නවතම ප්‍රවෘත්ති

කාමය වෙනුවෙන් නොව ප්‍රේමය වෙනුවෙන් යුද්ධ කරන්නට ඔබේ දියණියට කියාදෙන්න

ගිය සතියේ ලියපු මුල්ම ලිපියේ මම කිව්වා නේද මට ඉන්නේ රාධාවක් වගේ
දුවෙක් කියලා.. බොහෝදෙනෙකු කියවන මේ වගේ ප්‍රසිද්ධ මුද්‍රිත මාධ්‍යයක
එහෙම ලියන්න මට හේතු තියෙනවා. මම හිතන්නේ දුවෙක් ඉන්න හැම අම්මා
කෙනෙකුටම අනන්‍ය වුණු එහෙම හේතු ඇති. ඉතින් මගේ ඒ හේතු ටික කියලම
මම අද ලිපියට අවතීර්ණ වෙන්නම්.
මගේ දුව, සුදු මැණිකේ හරිම අපූරු දරුවෙක්. පුංචි කාලෙ ඉඳලා එයා
හැමදෙයකටම දක්ෂයි. එයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. අත්කම් වැඩ
කරන්න පුළුවන්. හරිම රහට ඕනෙම කෑමක් හදන්න පුළුවන්. පවුලේ සාදවල
හැම කෑමක්ම හැදුණේ එයාගෙ අත් දෙකෙන්. එතකොට පිරිසිදු කිරීම්… ඔව්! එයා
ගේ ඇතුළ විතරක් නෙවෙයි ගේ වටේ තියෙන කාණුවක් වුණත් අපිරිසිදු නම් ඒවා
සුද්ද පවිත්‍ර කළා. ලස්සනට නියපොතු හදලා, පාට කරලා ඉන්න ගමන්ම එයා
ගෙදරක කෙරෙන්න තියන හැමවැඩක්ම හොයලා බලලා කළා.
ගොඩක් අම්මලා කරන දෙයක් තමයි පුංචි කාලෙ දුවලා කුස්සියට එනකොට
අනිත් පැත්තට හරවලා යවන එක. හැබැයි මම කුස්සියේ උයන පිහින වෙලාවට
නිතරම වගේ ඇයව ළඟින් තියාගත්තා. සින්ක් එක පිහින්න, පැන්ට්‍රි කබඩ්
පිහින්න වෙන වෙනම රෙදි පිස්නා තිබෙන බව, ගේ අතුගාන කොස්ස සහ
කුස්සිය අතුගාන කොස්ස වෙනස් බව, ඒවා තබන තැන පිළිවෙල පවා
එකිනෙකට වෙනස් බව මම ඇයට කියලා දුන්නා. ඒ වගේම තුනපහවල
වෙනස්කම්, ඒවා බදින, වේලන, අඹරන විදිය, බෝතල්වලට දාන වෙලාව… මේ

සේරම මම ඇයට ටික ටික කියලා දුන්නා. ඒ නිසා අද ඇය විදේශ රටක හිටියත්
ඒ හැමදෙයක්ම පිළිවෙලට තනියම කරගන්නවා.
ඒ වගේම සමහර දවස්වලට හිතුමතේ හිතෙන වෙලාවට නිදාගත්තා. උදේට
පරක්කු වෙලා අවදිවුණා. තේ එක නිවෙනකම් ඔහේ පුටුවට වෙලා හිටියා.
එක්කෝ කිටියා එක්ක සෙල්ලම් කරා. ‘ඒක කන්නේ නෑ මේක කන්නේ නෑ’ කියලා
ඕඩර් කරගෙනත් කෑවා. එතකොට සුදු මැණිකෙගේ තාත්තා කීවේ “ගෑනු
ළමයෙක් සතුටින්ම ඉන්නේ, නිදහසින්ම ඉන්නේ, ටිකක් වැඩිපුර නිදාගන්නේ ගෙදර
ඉන්න කාලෙට… එයාට නිදහසේ ඉන්න දෙන්න මැණිකේ” කියලා.
ඉස්සර පෝය දවසේ රෑට මමයි අපේ සුදු මැණිකෙයි ගෙදර ඉස්සරහා මහදොර
ළඟට වෙලා ගොඩක් දේවල් කතා කරනවා. එයා එතැනට එන්නේ මමයි සුදු
මැණිකෙගෙ තාත්තයි මහදොර ළඟ උලුවස්ස යට වාඩිවෙලා කතා කර
ඉන්නකොට. ඉස්සර ලයිට් ගියාම අපි ගොඩක් වෙලාවට ලයිට් එනකම්ම හිටියෙ
එළියේ… එමී (බව්වා) කිමී (පූවා) මම, පුතා ගෙදර හිටියොත් එයයි, සුදු
මැණිකෙයි, තාත්තයි අපි සේරම… එහෙම කළුවරේ ඉන්න අනිත් දවස්වලට වඩා
පෝය දවසෙ රෑ ලස්සනයි. මම ජීවත්වෙන නුවර අහසේ හඳ පායනවා මුළු වත්ත
පුරාම සඳරැස් වැටෙන්න…
අපි ඉතින් ඒ වෙලාවට අපි රටේම තියෙන කතා කිය කියා හිනාවෙනවා. මම
ඉරට හඳට තරුවලට දේවකතාවලට හරි කැමතියි. මම එයාලට ඒවා ගැන කතා
කියනවා. ශිව ක්‍රිෂ්ණා රාධා ගැන කතා කියනවා.
හැබැයි දැන් හඳ පෑයුවට, පෝය ආවට සුදු මැණිකෙ ගෙදර නෑ.. ලංකාවෙත් නෑ.
මහදොර ළඟ උලුවස්ස යට මම විතරයි… ඉතින් මම සමහරදාට ඇමතුමක්
අරගෙන කියනවා “පුතේ හෙට පෝය… හොඳට හඳ පායලා…” කියලා. එතකොට
එයා කියනවා “මටත් ඔය හඳම තව පැය ගාණකින් පේනවා… මොනවා හරි
කියන්න හඳට. එයා මට ඇවිත් කියයි” කියලා.
මට විතරක් නෙවෙයි, අපි හැමෝටම දවසක් එනවා ඒ විදියට දරුවන්ගෙන් දුරස්
වෙන්න… ඒ දුරස්වීම කෙටිකාලීන වෙන්නත් පුළුවන් ඒ වගේම දිගුකාලීන
වෙන්නත් පුළුවන්. ඒ නිසා දරුවො ළඟ ඉන්න වෙලාවට එයාලව ළඟට අරගෙන
ඉර හඳ තරු එක්ක පවා ජීවත්වෙන්න. සොබාදහමට නතු කරන්න. මානසික
සුවය හුරු කරන්න. හොඳ මතක එකතු කරන්න. දුක වුණත් සතුටින් සමරන්න
හුරු කරන්න. අද පායන හඳ අද පායන ඉර ආයෙත් කවදාවත්ම පායන්නෙ නෑ.
ආයෙම පායන්නෙ අලුත් ඉරක් අලුත් හඳක්… සුන්දර විදියට හිතන්න පුරුදු

