අයාලේ ගිය පූස් කෙල්ලෙක් අල්ලා අහසට යවලා…!
‘ෆෙලිසෙට්’ (Felicette) යනු දැනට වසර 60කට පමණ පෙර ප්‍රංශයේ ජීවත් වූ වීදි බැළලියකි. වීදී බැළලියක වුවද, මේ වනවිට ජීවතුන් අතර නැතිවුවද ප්‍රංශය තුළ ෆෙලිසෙට් ගැන අදටත් කතා කරයි. එපමණක් නොව ඇය වෙනුවෙන් නිර්මාණය කළ ගීත, කාටූන්, ප්‍රතිමාවන් මෙන්ම මුද්දර පවා එරටේ තිබේ. එසේම ප්‍රංශයේ Toulouse III නම් විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය නම් කර තිබෙන්නේ ද ෆෙලිසෙට්ගේ නමිනි. තවද ප්‍රංශයේ International Space University හි ඇගේ තඹ රන් ප්‍රතිමාවකි. විදී බැළලියක වූ ෆෙලිසෙට් ස්මරණය වෙනුවෙන් ප්‍රංශ ජාතිකයින් ඒ තරමටම උනන්දු වෙන්නේ ඇයි? එතරම් ගෞරව බුහුමන් කරන්නේ ඇයි? මේ ඒ පිළිබඳ කතාවයි.
මිනිස්සු අභ්‍යවකාශය වෙත යන්න කලින් ඒ ගමනට යොදාගත්තේ අහිංසක සත්තු. ඔවුන් පලතුරු මැස්සන්ගේ ඉඳන් බල්ලෝ, පූසෝ, වදුරෝ වෙනකල්ම විවිධ සත්තු අභ්‍යවකාශයට යැව්වා. ඒ ගමනට මුලින්ම පූසෙක්ව යොදාගත්තයි කියලා සඳහන් වෙන්නේ 1963 වසරේ ප්‍රංශය. ඒ පූසාගේ නම ෆෙලිසෙට්. ගැහැනු සතෙක්.
ෆෙලිසෙට් කියන්නේ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා උඩුගුවනට යැවුනු පළමු සතුන් කීපදෙනාගේ අතර හිටපු කෙනෙක්. ඒ වගේමයි අභ්‍යවකාශයට ගිය පළවැනි පූසා. එවකට අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා යොදාගත් සතුන් 90%ක්ම ඒ මෙහෙයුම් අතර මියගියත් මේ කියන පූසා අදාළ මෙහෙයුමට සහභාගි වෙලා යළි නිරුපද්‍රිතව මහපොළොවට එන්න තරම් වාසනාවන්තයෙක් වුණා. ඒ අවස්ථාව ප්‍රංශය ලබපු සෑහෙන ලොකු ජයග්‍රහණයක් විදියටයි ඔවුන් එවකට සැළකුවේ.
ෆෙලිසෙට්ව අභ්‍යවකාශයට යවපු කතාව තරමක සංවේදී එකක්. ඒ 1963 අවුරුද්ද. ඒ වෙනකොට ෆෙලිසෙට් කියන කළු සුදු කවලම් වුණු පූස් තඩියා ඉඳලා තියෙන්නේ ප්‍රංශයේ පැරිස් නගරයේ වීදි බැළලියක් විදියට. ශරීරයෙන් තරමක් කෙට්ටු වුණත් සෑහෙන හැඩයිලු. ඒත් වස කම්මැලියිලු. මේ කියන 60 දශකය කියන්නේ ලෝකයේ රටවල් කීපයක්ම අභ්‍යවකාශ මෙහෙයුම්වලට උනන්දු වූ කාලයක්. ඒ වෙනකොට ඔවුන්ට තිබුණු ලොකුම ගැටලුව වුණේ අභ්‍යවකාශයේ ගුරුත්වාකර්ෂණය නොමැතිකම මිනිස් ගගනගාමීන්ට බලපාන්නේ කොහොමද කියලා හොයාගන්න එක. ඉතින් ඔවුන් ඒ වැඩේට බිලි දුන්නේ අහිංසක සත්තු. ප්‍රංශ අභ්‍යවකාශ වැඩසටහන යටතේ යැවුනු සතුන්ගේ අතරට ෆෙලිසෙට් කියන් පූස් කෙල්ලටත් එකතුවෙන්න සිදුවුණේ එහි ප්‍රතිඵලයක් විදියට.
