නවතම ප්‍රවෘත්ති

69 බැලුවොත් තේරෙයි විවාහවුණු දෙන්නෙක්ට ආදරෙන් ඉන්න වයස බාධාවක් නෙවෙයි කියලා – දිල්රුෆා ශානාස් (Dilrufa Shanaz)

අංක ‘69’ කියපු හැටියෙම එක්වරම ඔබට මතක් වෙන්නේ මොකක්ද? මට නම් ‘69’ කියන ඉලක්කම එක්ක බද්ධවුණු විවිධාකාර වූ දේවල් මේ මොහොතෙදි මතක් වෙනවා. දේශපාලනය පැත්තෙන් ගත්තොත් එකපාරට මතක්වෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න ඡන්දේ දුන්නු 69 ලක්ෂය. ක්‍රීඩාව පැත්තෙත් ගත්තොත් රසල් ආර්නොල්ඩ්, ඇන්ජෙලෝ මැතිව්ස් වගේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජර්සි අංකේ වුණෙත් 69. ඒ එක්කම කෑගල්ල, අවිස්සාවේල්ල හරහා ඇති මහනුවර – රත්නපුර බස් මාර්ග අංකයත් 69. ඒ එක්කමයි අංක 69 දේවදූත අංකයක් විදියටත් පිළිගැනෙනවා. ඒ අංකෙන්ම ඉතා ප්‍රසිද්ධ ලිංගික ඉරියව්වකුත් තියෙනවා. ඒ විතරක්යෑ මුල්ම සඳ ගමනටත් මේ 69 අදාළයිනේ. මොකද 1969 තමයි නීල් ආම්ස්ට්‍රෝං ඇතුළු පිරිස මුලින්ම සඳ මත පා තැබුවේ. කැනේඩියානු ගායක බ්‍රයන් ඇඩම්ස් විසින් ගායනා කළ ‘සමර් ඔෆ් 69’ කියන ජනප්‍රිය ගීතයත් උවමනා නම් මෙතැනටම අදාළ කරගන්න පුළුවන්.
හැබැයි ඔය විදියට 69ත් එක්ක බද්ධවුණු කොයිතරම් දේවල් තිබුණත් මේ දිනවල නම් ‘69’ කියපු ගමන්ම බොහෝදෙනෙකුට මතක් වෙන්නේ එක්තරා චිත්‍රපටයක්. ඒ මේ වනවිටත් දිවයින පුරා සිනමාශාලවල අතිසාර්ථක ලෙසින් තිරගත වන වින්ද්‍යා හාරිස්පත්තුව අධ්‍යක්ෂණය කරපු ‘69’ (Sixty Nine) සිංහල චිත්‍රපටය. අවුරුදු විසිගණන්වල පසුවන තරුණ ගෑනු ළමයෙක් අවුරුදු හැට පැනපු වැඩිහිටි පුද්ගලයෙක් සමඟ පවත්වන ප්‍රේම සම්බන්ධයක් ගැනයි චිත්‍රපටය පුරාම කතා කරන්නේ. ඒ ප්‍රධාන චරිතයන් දෙක සඳහා රංගනයෙන් දායකවෙන්නේ ප්‍රවීණ නළු ක්ලීටස් මෙන්ඩිස් මහතා සමඟ නවක නිළියක වන දිල්රුෆා ශානාස්. ඒ අතරින් දිල්රුෆාට ‘69’ චිත්‍රපටය විශේෂයි. ඒ එය ඇය ප්‍රධාන චරිතයක් කරන පළමු අවස්ථාව වීම. ඉතින් ඒ නිසාම අපිට හිතුණා මෙවර ‘ධරණී’ කවරය හැඩකාර දිල්රුෆා ශානාස්ගේ රුවෙන් සරසන්න වගේම ඇය එක්ක සොඳුරු කතාබහක යෙදෙන්න.
