුදු විදියට ලංකාවේ වගේම ලෝකෙ වටේ ට්‍රැවල් කරන්න හිතන් ඉන්නවා. මේ වෙනකොට කසුන් වෘත්තිමය වශයෙන් ඡායාරූප ශිල්පියෙක්. ඒ ඇරුනම ඉතින් දෙන්නම ෆුල්ටයිම් යූටියුබ් කරන්නේ. ඒ නිසා ට්‍රැවල් කරන්න නිදහස තියෙනවා.”

ඒ විදියට මුලින්ම කතාබහට එකතුවුණේ චමරි. හැමදේටම කලින් අපි චමරිගෙන් අහලා බැලුවේ ඇයත් එක්ක ලෝකෙ වටේ සංචාරය කරන ඇගේ සැමියා කසුන්ව මුලින්ම මුණගැහුනු විදිය ගැන.

“ඒක හරිම අහම්බෙන් සිද්ධවුණු දෙයක්. අපිට අපිව මුණගැහුනේ පානදුරේ ඉඳන් කොළඹට කෝච්චියේ වැඩට යනකොට. ඒ දැන් අවුරුදු 12කට විතර කලින්. කසුන් හරිම නිවුනු, නිශ්ශබ්ද කෙනෙක්. ඉතින් අකමැති වෙන්න තරම් හේතුවක් එයාගේ තිබු‍ණේ නෑ.”

හැබැයි එදා හිත්වලින් බැඳුනට මොකද දෙන්නට එක වහලක් යටට එන්න නම් ලේසිවෙලා නෑ. ඒකට හේතුව වුණේ දෙන්නගේ කේන්දරේ නොගැළපුනු එකලු. ඒ නිසා මේ ප්‍රේම කතන්දරයට දෙන්නගෙම ගෙවල්වලින් විරුද්ධ වෙලා.

“අපි විවාහ වුණොත් මං මාසෙන් ගෙදර යනවා කියලා කේන්දරේ තිබුණා. ඒ නිසා ගෙවල්වලින් කැමතිවුණේ නෑ. ඉතින් අපි කාලයක් වෙන්වෙලත් හිටියා. ඒත් අපිට එහෙම ඉන්න බැරිවුණා. ඊටපස්සේ අපිම තීරණය කළා කේන්දර ගැළපීමට වඩා දෙන්නෙක්ගේ අදහස් ගැළපිල්ල තමයි තියෙන්න ඕන කියලා. එහෙම හිතපු අපි අන්තිමේ විවාහවුණා. මේ වෙනකොට අපි විවාහවෙලා අවුරුදු 8ක්. ඒත් මං තාමත් අර කියපු විදියට ගෙදර නම් ගියේ නෑ.”

එදා චමරියි කසුනුයි දෙන්නා ඒ ගත්තු තීරණය හරියටම හරියි කියලා අපට හිතුණේ මේ වෙද්දි ඔවුන් ගෙවන ජිවිතේ දැක්කම. මොකද දෙන්නම හරිම සතුටින් පවුල් ජීවිතේ ගෙවන බව අපට විතරක් නෙවෙයි කියවන ඔබටත් ඔවුන්ගේ ට්‍රැවල් වීඩියෝස් නැරඹුවොත් තේරුම්ගන්න පුළුවන්.

“කසුනුයි මමයි දෙන්නම පොඩිම කාලේ ඉඳන් ට්‍රැවල් කරන්න ආසයි. ඉතින් අපි විවාහවුණා කියලා ඒක අත්හැරියේ නම් නෑ. අපි ඒක අපේ ජීවිතේ කරගත්තා. ඒ විදියට ඉන්නකොට තමයි අපිට අපි යන එන තැන් වීඩියෝ කරලා යූටියුබ් නාලිකාවක් පටන්ගන්න හිතුවේ. දවසක අපිට, අපේ දරුවන්ට ඒක ලස්සන මතකයක් වෙයි කියලා අපි හිතුවා. එහෙම හිතලා තමයි Travel with Wife නමින් ඒක 2018 දි පටන්ගත්තේ. ට්‍රැවල් කරන්නේ මගෙත් එක්ක හින්දා කසුන් තමයි Travel with Wife කියන නම ඒකට දැම්මේ.”

ඒ විදියට පටන්ගත්ත Travel with Wife යූටියුබ් නාලිකාව වෙනුවෙන් ඔවුන් ගිය මුල්ම සංචාරය වුණේ දියලුම ඇල්ල නරඹන්න ගිය එකලු. ඒ 2018 ජූනි මාසේ.

