‘සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී’ නඩේසන්ට මුලින්ම අහන්න දුන්නේ අපියි
ඊළාම් අරගලයේ හැරවුම් ලක්ෂයක් ලෙස සැළකෙන්නේ කළු ජූලියයි. 1983 ජූලි 23 දින යාපනයේදී යුද හමුදා සාමාජිකයන් 13 දෙනෙකු ඝාතනයට ලක්වීමත්, රටේ සෙසු ප්‍රදේශවල පදිංචි දෙමළ ජාතිකයන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමත් නිසා ඇතිවූ ජාතිවාදී කෝලහාල හේතුවෙන් යාපනයේ පදිංචි සියලුම සිංහල ජාතිකයන් ආරක්ෂාව සඳහා අනුරාධපුරයට හා කොළඹට බස් හා නැව් මගින් රැගෙන එන ලදි.
මේ අතර උතුරු කොනේ ගම්මානයක් වන වැල්වැටිතුරේ (ප්‍රභාකරන්ගේ උපන්ගම) ගම්වාසීන් අතර කසුකුසුවක් පැතිර යන්නට විය.
“පොලිසියේ වැඩ කරන නඩේසන් සිංහල ගෑනියෙක් ගෙනල්ලලු.”
වැඩි දවසක් යාමට පෙර නඩේසන් කැන්දාගෙන ආ සිංහල ගැහැනිය නළලේ රතු පොට්ටුව ද (තිලකය) තබාගෙන දෙමළ උරුවට සාරිය ද ඇඳගෙන එළිපහලියට යන්නට වූවාය. දෙමළ උරුවට ඇඳපැළඳ ගත්තද දෙමළ කතා කිරීමට ඈට නොහැකිය. ගම්වාසීන් සමඟ සුහදශීලී වුවද දෙමළ භාෂාව නොදන්නා නිසා ඇගේ භාෂා පරිවර්තකයා වූයේ ඇය ළඟ නිරන්තරයෙන් රැඳී සිටි ඇගේ සැමියා නඩේසන් ය.
මේ නඩේසන් වෙන කවුරුත් නොව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පොලිස්පතිවරයා මෙන්ම දේශපාලන අංශ නායකයා වූ ද බාලසිංහම් නඩේසන් ය. ඔහු කැන්දාගෙන ආ සිංහල ජාතික ගැහැනිය වූයේ මාතර කඹුරුපිටියේ විනීතා ගුණසේකර ය.
පසු කාලයක මේ දෙදෙනාගේ ආදර අන්දරය අලලා ඉතා ජනප්‍රිය වූ ගීතයක් ද නිර්මාණය විය. ඒ රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කරන ලදුව විශාරද ගුණදාස කපුගේ ගැයූ,
‘සිංහල සිංදු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට
ආවාදෝ ඉගිල්ලී….’
යන ගීතයයි.
නඩේසන් යනු ලංකාවට මහත් විනාශයක් ගෙන දුන් ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙකි. විනීතා යනු ඔහුගේ සිංහල ජාතික බිරිඳයි. අද වනවිට මේ දෙදෙනාම ජීවතුන් අතර නැත. නමුත් ‘සිංහල සිංදු කියන කිරිල්ලී’ ගීතය වාදනය වන වාරයක් පාසා ඔවුන් මේ ධරණී තලය මත අමරණීය බව පිළිගත යුතුය. එමෙන්ම ඔවුන් දෙදෙනාගේ ආදර බැඳීම සමාජයට බොහෝ දේ කියා දෙන්නකි.
නඩේසන්ගේ උපන්ගම වූ වැල්වැටිතුරේ යනු 1970 දශකයේ හොරබඩු ජාවාරම් ලැයිස්තුවේ අංක 1ට තිබූ ගම්මානයකි. නමුත් නඩේසන්ගේ පවුල හොඳ අධ්‍යාපන පසුබිමක් තිබූ වැදගත් පවුලක් විය. එකල යාපනයේ උසස් දෙමළ පවුල් සාමාජිකයන් පොලිස් සේවයට එක්වීම සැලකුවේ ආඩම්බරයට කරුණක් ලෙසය. නඩේසන් ද පොලිස් සේවයට එක්වුණේ ඒ අනුවයි. පොලිස් සේවයට එක්වූ නඩේසන් නාරාහේන්පිට, මහරගම, කිරුළපන, මිරිහාන යන පොලිස් ස්ථාන කිහිපයකම රාජකාරි කළේය. නඩේසන්ට විනීතා හමුවුණේ මිරිහාන පොලිසියේදීය. විනීතා පොලිසියේ දුරකතන ක්‍රියාකරවන්නිය ලෙස රාජකාරි කළාය. ඒ අතර දෙදෙනා අතර ප්‍රේම සබඳතාවයක් ද ගොඩනැගිනි.