“පුංචි කාලේ මම ලියන්න ආසයි. ඒ කාලේ කවුරු ඇහුවත් මම කිව්වේ පොත් ලියන ලේඛිකාවක් වෙනවා කියලා. හැබැයි කාලයත් එක්ක මගේ ඒ ආසාව නිරූපණය පැත්තට හැරුනා. ඒත් එක්ක මං දෙරණ මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකට සහභාහි වුණා. ඊටපස්සේ මිස් යුනිවර්ස් වගේ තව පැජන්ට් කීපයකට සහභාගි වුණා. සමහර ඒවාගෙන් මට විවිධ ජයග්‍රහණත් ලැබුණා. ඒ විදියට නිරූපණ ක්ෂේත්‍රය පැත්තෙන් වැඩ කරගෙන ඉන්නකොට තමයි රඟපාන්න අවස්ථාවක් ලැබුණේ. එතැනින් පස්සේ දිගටම වගේ රඟපාන්න ආරාධනා ආවා.”
එදා එහෙම දිල්රුෆාට මුලින්ම රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙන්නෙත් සුළුපටු සිනමා නිර්මාණයක නෙවෙයිලු. එදා ඇයට රඟපාන්න ලැබුණේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන උදයකාන්ත වර්ණසූරියගේ ‘ගිනි මල් පොකුරු’ කියන චිත්‍රපටයෙලු.
“ගිනි මල් පොකුරු චිත්‍රපටය කියන්නේ පළවැනි නිර්මාණය වුණත් මට එහි උපප්‍රධාන චරිතයක් ලැබුණා. ඒ ප්‍රධාන නිළිය විදියට රඟපෑ චුලක්ෂි රණතුංගගේ නංගි විදියට. එහිදී මට එක්තරා මානසික රෝගයකින් පෙළුණු තරුණියක් විදියට තමයි රඟපාන්න තිබුණේ. චරිතයට ඉතාම හොඳ ප්‍රතිචාරත් ලැබුණා. චිත්‍රපටය නරඹපු හුඟාක් අය කිව්වා දිල්රුෆා ඔයාට නිළියක් විදියට ගොඩාක් දුර ගමනක් යන්න පුළුවන් කියලා. ඒ වචන මගේ ගමනට ලොකු උත්තේජනයක් වුණා.”
‘ගිනිමල් පොකුරු’ චිත්‍රපටයෙන් අනතුරුව දිල්රුෆාව දකින්න ලැබෙන අලුත්ම චිත්‍රපටය තමයි මේ දිනවල දිවයින පුරා සිනමාශාලාවල තිරගත වන වින්ද්‍යා හාරිස්පත්තුව අධ්‍යක්ෂණය කරපු, යූ.ඒ. පල්ලියගුරු නිෂ්පාදනය කරපු ‘69’ (Sixty Nine) චිත්‍රපටය. එහි දිල්රුෆා රංගනයෙන් දාකයවෙන්නේ සොනාලි කියන ප්‍රධාන නිළියගේ චරිතයට.
“මං රඟපෑ දෙවැනි චිත්‍රපටයෙන්ම මට ප්‍රධාන නිළියගේ චරිතය කරන්න ලැබීම ගැන සතුටක් තියෙනවා. ඒක ලොකු අත්දැකීමක්. ඒ එක්කම මගේ චරිතය ගැන කිව්වොත් චිත්‍රපටයේ මම ආදරේ කරන්නේ වයස අවුරුදු හැට ගණනක් වෙන පුද්ගලයෙකුට. ඔහු තමන්ගේ කැමැත්තට අනුව ජීවත්වෙන සහ ජීවිතය විඳින පුද්ගලයෙක්. ඒ චරිතය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් මහත්තයා. ඔහු එක්ක මං වගේ නවකයෙක්‍ට රඟපාන්න ලැබීමත් එක පැත්තකින් වාසනාවක්. ප්‍රවීණයෙක් විදියට මට ඔහුගෙන් ඉගෙනගන්න බොහෝ දේවල් තිබුණා.”
ප්‍රේමය කියන මාතෘකාවට වයසක් අදාළ නොවුණට මොකද අපේ සමාජය ඇතුළේ වයස කතන්දරයක් තියෙනවා. ඒ නිසාම චිත්‍රපටයෙන් සමාජයට දෙන්නේ වැරදි ආදර්ශයක්ද කියලත් ඒක නරඹන කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ ගැන දිල්රුෆාගෙන් ඇහුවම ඇගේ පිළිතුර වුණේ මෙහෙම දෙයක්.
“චිත්‍රපටයේ නමත් එක්ක ඕනෑම පුද්ගලයෙක්ට එකපාරටම ඔලුවට එන්නේ වෙන අදහසක්. ඒත් චිත්‍රපටයේ තියෙන කතාව ඒකට හාත්පසින්ම වෙනස්. සතුට කියන එක අහිමිවීම සහ තනිවීම කියන කාරණාවන් එක්ක වැඩිහිටි පුද්ගලයාට ගෙවන්න වන අඳුරු පැතිකඩක් ගැන චිත්‍රපටයේ කතා කරන්නේ. හැබැයි ප්‍රේක්ෂකයාගේ තියෙන බුද්ධි මට්ටම් එකිනෙකට වෙනස් නිසා අර ඔබ කියපු විදියේ දෙයකුත් ප්‍රේක්ෂකයෙක්ට හිතෙන්න පුළුවන්.”
ඒ නමුත් 69 චිත්‍රපටයේ යටිපෙළ සමාජයට වැදගත් පණිවිඩයක් දෙන බවත් දිල්රුෆා අපිත් එක්ක කිව්වා.
“තරුණ දෙන්නෙක් විවාහවෙනවා. මුල් කාලෙදි ආදරෙන් හිටියත් වයස අවුරුදු පනහ පැනපු ගමන් ප්‍රේමය කියන මාතෘකාව ඒ දෙන්නටම අමතක වෙලා යනවා. ඊටපස්සේ තරුණ කාලේ වගේ ළංවෙලා ආදරෙන් කතා කරන්න, ආදරේ බෙදාගන්න, ලිංගික ජීවිතය කියන ඒ හැමදේම අමතකයි. හැබැයි 69 නැරඹුවොත් තේරෙයි වයස කියන්නේ විවාහවුණු දෙන්නෙක්ට පවා ආදරෙන් ඉන්න වගේම ලිංගික ජීවිතේට කිසිම බාධාවක් නෙවෙයි කියලා.”
‘69’ චිත්‍රපටයෙන් පසුව දිල්රුෆා රඟපාන තවත් අලුත්ම චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. ඒ උදාර පල්ලියගුරු විසින් අධ්‍යක්ෂණය කළ ‘Gigolo’ චිත්‍රපටය. එයත් මේ වසරෙදි තිරගත වන බවකුයි දිල්රුෆා කිව්වේ.
“රංගනයට ඇවිත් කෙටි කාලයක් තුළ චිත්‍රපට කීපයකම රඟපාන්න ලැබීම වාසනාවක්. ලැබුණු චරිතවලට මගේ උපරිමය කරපු නිසා වෙන්න ඇති නිළියක් විදියට කෙටි කාලයකින් මට මේ වගේ තැනකට එන්න ලැබුණේ. ඉදිරියටත් වැඩි කාලයක් චිත්‍රපට වෙනුවෙන් වෙන්කරන්න මං බලාපොරොත්තු වෙනවා. ඒ ටෙලිනාට්‍යවලට කැමති නැතුව නෙවෙයි. ඒත් ටෙලිනාට්‍යවලට ලොකු කාලයක් වෙන්කරන්න ඕන. මං ව්‍යාපාර කීපයකුත් කරන ගමන් කලාවේ නියැලෙන නිසා කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවා.”

*වෙන රටවලට සාපේක්ෂව මෙරටේ නිළියකට තියන තැන ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?
“චිත්‍රපට කර්මාන්තයෙන් අතිසාර්ථක ඉන්දියාව වගේ රටවල් එක්ක ගත්තම අපේ රට කියන්නේ පොඩි රටක්. ජනගහණයත් කුඩයි. ඒ නිසා වෙන රටවල් එක්ක සංසන්දනය කරන්න බෑ. හැබැයි අපේ රටෙත් නළුවෙකුට නිළියකට යම් තැනක්, හොඳ පිළිගැනීමක් තියෙනවා.”

*ඔබ දැන් ජනප්‍රිය නිළියක්. ජනප්‍රියත්වය කියන දේ ඔබට දැනෙන්නේ කොයි විදියටද?
“ජනප්‍රියත්වය කියන්නේ තාවකාලික දෙයක්. අද තිබිලා හෙට නැතිවෙන්න පුළුවන්. ඒ නිසා මම ජනප්‍රියත්වය කියන දේ හඹායන කෙනෙක් නම් නෙවෙයි. මට ඕන ප්‍රේක්ෂකයාට මතක හිටින දෙයක් දෙමින් ඔවුන් තෘප්තිමත් කරලා මමත් ඒ හරහා තෘප්තිමත් වෙන්න.”
දිල්රුෆා නිළියක් වෙන්න කලින් නිරූපණ ශිල්පිනියක් විදියට කටයුතු කළත් රංගනයට පැමිණීමත් එක්ක ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළ එතරම් දකින්න ලැබුණේ නෑ. ඒ ගැනත් නිකමට වගේ අපි අහලා බැලුවා.
“නිරූපණයෙන් සමුඅරගන නෑ. ඒකටත් කාලය හොයාගන්න බැරිවෙලා තියෙන්නේ.”
නිරූපණ ක්ෂේත්‍රයට එන්න කලින් දිල්රුෆා රැකියා කිහිපයක්ම කළ බවත් අපිට දැනගන්න ලැබුණේ කතාබහ අතරතුරේ.
“මං අවුරුදු දෙකක් මෙරට පෞද්ගලික පාසලක ගුරුවරියක් විදියට සේවය කළා. ඊටපස්සේ මම අධිකරණ ක්ෂේත්‍රයෙත් රැකියාවක් කළා. රැකියා දෙකටම සමුදීලා තමයි මං නිරූපණ ක්ෂේත්‍රයට ආවේ. ඒ ගැන පසුතැවීමක් නෑ. එදා මම එහෙම තීරණයක් ගත්තු නිසා තමයි අද නිළියක් විදියට මේ වගේ තැනක ඉන්නේ.”
දිල්රුෆාට නිළියක් විදියට ඉදිරියට එන්න ඇගේ පෙනුමත් ආශිර්වාදයක් වුණු බව දිල්රුෆා දකින කාට වුණත් හිතෙන දෙයක්. මොකද ඇය ඇත්තටම සුන්දර යුවතියක්. ඉතින් ඇය ඉදිරිපිට තියාගෙන ආදරයක් ගැන නොඅසා කොහොමද?
“ඇත්තටම ආදරේ කියන්නේ මිනිස්සු විදියට අපි හැමෝටම නැතුවම බැරි දෙයක්. හැබැයි ඉතින් ආදරේ සුන්දරද නැද්ද තීරණය වෙන්නේ අපේම තෝරාගැනීම් එක්ක. අපි ඒ තෝරාගැනීම් නිවැරදි විදියට කළොත් ආදරේ ඇත්තටම හරි සුන්දරයි.”

*මේ වෙද්දි දිල්රුෆාගේ ජීවිතේ ආදරේ සුන්දරද?
“(සිනාසෙමින්) ඒක ගැන ඉස්සරහට කියන්නම්.”
දිල්රුෆා ඉපදිලා තියෙන්නේ කොළඹ. ඒත් හැදිලා වැඩුනේ කෑගල්ලෙලු. අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි ඉන්න පවුලේ වැඩිමල් දැරිවි වුණේ දිල්රුෆා ලු. එහෙම කියපු ඇය කතාබහට සමුදුන්නේ නිරූපණ ශිල්පිනියක් විදියට වගේම රංගන ශිල්පිනියක් විදියට ඇයට ආදරේ කරන ආදරණීය ප්‍රේක්ෂකයින්වත් ආදරෙන් මේ විදියට මතක් කරමින්.
“ප්‍රේක්ෂකයෝ තමයි අපේ ශක්තිය. කලාව තුළ නියැලෙන හැමෝගේම ශක්තිය ඔවුන්. බිංදුවේ ඉඳන් කලාවේ නියැලෙන අපිට ඉහළට යන්න අපේ දක්ෂතාවයට අමතරව ඔවුන්ගෙන් ලැබෙන ආදරයත් බලපානවා. ඒ නිසා මේ වෙලාවේ ප්‍රේක්ෂකයින්ව ගොඩාක් ආදරෙන් මතක් කරනවා.”

රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූපය – චමත් ඒකනායක
හැඩගැන්වීම – Sandamali Neil Ariyarathna