“දියලුම ඇල්ල කිව්වම ඒ වෙනකොටත් ගොඩක්දෙනෙක් දැකලා තිබුණේ පාරට පේන ටික විතරයි. ඒත් අපි උඩ දියලුමට ගිහින් ඒ සුන්දරත්වය ගැන කතා කරන ගමන් වීඩියෝ එක කළා. සමාජමාධ්‍යයේ ඒක ගොඩාක් ප්‍රසිද්ධ වුණා. ඊටපස්සෙයි හැමෝම වගේ කවුද මේ Travel with Wife කියන්නේ කියලා හොයලා බැලුවේ. ඒත් එක්ක අපි දාපු ට්‍රැවල් වීඩියෝස් බලන්න ගොඩක් අය උනන්දු වුණා. හොඳ ප්‍රතිචාර ලැබෙන්න ගත්තා.”

‘Travel with Wife’ ආරම්භය ගැන අපට ඒ විදියට විස්තර කළේ කසුන්. ඔහු කියපු විදියට ලංකාවේ වගේම විදෙස් රටවල් කිහිපයකත් ඔවුන් දෙදෙනා මේ වෙනකොට සංචාරය කරලා තියෙනවලු.

“අපි මේ වෙනකොටත් ඉන්දියාව, ඩුබායි, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව වගේ රටවල් දහයක විතර සංචාරය කරලා තියෙනවා. ඒ අත්දැකීම් හැම එකක්ම අපේ යූටියුබ් නාලිකාවෙන් බලාගන්න පුළුවන්.”

 

*ඇත්තටම බිරිඳ එක්ක ට්‍රැවල් කරන මේ අත්දැකීම මොන වගේද?

“(සිනාසෙමින්) ඒක මෙහෙමයි කියන්න තේරුමක් නෑ. ඒත් ඒක හරි සුන්දර අත්දැකීමක්.”

එහෙම කියපු කසුන් ඔවුන්ගේ යූටියුබ් නාලිකාව සහ අනෙකුත් සමාජමාධ්‍ය ගිණුම් වටා එකතු වී ඉන්න පරිශීලකයින් ප්‍රමාණයත් ඔවුන් නිසා ‘Travel with Wife’ ලබාගෙන ඇති සුවිශේෂී ජයග්‍රහණයන් ගැනත් මේ විදියට විස්තර කළා.

“දැනට අපේ යූටියුබ් නාලිකාවේ අනුගාමිකයින් ලක්ෂ 5ක් ඉන්නවා. ෆේස්බුක් එකෙත් ඒ ගාණම ඉන්නවා. ඉන්ස්ටග්‍රෑම් එකෙයි ටික්ටොක් එකෙයි ලක්ෂ දෙකහමාරක් ඉන්නවා. ඒ ලක්ෂ ගණනින් ලැබෙන ආදරෙත් එක්ක පසුගිය වසරවල අපේ යූටියුබ් නාලිකාව සම්මාන කීපයක්ම දිනාගත්තා. 2019 දි ‘Most Popular Social Media Influencer’ කියන සම්මානේ ලැබුණා. 2023 සහ 2024 පිටපිටම වසරේ ජනප්‍රියම ට්‍රැවල් යූටියුබ් නාලිකාව (Most Popular Travel Channel of the year) විදියටත් සම්මාන හිමිවුණා.”

එකම කාලසටහනකට ජීවිතේ ගෙවන ඔබට මට මේ ජීවිතේ අමතක නොවෙන දවස් කොච්චර තියෙනවද? අපට එහෙම නම් ලෝකේ වටේ රවුම් ගහන කසුන්ලට චමරිලට එහෙම දවස් කොයිතරම් තියෙන්න පුළුවන්ද? අන්න එහෙම දවසක් ගැනයි කසුන් මේ විදියට ‘ධරණී’ට කිව්වේ.

“ඇත්තටම ට්‍රැවල් කරන හැම දවසක්ම අපිට අලුත්ම අත්දැකීමක්. මොකද කලින් ගිහිල්ලා නැති තැනකටනේ යන්නේ. ඒක නිසා හැම දවසක්ම අපිට විශේෂයි. ඒත් එකපාරක් අපි පිරිසක් එක්ක ට්‍රැවල් කළා. ඒ අතර හිටපු කෙනෙක් හදිසියේම නැතිවුණා. ඒ දවස අමතක වෙන්නේ නෑ.”

 

*එතකොට කසුන් සත්තුන්ගෙන් එහෙම ප්‍රශ්න ඇතිවෙලා නැද්ද?

“දැනට නෑ. මොකද අපි කොහෙට ගියත් කලින් ඒ ගැන හොඳට හොයලා බලලා තමයි යන්නේ. ආරක්ෂාව තමයි අංක එක. ඒක නිසා තාම අනපේක්ෂිත කරදරවලට මුහුණදීලා නෑ. අනේ එහෙම වෙන්නත් එපා.”