වුණොත්, සරලව ජීවත්වෙන්න පටන්ගත්තොත් මේ ලෝකෙ හරිම සුන්දරයි.
ඇත්තටම සොබාදහමට එකඟ ජීවිත කාටවත් බරක් නෑ.
දුවෙක් ඉන්න හැම අම්මා කෙනෙක්ම ඒ දුව හැඩට හැදුවට විතරක් මදි… එයාව
ශක්තිමත් කරන්නත් ඕනෑ.
ඒ විතරක් නෙවෙයි, පුංචි සන්ධියේ පටන්ම ඇයට කරුණාවන්ත වෙන්න
උගන්වන්න. හොඳින් ඉවසන්නටත්, ඒ ඉවසීමේ සීමාව තෙරුම්ගන්නටත්, තියුණු
කඩු හරඹයකදී වගේ ක්ෂණික ඒත් ශක්තිමත් තීරණ ගන්නටත් ඇයව හුරු
කරවන්න.
අවංකකම ආභරණයක් ලෙසත් වචන මනා සංයමයකින් භාවිතා කරන්නට
අවශ්‍ය බවත් උගන්වන්න…
ළදැරියක, තරුණියක, බිරිඳක, මවක, මිත්තණියක පුරා විහිදුන ගැහැනු චරිතයට
භක්තිමත්වන්නට කරුණු පිහිටවා සිටින්න…
රාධාවක් මෙන් දිලෙන්නටත්, බිය නොවන්නටත්, දක්ෂ වන්නටත්, සොබාදහමට
නතුවෙන්නටත් හුරු කරන්න. යශෝධරාවක මෙන් එක්සිත් වන්නටත්, කාමයට
නොව ප්‍රේමයට යුද්ධ කරන්නටත් ප්‍රඥාව වඩවන්න. ඉවුම් පිහුම්, මැහුම්
ගෙතුම්වල සිට සියලු විෂයන්හි ප්‍රායෝගික කරුණු වැඩිදියුණු කරවන්න.
භාෂාවෙහි අතිදක්ෂයෙකු කරන්න…
කඳුළු නම් සැඟවිය යුතු දේ බවත්, කාන්තිය ප්‍රභාශ්වරය නිතර රඳවාගත යුතු
බවත්, වැදූ මවත් පියාත් අවසන් හුස්ම හෙලනතුරු දුවක පසුපසින් සිටිනා බවත්
දැනෙන්නට හරින්න…
තම විවාහයේදි ස්වාමියාට ගරුකළ යුතු බවත්, ඇහුම්කන් දිය යුතු බවත්,
මෙහෙසියක නොවී දෙදෙනා සමව ජීවිතය සතුටින් ගෙවිය යුතු බවත් හිස අතගා
තේරුම් කරන්න…
තීරණ ගැනීමේදි අන් බසට කන් දෙනවාට වඩා මුල මැද අග හොඳින් පිරික්සා
හදවතට අවංකව තීරණ ගත යුතු බවත්, තම සැමියා රජෙක් වුවද ගැහැනුන්ට
ආදායම් මාර්ගයක් තිබිය යුතු බවත් කියා දෙන්න…
කවුරුන් කෙසේ හැර ගියද ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටීමට දියණිවරුන්ට
උගන්වන්න…

දූවරුන් සිටින දයාබර මව්වරුනි… ඇකයෙන් මඳක් දුරස් කර ඇයව අද සිටම
ශක්තිමත්ව ප්‍රතිනිර්මාණය කරන්න. මන්ද…හෙට දවස කවරාකාර එකක් වේවිද
කියා අද අනුමාන කළ නොහැකිය.
ජනාලි මදුරසිංහ