“සහෝදර සහෝදරියෝ නමදෙනෙක් ඉන්න පවුලේ අක්කා දෙවැනියා. උසස් පෙළ කරලා පොලිසියට බැඳුණා. පොලිසියේදී තමයි දෙන්නා යාළුවෙලා තියෙන්නේ. විරුද්ධ වෙයි කියන බයට යාළුවුණාම ගෙදරට කීවේ නැහැ. කවුරුහරි කෙනෙක් තාත්තට කියලා තියෙනවා එයා දෙමළ මනුස්සයෙක් එක්ක යාළුයි කියලා. ඒ ආරංචිය දැනගත්තම තාත්තට හරියට කේන්ති ගියා. එයාට බැන්නා ඒ සම්බන්ධය නවත්තන්න කියලා. අපේ තාත්තා ගම්මුලාදෑනියෙක් විදියට ගමේ බොහොම නම්බුකාර විදියට ජීවත්වුණේ. එයා (විනීතා) දෙමළ මනුස්සයෙක් එක්ක යාළු වුණාම ගමට රටට මුහුණ දෙන්න බැරි දෙයක් විදියට තාත්තට දැනුණා.”
විනීතාගේ සොහොයුරියක් වළලා දැමූ අතීතය පිළිබඳව වසර කීපයකට පෙර මාධ්‍ය වෙත එලෙස ප්‍රකාශ කර තිබුණාය.
විනීතා-නඩේසන් ප්‍රේමයට විනීතාගේ පවුලෙන් සහ නෑදෑ සනුහරෙන් කෙතරම් විරෝධතා එල්ල වුවද දෙදෙනා විවාහ විය. විවාහයට සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කළ එක් පුද්ගලයෙකු වන්නේ වාසුදේව නානායක්කාර මහතාය. නඩේසන් මෙන්ම නඩේසන්ගේ පියා ද වාමාංශික දේශපාලනයට සම්බන්ධ වූවන් බැවින් වාසුදේව නානායක්කාර මහතා විවාහයට අත්සන් කර තිබිණි. අද මෙන් දුරකතන පහසුකම් නොතිබුණ එකල විවාහයෙන් පසුව විනීතා විසින් සිය විවාහය පිළිබඳව දැනුම් දී පියාට ලිපියක් යවා තිබිණ.
‘උඹ මැරුණා කියලා අපි හිතාගත්තා. අපේ මරණයකටවත් උඹ එපා.’
දැඩි මතධාරියෙකු වූ පියාගෙන් විනීතාට යැවූ පිළිතුරු ලිපියේ සඳහන්ව තිබිණ. සිය පවුලේ විරෝධය නොතැකූ විනීතා සිය පෙම්බරා සමඟ පවුල් ජීවිතය ආරම්භ කළාය. මහරගම පන්සල පාරේ නිවසක් කුලියට ගත් දෙදෙනා එහි පදිංචි වූහ. ගැටලුවක් නොමැතිව දෙදෙනාම රාජකාරියටද ගියෝය.
ඒ කාලය වනවිට උතුරේ යුදගිනිදැල් ඇවිලෙමින් තිබුණි. එහි උච්ඡතම ප්‍රතිඵලය වූයේ කළු ජූලියයි. කළු ජූලියේදී දකුණේ විශාල දෙමළ විරෝධයක් හටගෙන තිබුණි. සිංහල කාන්තාවක හා විවාහ වී සිංහලයන් සමඟ දේශපාලනය කළ ද දෙමළ පුද්ගලයෙකු වීම සහ පොලිස් නිලධාරියෙකු වීම නිසා නඩේසන්ටද එහි පීඩාව අත්විඳින්නට විය. එහි ඛේදජනක තත්ත්වය නම් සහෝදර පොලිස් නිලධාරීන්ගේ සැකය හා ඇණුම්පද ඔහුට එල්ලවීමයි.
“විනීතා කවුරු ප්‍රතික්ෂේප කළත් මට විශ්වාසයි අපේ පවුලේ අය, ගමේ අය අපි දෙන්නව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි වැල්වැටිතුරේ අපේ ගමට යමු.”
නඩේසන් සිය පෙම්බරිය විනීතාට එදා එසේ කියන්නට ඇත. එහි ප්‍රතිඵලය වූයේ පොලිසියේ ස්ථාන මාරුවක් ලබාගෙන දෙදෙනාම යාපනය වැල්වැටිතුරේ පදිංචියට ගොස් යාපනය පොලිසියේ සේවය කිරීමයි. නමුත් ඉන්පසු යාපනය එල්.ටී.ටී.ඊ. පාලනයට නතු වූ පසු යම් යම් හේතු නිසා ඔවුන්ට පොලිසියේ රැකියාව අහිමි වූ අතර එතැනින් පසු නඩේසන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාව හැසිරිවිය හැකි නිසා ජීවිකාව සඳහා කුමක් හෝ රැකියාවක් කළේය. ආරක්ෂක නිලධාරී (සිකුරුටි) රැකියාවද කලක් කළ බව සඳහන්ය. විවේක දිනයන්හිදී දෙදෙනාම කෝවිල් මෙන්ම විවිධ ගමන් ගියෝය. ඥාති නිවෙස් වෙත ද ගියෝය. නඩේසන්ගේ එක් නැගණියක රජයේ බැංකු නිලධාරිනියක වූ අතර ඇගේ සැමියා කන්දීපන් නම් යාපනයේ ප්‍රසිද්ධ නීතීඥවරයෙකු විය. ඔවුන් දෙදෙනා ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව සිටි නඩේසන් යුවළට බොහෝ උපකාර කර තිබුණි.
“ඒ දෙන්නා බොහොම ආදරයෙන් තමයි හිටියේ. නඩේසන් අයියගෙ නෝනට ආපු මුල් කාලයේ දෙමළ පොඩ්ඩක්වත් බැහැ. ඒත් ටික ටික කතා කරලා වැඩි කාලයක් යන්න කලින් දෙමළ ඉගෙනගත්තා. නෑදෑ ගෙදරකට ගියත් හරිම සුහදශීලීයි. යන ගෙදර උයනවා පිහිනවා හරි වෙනත් වැඩක් කෙරෙනවා නම් ඒකට උදව් කරනවා. ඔහොම ඉද්දි තමයි එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳුණෙ. ප්‍රභාකරන්ගේ පවුලයි නඩේසන් අයියගේ පවුලයි දෙකම හිතවත්. ඒකට හේතුව තමයි මේ පවුල් දෙකේම රාජ්‍ය සේවයේ අය හිටියා. ඒ වගේම ප්‍රභාකරනුයි නඩේසනුයි පාසල් ගියේ වැල්වැටිතුරේ සිදම්බරා විද්‍යාලයට. ඒ නිසා දෙන්නගේ පාසල් මිතුරුකමකුත් තිබුණා. ඒ හේතු නිසා නඩේසන් අයියා එල්.ටී.ටී.ඊ. සංවිධානයට එකතුවෙන්න ඇති. හැබැයි අපි දන්න විදියට නඩේසන් අයියගේ නෝනා එල්.ටී.ටී.ඊ. සංවිධානයට වැඩ කළා කියලා අපි දන්නෙ නැහැ. අපි දන්න විදියට එයාගෙ නෝනා දරුවන් හදාවඩාගෙන ගෙදර හිටියේ.”
නඩේසන්ගේ ඥාතියෙකු ලියුම්කරු සමඟ කීවේය.
90 දශකයේ මුල් කාලයේදී පරිපාලනයට අත ගසන එල්.ටී.ටී.ඊ.ය ඊළාම් පොලිසිය ආරම්භ කරන ලදි. ඊළාම් පොලිසියේ මුල්ම පොලිස්පතිවරයා ලෙස පත්කෙරෙන්නේ නඩේසන් ය. ලංකා පොලිසියේ සැරයන්වරයෙකු ඊළාම් පොලිසියේ පොලිස්පති වන්නේ එලෙසය. ඊළාම් පොලිස්පති නඩේසන් උතුරට ගැළපෙන ලෙස නීති සකස් කළ බව යාපනයේ පදිංචිකරුවෝ කියති. ඔහු හඳුන්වා දුන් එක් නීතියක් වූයේ පාපැදි දෙකක් හෝ කීපයක් කතාබහ කරමින් මාර්ගයේ ගමන් කරන්නේ නම් එම ස්ථානයේදීම රු.10 දඩයක් නියම කර රිසිට්පත ලබාදීමයි. ඒ අනුව එවකට යාපනය අතිරේක දිසාපතිනිය ලෙස කටයුතු කළ පත්තිනි අම්මා නම් නිලධාරිනියටද රු. 10 දඩය නියම කර තිබිණි.
කොටි පොලිස්පති වූ නඩේසන්ගේ දිවිය එල්.ටී.ටී.ඊ.ය සමඟම ගෙවී ගියේය. බාලසිංහම් නඩේසන් ලියුම්කරුට හමුවන්නේ 2002 සටන් විරාම සමයේදීය. මාධ්‍ය සගයෙකු වන නුවන් ගන්කන්ද (සතිඅග අරුණ මාධ්‍යවේදී) මා සමඟ වරක් පැවසුවේ නඩේසන්ගේ සිංහල ජාතික බිරිඳ හමුවී විශේෂාංග ලිපියක් සකස් කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බවයි. ඒ සඳහා මුලින්ම නඩේසන් හමුවිය යුතු විය. ඒ සඳහා එම හමුවීම සූදානම් කරදෙන ලද්දේ කිලිනොච්චිය ඊළාම් පොලිස් ස්ථානයේ ස්නාධිපති රංජිත් කුමාර් ය. මාධ්‍ය ආවරණ කටයුතු සඳහා කිලිනොච්චියට කීප අවස්ථාවකදී ගොස් සිටි බැවින් රංජිත් කුමාර් හා මා අතර යම් හිතවත්කමක් ගොඩනැගී තිබුණි.
(යුද්ධය අවසානයේදී හමුදාවට යටත්වූ රංජිත් කුමාර් සොයා ගිය මා හට ඔහුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයකදී හමුවිය. ඔහු මේ වනවිට සිය පවුල සමඟ එංගලන්තයේ පදිංචිව සිටී.)
නුවන් ගන්කන්ද හා මා නඩේසන්ව හමුවූයේ කිලිනොච්චියේ පිහිටි ඊළාම් පොලිස් මූලස්ථානයේදීය. අපගේ හමුවීම ඉතාම සුහදශීලීවිය. යටියන්තොට, රුවන්වැල්ල ප්‍රදේශයන්හි සිටි වාමාංශික දේශපාලකයන් හා පැරණි ආධාරකරුවන් රැසකගේ නම් ගම් කියා නුවන්ගෙන් ඔවුන් විස්තර විමසන ලදි. “ලංකා පොලිසියේ හිටියානම් මම තවම සාජන්. ආපු නිසා දැන් මම පොලිස්පති.” වායු සමීකරණය කරන ලද කාමරයේ සුවපහසු අසුනක හිඳගෙන ඔහු අපට කීවේ ආඩම්බරයෙනි. ආගිය කතාබහ අවසානයේදී අපට අවශ්‍යම මාතෘකාව වූ නඩේසන්ගේ බිරිඳ වූ විනීතා ගුණසේකර පිළිබඳව කතා කළෙමු.
“එයා හොඳ බිරිඳක්. මගේ රාජකාරිය මම කරනවා. ගෙදර රාජකාරි එයා කරනවා. එයා තවම බුදුන් වඳිනවා. බුදුන් වඳින්න තැනක් මම සකස් කරලා දීලා තියෙනවා. මම වගේම එයත් තවම සිංහල සිංදු අහනවා.”
“කාගෙ සිංදු ද අහන්න කැමති?” නුවන් නඩේසන්ගෙන් ඇසීය.
“ටී.එම්. ජයරත්න, වික්ටර් රත්නායක වගේ අයගේ සිංදු අහන්න කැමතියි. ඒත් මෙහේ සිංහල සිංදු තියෙන කැසට් නැහැනේ.” නඩේසන් කීවා මතකය.
එම අවස්ථාවේදී අප ගමනට ගිය වෑන් රථයේ තිබූ කැසට්පට 2-3ක් නඩේසන්ට පරිත්‍යාග කළෙමු. එම කැසට්පට සඳහා මුදල් ලබාදීමට ඔහු උත්සාහ කළ අතර අප එය ප්‍රතික්ෂේප කරමින් පෙරැත්ත කර කැසට්පට ලබා දුන්නෙමු. සිංදු කතාබහ යන අතරේ එක්වරම යමක් මතක් වූ නුවන්,
“ඔබතුමායි නෝනයි ගැනත් සිංහල සිංදුවක් තියෙනවා.”
“මොකක්ද ඒ සිංදුව?”
“රත්න ශ්‍රී විජේසිංහ ලියලා තියෙන්නේ, ගුණදාස කපුගේ කියන්නේ. ‘සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී’ කියලා තමයි පටන්ගන්නේ.”
“අපි දෙන්නා ගැන හොඳද නරකද ඒකෙන් කියන්නේ?”
“දෙන්නගෙ ආදරේ, විවාහය ගැන හොඳ අදහස් ටිකක් තියෙන්නේ.”
“එහෙනම් ආයිත් එන දවසට මට කැසට් එකක් ගෙනැල්ලා දෙනවද?”
වශයෙන් එදින කතාබහ අවසන් විය. බිරිඳ විනීතා ගුණසේකර හමුවීමට කැමැත්තෙන් සිටින බවද අපි කීවෙමු.
“ඊළඟ සැරේ බලමු.” නඩේසන්ගේ පිළිතුර විය.
තවත් සති කීපයකින් අප කිලිනොච්චියට ගිය අතර අපිව පිළිගැනීම සඳහා ඕමන්ත මුරපොළ වෙත ඊළාම් පොලිස් නිලධාරියෙකු එවා තිබිණ. ඊට අමතරව අපගේ නවාතැන් ඇතුළු සියලු අවශ්‍යතා මෙන්ම අපගේ උදව්වට ඊළාම් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද ලබාදෙන ලදි. අප එදින යනවිට ‘සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී’ ගීතය අඩංගු කැසට්පටයක් ද රැගෙන ගිය අතර කැසට්පටයේ සඳහන් මුදල අප හට දී ඔහු කැසට්පටය ලබාගත්තේය.
“ඔයාලගේ ඉල්ලීම ගැන මම විනීතා එක්කත් කතා කළා. අපි දෙන්නගෙම ප්‍රශ්නයක් නැහැ. අපට තියෙන ප්‍රශ්නය විනීතා මාධ්‍යයට කතා කළොත් එයාගේ ගෙදර අයට ප්‍රශ්නයක් වේවිද කියලයි. මොකද මේ සිද්ධිය ගැන දැන් කාගෙවත් ලොකු අවධානයක් නැහැ. හැබැයි පත්තරේ ගියාම ආයෙත් අවධානයක් එනවා. ඉතින් ගෙදර අය එක්ක කිසිම සම්බන්ධයක් නැති වුණත් එයාලට පොඩි හරි ප්‍රශ්නයක් වුණොත් හොඳ නැහැ. ඒකට අපි දෙන්නම කැමති නැහැ.”
නඩේසන් කීවේය.
එම සිද්ධිය එතෙකින් අවසන් විය. ආරක්ෂක අංශ වෙතින් අනවශ්‍ය ගැටලුවක් වේ යැයි සිතා අපගේ ජංගම දුරකතන අංක නොදුන් අතර කාර්යාලයීය දුරකතන අංක පමණක් ලබා දුනිමි. මේ කාර්යාලයීය දුරකතන අංකයට නඩේසන් කීපවිටක්ම කතාකර තිබිණි. යුද්ධය ආරම්භ වීමත් සමඟ සියලු සබඳකම් නැවතිණි. යුද්ධය අවසානයේ ප්‍රවෘත්ති විකාශයකදී මියගිය නඩේසන්ගේ හා බිරිඳගේ මෘතදේහයන් පෙන්වන ලදි. දැනගන්නට ලැබෙන පරිදි නඩේසන් මියයනවිට විනීතා ද ඒ සමීපයේම සිට ඇත.
යුද්ධය අවසන් කාලයේදී මුහුදු කොටි නායක සුසෙයි සිය බිරිඳ හා දරුවන් බෝට්ටුවක පටවා ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ වෙත භාරකරන ලදි. දේශපාලන නායක තමිල් සෙල්වන්ගේ බිරිඳ ද යුද හමුදාවට භාර වී ජීවිතය ගලවාගත් අතර මේ වනවිට යුරෝපයේ පදිංචි වී සිටී. තවත් කොටි නායකයන් කීපදෙනෙකුගේම බිරියන් සැමියන් අත්හැර ගොස් ජීවිතය ගලවාගෙන මේ වනවිට යුරෝපයේ පදිංචි වී සිටිති.
නමුත් නඩේසන්ගේ බිරිඳ විනීතා අවසන් මොහොත තෙක් ආදරණීය සැමියා සමඟ සිට ජීවිතය පුදකර ඇත.
“ඒ ගෑනි සිංහල වුණත් මරණය වෙනකම් ළඟ හිටියා. ඒකට අපේ දෙමළ ගෑනු. මිනිහා මෙහෙ මැරෙන්න සටන් කරද්දි පණ බේරගන්න පැනලා ගිහින් හමුදාවට භාර වුණා.”
දෙමළ වැසියන් කීපදෙනෙකුම ලියුම්කරු සමඟ කීවේය.
අප දන්නා පරිදි එල්.ටී.ටී.ඊ. ය යනු ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානයකි. යුද සමයේ මාධ්‍ය වාර්තාකරණයේදී බොහෝ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් මුණගැසුනෙමි. එම පිරිස් අතර මානුෂවාදී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් රැසක් හමුවිය. නඩේසන් ද එවැනි මානුෂවාදී එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බව කිව හැකිය.
සනත් ප්‍රියන්ත