කසුන්, චමරි දෙන්නත් එක්කම Travel with Wife හැඩකරන අර ලස්සන දෝණි ගැන නොකියා කොහොමද? ඇය තමයි ඔවුන්ගේ එකම දියණිය එලීනා අභිමන්ත්‍රා. මේ වෙනකොට එලීනා නිසාම චමරිලා කරන ට්‍රැවල් වීඩියෝ නරඹන්න හුරුවුණු පිරිසකුත් වෙනම ඉන්නවා. අපි ආයෙමත් චමරිගේ පැත්තට හැරුනේ ඒ ගැන අහන්න.

“දුවට දැන් වයස අවුරුදු 4ක්. දුව ඉපදිලා මා‍ස තුනේ ඉඳන් එයා අපි එක්ක ට්‍රැවල් කරනවා. එයා කොච්චර වාසනාවන්තද කිව්වොත් මේ වෙද්දි රටවල් නවයකටම ගිහින් තියෙනවා. දැන් අපිටත් වඩා දුවට මිනිස්සු කැමතියි.”

 

*දුව එලීනාත් ට්‍රැවල් කරන්න කැමතියිද?

“(සිනාසෙමින්) හරිම කැමතියි. දැන් දුවට ගෙදර ඉන්නවා කියන එක කරදරයක් වගේ. කොහේ හරි යන්නම ඕන. ගෙදර ඉන්නැද්දි කටේ තියෙන්නේම ඊළඟ ට්‍රිප් එක කොහෙද කියලා. එයත් හරි කැමතියි ඇවිදින්න.”

 

*එලීනා යන්න ආසම තැනක් තියෙනවද?

“එයා ගොඩාක් ආසයි මුහුදු වෙරළට. ඒත් එක්කම සීතල රටවලට ආසයි.”

 

පවුල් ජීවිතයක පැවැත්ම කියන දේ රැඳිලා තියෙන්නේ සතුට මත කියලා කතාවක් තියෙනවනේ. හැබැයි ගොඩාක් පවුල්වල නැත්තෙත් ඒක. ඒත් මේ ට්‍රැවල් පවුලේ නම් සතුටින් අඩුවක් නෑ කියලයි චමරි කිව්වේ.

“කසුනුයි මමයි කියන්නේ බැන්ඳ දවසේ ඉඳන් කොහොමත් හරිම සතුටින් හිටපු දෙන්නෙක්. ඒත් කිව්වට විශ්වාස කරයිද දන්නෑ පවුල් ජීවිතේ සතුට ට්‍රැවල් ජීවිතේ නිසා තවත් ඉහළ ගියා.”

ඒක හරි ලස්සන කතාවක් හින්දා පවුල් ජීවිතේ සතුට ට්‍රැවල් ජීවිතේ නිසා ඉහළ ගියේ කොයි විදියටද කියලත් අපි චමරිගෙන් අහලා බැලුවා.

“අංක එක තමයි අපි තුන්දෙනා නිතරම ඉන්නේ එකට. පුංචි රණ්ඩුවක් වෙලා අපි තරහා වුණත් වැඩිවෙලාවක් ඉන්න බෑ. ඒ මොකද ඊළඟ වැඩේ ගැන කතා කරන්න එපැයි. අනික තමයි තුන්දෙනාම එකටම ඉන්න නිසා එකිනෙකා අතරේ බැඳීම තව තව වැඩිවෙනවා.”

එහෙම කියපු චමරි කියවන ඔබ වෙනුවෙන් මෙහෙම කතාවකුත් කිව්වා.

“මං නම් කියන්නේ මාසෙකට එකපාරක් හරි නිවාඩු දවසක් බලලා දරුවෝ එක්ක පවුල පිටින් පුංචි ට්‍රැවල් එකක් කරන්න පුළුවන් නම් ඒක පවුලේ බැඳීමට සතුටට බලපානවා. ඒකට ලොකු ප්ලෑන් ගහන්න උවමනා නෑ. ළඟම තැනක් තෝරගත්තම හරි.”

චමරිලාගේ පදිංචිය පානදුර. ඒත් ගෙදර ඉන්න දවස්වලට වඩා තියෙන්නේ පිට ඉන්න දවස් කියලයි චමරියි කසුනුයි දෙන්නම හිනාවෙවී කිව්වේ. ඒත් එක්කම අපි ට්‍රැවල් පවුලට සමුදුන්නේ උදාවූ අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු ගැනත් චමරිගෙන් අහන ගමන්.

“අපි කොයි තරම් ට්‍රැවල් කළත් තවමත් අපිට යන්න බැරිවුණු තැන් ගණනාවක්ම තියෙනවා. මේ අවුරුද්දේ අපි කොහොම හරි ඒ තැන් බලන්න යන්න ඕන. අනෙක අපේ ලොකු ආසාවක් තියෙනවා සිංහල අලුත් අවුරුද්දට දුෂ්කර ගමකට ගිහින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ටික හරියට කරලා අවුරුදු සමරන්න. ඒ වගේමයි එලීනාට ඒ ගැන අවබෝධයක් දෙන්න. මේ දවස්වල ඒකට අපි ගමක් හොයනවා.”

 

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක