පුරා තන තිසරු දෙහි ලෙලි විතර ඇතී !
සමහර උදවිය කජු ලෙල්ල තරමටම දෙහි ලෙල්ලටත් නිග්‍රහ කරනවා හිතවතුනි!
මේකත් එහෙව් කතාවක්.
ඔන්න කාලාන්තරයකට ඉහතදී මහනුවර රජකම් කරපු එක්තරා රජෙක් හිටියලු. ගමනක් බිමනක්
යනකොට රූමත් ළඳක් එහෙම දැක්කොත් අන්තඃපුරයට ඇතුළු කරගන්න එක මුන්දගේ පුරුද්දක්. ඔන්න ඉතිං
දවසක්දා ඔය රජ්ජුරුවෝ වැඩ රාජකාරියකට බැහැරක් ගියා. ඒ අතරතුරේ එක්තරා වලව්වක් කිට්ටුව
හිටපු හැඩකාර යුවතියක් දැක්කා. ඊටපස්සේ තකහනියක්ම වලව්වේ නිලමෙතුමා හම්බුවෙලා ඇගේ වංහුං
ඇහුවා. ඉතින් මේ රජ්ජුරුවෝ විමසන යුවතිය තමන්ගේ වලව්වේ සේවිකාවක් බව දැනගත්ත නිලමේතුමා
අවසානයේ රජ්ජුරුවොන්ට උත්තර බඳින්න තීරණය කළා කියන්නේ කවියකින්.
‘පුරා තන තිසරු දෙහි ලෙලි විතර ඇති
නුරා කරන වයසත් පැමිණුනේ නැති
පුරා වයස දහතුනකට විතර ඇති
කොරහ වහල්කඩ බැදී කොඩිය යහපති’
නිලමේගේ ඔය කවිය අහපු ගමන් රජ්ජුරුවන්ට නම් පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති.
හැබැයි ඒක නෙවෙයි කතාව! බලන්නකෝ නිලමේ මේ කවියේ සේවිකාවගේ නොවැඩුණු පියයුරු සමාන
කරලා තියෙන්නේ දෙහි ලෙලිවලට නොවැ. දෙහි ලෙල්ල කියන්නේ ඒ තරම්වත් වැදගැම්මකට නැති දෙයක්
කියලා සමහරවිට නිලමෙට හිතෙන්න ඇති.
හැබැයි ඉතින් නිලමේ එහෙම හිතුවට ආයුර්වේදයට අනුව නම් දෙහි ලෙල්ල කියන්නේ ගුණ සමුදායකින්
සමන්විත බොහොම වැදගත් රූපලාවණ්‍ය අමුද්‍රව්‍යයක්.
මොකද ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වෙන විටමින් C දෙහි ලෙලිවල බහුලව අන්තර්ගතවෙලා තියෙනවා.
ඒ නිසා දෙහි ලෙලි යොදාගෙන සමේ නිරෝගී බව රැකගන්න, කොලැජන් නිපදවීම උත්තේජනය කරන්න,
මැරුණු සෛල ඉවත් කරන්න විතරක් නෙවෙයි සම පැහැපත් කරගන්නත් පුළුවන්. ඒ වගේම දෙහි ලෙලිවල
අඩංගු ප්රතිබැක්ටීරියාකාරක හා කහට ගතිය මගින් සමේ කුරුලෑ වගේම අඳුරු ලප කැළැල් ඇතිවීමත්
වළක්වාලනවා. ඉතින් ඒ නිසා දෙහි ලෙල්ල ෆේස් පැක් එකක් මාස්ක් එකක් සහ ස්ක්‍රබ් එකක් විදියටත්
යොදාගන්න පුළුවන්.
දෙහි ලෙලි කිහිපයක් ගෙන උණුවතුරේ තම්බාගන්න. එය මදක් උණුසුම් මට්ටමට සිසිල් වුණ පසු හොඳින්
මිරිකා මුහුණේ ආලේප කර විනාඩි පහළොවකින් විතර සෝදාහරින්න.
වේලා කුඩු කරගත් දෙහි ලෙලිවලට මී පැණි ස්වල්පයක් එක්කර සමේ ආලේප කර විනාඩි 10කට පස්සේ මද
උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරගන්න.
සිසිල් ජලයේ බහා තබාගත් දෙහි ලෙලි කිහිපය මිරිකාගෙන ඒවා පුළුන් කැබැල්ලකින් මුහුණේ අඳුරු ලප
කැළැල් වගේම කුරුලෑ තිබෙන ස්ථානවල ආලේප කරලා විනාඩි 10කින් සෝදා ඉවත් කරගන්න ඕනෑ.
තෙල් සහිත සමකට නම් දෙහි ලෙලිවලින් සකසා ගත් පවුඩර් එකට මුල්තානාමිට්ටි වගේම රෝස වතුර
එක්කරලා හොඳින් මිශ්‍රකර සමේ ආලේප කරගන්න. විනාඩි 10කට පස්සේ එය සෝදාහරින්න.
දෙහි ලෙලි පවුඩර් එකට ගස්ලබු යුෂ දමා මුහුණේ ආලේප කර විනාඩි 10කින් සෝදාගන්න
යෝගට් ස්වල්පයක් එක්කරගත් දෙහි ලෙලි පවුඩර් එක හොදින් මිශ්‍රකර මුහුණේ ආලේපකර ගැනීමෙන්
සමේ මැරුණු සෛල ඉවත්කර පැහැපත්බව ළඟා කරගත හැකියි.
හැබැයි ඉතිං ඉහතින් කියාපු සත්කාර සිදු කරන්න කලින් දෙපාරක් හිතන්න ඕන පිරිසකුත් සිටිනවා. ඒ
උදවිය තමයි නිතර දෙවේලේ අසාත්මිකතාවලට ගොදුරු වෙන අය වගේම ගර්භිණී මව්වරුන්. එවැනි
උදවිය ඉහත සත්කාර අත්හදාබලන්න පෙර වෛද්‍ය උපදෙස් ලබාගත යුතුමයි.
උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි
ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී (ගෞරව)
ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල
නෙත්මි තෂාරා