පැරිස් නගරයෙන් අල්ලගත්ත මේ කියන ෆෙලිසෙට්ට අමතරව ඒ ගමනට යොදාගන්න බලාගෙන පූසන් 14ක්ම ඒ විදියට වීදිවලින් අල්ලගත්තලු. ඉන්පසු අදාළ අභ්‍යවකාශ මෙහෙයුම වෙනුවෙන් ඔවුන්ව එකදිගට පුහුණු කරවලා. ප්‍රංශ CERMA පර්යේෂණ ආයතනයයි ඔවුන්ට ඒ පුහුණුව ලබාදීලා තියෙන්නේ. ඒ පූසන් 14 අතරින් අදාළ අභ්‍යවකාශ මෙහෙයුම සඳහා තේරිලා තියෙන්නේ ෆෙලිසෙට්. ඒ අනෙක් සතුන් 13ට සාපේක්ෂව ඇයගේ සන්සුන්බවත්, කිලෝග්‍රෑම් 2.5ක් වූ අඩු ශරීර බරත් නිසා. පුහුණුවේදි ෆෙලිසෙට් හැඳින්වුවා කියන්නේ ‘C 341’ නමින්ලු.
ඒ 1963 ඔක්තෝබර් 18 වැනිදා. එදා තමයි ‘C 341’ නමින් හැඳින්වූ ෆෙලිසෙට්, ලෝකේ අභ්‍යවකාශයට ගිය පළමු පූසා විදියට වාර්තාවක් තබමින් අභ්‍යවකාශ ගතවුණේ. ඒ ප්‍රංශයේ ‘Veronique AGI 47’ කියන රොකට්ටුවෙන්. එහිදී පියාසැරිය පුරාවටම ෆෙලිසෙට්ගේ සිරුරේ ස්නායු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා හිස්කබල මත ඉලෙක්ට්‍රෝඩ තැන්පත් කරලා තිබුණලු. ඒ වගේම ප්‍රතිචාරයන් උත්තේජනය කිරීම සඳහා මොළයටත් පාදවලටත් විද්‍යුත් ආවේග සම්බන්ධ කරලා තිබුණලු. ඒ කොහොම වෙතත් පියාසැරිය අවසානයේ නිරුපද්‍රිතව යළිත් මහපොළොවට එන්නට තරම් ෆෙලිසෙට් වාසනාවන්ත වෙලා.
එදා ප්‍රංශය මිනිස් ගගනගාමීන්ව අභ්‍යවකාශයට යැවීම සඳහා සිය පළමු පියවර තැබුවේ ෆෙලිසෙට් අභ්‍යවකාශ ගතවී එලෙසින් නිරූපද්‍රිතව නැවතත් පැමිණීමේ ප්‍රතිඵලයක් විදියට. ඒක නිසා ෆෙලිසෙට්ට ඒ ගරුත්වය හිමිවිය යුතු බවයි එම මෙහෙයුම සිදුකළ නිලධාරීන් ප්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් සංවේදී කාරණාව නම් ඉහත මෙහෙයුමෙන් පසු ෆෙලිසෙට් තුන් මසක වැඩිදුර අධ්‍යයනය සඳහා ප්‍රංශ අභ්‍යවකාශ වැඩසටහන් රසායනාගාරය වෙත ගෙන ගොස් එහිදී ඇගේ මොළය පරීක්ෂා කිරීම වෙනුවෙන් මරා දැමීම. හැබැයි මේ ලියන මොහොත වෙනකොටත් ලෝකයේ අභ්‍යවකාශයට ගිය පළමු පූසා වෙන්නේ ෆෙලිසෙට්. ඒක නිසයි ප්‍රංශ ජනතාවට අදටත් මේ කියන පූස් කෙල්ල ජාතික වීරවරියක් වෙන්නේ.
ඩී.පී.වේවැල්පනාව