නවතම ප්‍රවෘත්ති

බලු පුතා බලන්නට කිලෝමීටර් 240ක් දුර ගෙවා මහියංගනේට ගිය බලු අම්මා

අම්මෙක් තමන්ගේ ලෙයින් වදාපු දරුවෙකුට කොයිතරම් නම් ආදරෙයිද? ඒක මිනිස් අම්මලාට විතරක් නෙවෙයි සත්ව ලෝකේ සත්ව අම්මලාටත් පොදු කතාවක්. ඒකට හොඳම උදාහරණයක් දැනට මාස තුන හතරකට වගේ උඩදි තායිලන්තයේ සත්වෝද්‍යානයකින් වාර්තා වුණා. විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණු විදියට ඒ කතාව මෙහෙමයි.

මේ කියන සත්වෝද්‍යානයේ හිටපු කොටිදෙනක් පැටව් බිහිකරලා. ඒත් ඒ අම්මගේ අවාසනාවට ඔවුන් ඉපදෙද්දිම මියගිහින්ලු. ඒ දුකට කොටිදෙන නොකා නොබී බලාගත්තු අත බලාගෙන දුකෙන් කල්ගෙවලා. ඉතින් ඇය දුර්වලව රෝගී වෙලා. සත්වෝද්‍යානයේ නිලධාරින් කොයිතරම් උත්සාහ කළත් කොටිදෙනට කෑම කවාගන්නම බැරිවුණාලු. කොටිදෙනගේ ජීවිතේ අනතුරේ කියලා වටහගත්ත ඒ නිලධාරීන් අන්තිමේ මොකක්ද දන්නවද කරලා තියෙන්නේ? ඔවුන් එකතුවෙලා ඌරු පැටව් තුන්දෙනෙක්ව කොටි පැටව් වගේ වර්ණ ගන්වලා කොටිදෙන හිටපු කූඩුවට දාලා. ඉතින් මේ කොටිදෙන ඒ ඌරු පැටව් ටික කිරි පොවලා හදාවඩාගෙන.

දැනට අවුරුදු හය හතකට උඩදි අමෙරිකාවේ සත්වෝද්‍යානයකත් එවැනි සිදුවීමක් වාර්තා වුණා. ඒ සත්වෝද්‍යානයේ හිටපු කොටිදෙනක් පැටව් දෙදෙනෙක් බිහිකරලා. ටික දවසකින් එයින් එක පැටියෙක් සත්ව මාරුවක් යටතේ එරටේම වෙනත් සත්වෝද්‍යානයකට ලබාදීලා. කොටිදෙනට ඒක දරාගන්න බැරිවෙලා. එතැන් පටන් ඌ කෑමබීම ප්‍රතික්ෂේප කරලා. ඉතින් ඌ එන්න එන්නම දුර්වල වෙලා අසනීප වෙන්න අරන්. කොහොමහරි අන්තිමේ සත්වෝද්‍යාන නිලධාරීන්‍ට කොටිදෙනගේ පැටියාව ආයෙත් ගෙනැත් දෙන්න සිද්ධවෙලා.

සත්ව අම්මලගේ දරු සෙනෙහස ගැන කියැවෙන ඔය සංවේදී සිදුවීම් පෙළ මට මතක්වුණේ දැනට දවස් කීපයකට උඩදි අපේ රටෙත් එවැනි සිදුවීමක් ගැන අහන්න ලැබුණු නිසා. හැබැයි මේ කතාවේ නම් ඉන්නේ බලු අම්මෙක්. තම ලෙයින් වදාපු දරුවාව බලන්න මාලබේ ඉඳන් මහියංගනේට කිලෝමීටර් 240ක් ගියපු බලු අම්මෙක්. ඒ බලු අම්මා ගැනයි අපි මේ කියන්න යන්නේ.

මහපාරේ ජීවත්වෙන සත්තුන්ට කොහෙන්ද පිළිසරණක්? හැබැයි තියෙන වෙලාවට ඔවුන්ට කෑමවේලක් දීලා හිත යටින් සතුටුවෙන මිනිස්සු සමාජයේ ඕනතරම්. අන්න ඒ ජාතියේ කෙනෙක් තමයි මාධ්‍යවේදිනී නෙලුම් කළුබෝවිලත්. ඇය පුරුද්දක් විදියට මාලබේ න‍ගරය අවට ඉන්න අසරණ බල්ලන්ගේ පූසන්ගේ බඩගින්දර නිවපු කෙනෙක්. ඒ අතරේ තමයි ඇයට පැටවුන් දැමීමට ආසන්නව හිටපු දුඹුරුපාට ගැබ්බර බැල්ලක් මුණගැහිලා තියෙන්නේ. ඒ ලැසී.

ලැසී දැකපු හැටියෙම නෙලුම්ගේ හිත උණුවෙලා. ඒ සතෙක් වුණත් මේත් අම්මෙක්නේ කියන හැඟීමෙන්. ඒ නිසා ඇය කෑම බීම දීලා නිකන් නොඉඳ ලැසී වෙනුවෙන් ඒ මොහොතේම පෙනී ඉන්න තීරණය කරලා. ගැබිනි සමය කියන්නේ මිනිස් අම්මලාට විතරක් නෙවෙයි සත්ව අම්මලාටත් හරි පරිස්සම් වෙන්න ඕනෙ කාලයක්. ඒ නිසා නෙලුම් ලැසීව අව්වෙන් වැස්සෙන් බේරගන්න විදියක් කල්පනා කරලා. ඒ අතරෙයි ඇය ඒ පේනමානයේ ඉදිකරමින් තිබුණු ලොකු ගොඩනැගිල්ල දැකලා තියෙන්නේ. ඉතින් එදා ඉඳන් ලැසී අම්මගේ වාසභවන වෙලා තියෙන්නේ ඒ ගොඩනැගිල්ල. ඒ ගොඩනැගිල්ලේ වැඩ කරපු බාසුන්නැහේලත් ලැසී එක්ක හරි මිත්‍රයි ලු. ඒ සෙනෙහසත් එක්ක පසුගිය නොවැම්බරයේ තමයි මේ කියන ලැසී අම්මෙක් වෙලා තියෙන්නේ.

“ඒ ලැසීගේ පැටව් ටික ඇස් ඇරලා දවස් කීපයකින් නෙලුම් මහත්මිය මට කතා කළා. එයා කතා කරලා කිව්වා ලැසීගේ පැටව් ටික ආරක්ෂිත මදි අපි එයාලට ඉන්න ගෙවල් හොයලා දෙමු කියලා. ඒ හින්දා අපි එකතුවෙලා තුන්දෙනෙක්ටම ගෙවල් බැලුවා. පැටියෙක් ඉතුරුවුණා. ඒ පැටියා ලැසී එක්කම හිටියා. තනි පැටියා නිසා ලැසී පැටියට පණ ඇරලා. අපි එයාට ෂැඩෝ කියලා නමක් දැම්මා.”

‘ධරණී’ට ඒ කතාව කිව්වේ සත්ව සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන රුවන් ඩග්ලස් මහත්තයා. ඒ වෙනුවෙන් කටයුතු කරන ‘DORA ANIMAL RESCUE’ කියන ආයතනයත් ඔහුගේ.

“ෂැඩෝට තිබුණේ හුරතල් පෙනුමක්. ඒක හින්දා ඉදිකිරීම් ගොඩනැගිල්ලේ සේවය කරපු සේවක මහත්තයෙක් එයා ගෙදර අරගෙන ගිහින්. දැනට මාසෙකට වගේ කලින් අරන් ගිහින් තිබුණේ. හැබැයි ඒත් ළඟපාතට එහෙම නෙවෙයි මහියංගනේ කෙසෙල්පොතට. ඒ කියන්නේ මාලබේ ඉඳන් කිලෝමීටර් 240කට එහා දුරකට.”

හැබැයි තමන්ට ඉතිරි වුණු එකම පැටියත් අහිමි වුණු සොවින් ලැසී එන්න එන්නම දුර්වල වුණාලු.

“නෙලුම් මහත්මිය මට ඒ ගැන කිව්වම දුක හිතුණා. මොකද බල්ලෝ වගේ සත්තු ඒ තත්ත්වයට පත්වුණාම අසනීප වෙලා මියයනවා. පස්සේ මං ලැසී ඉන්න තැනට ගියා. යද්දි එයා කන්නේ බොන්නේ නැතුව ගොඩාක් දුර්වල වෙලා. එයාගේ වැඩේම කොතැනක හරි වැටිලා බලාගත්තු අතේ බලාගෙන ඉන්න එක. ලැසී ඒ තත්ත්වෙන් ගොඩගන්න අපි උත්සාහ ගත්තත් අපට ඒක කරගන්න බැරිවුණා. බැරිම තැන අපි තීරණය කළා ලැසී එයාගේ ෂැඩෝ ළඟට අරගෙන යන්න.”

ඒ අනුවයි දැනට දවස් කීපයකට කලියෙන් රුවන් ඩග්ලස් මහත්තයගේ මූලිකත්වයෙන් නෙලුම් කළුබෝවිල සහ සෙව්වන්දි පෙරේරා ඇතුළු කීපදෙනෙක් ලැසීව අරන් කුලී රථයකින් මහියංගනේ කෙසෙල්පොතට ගිහින් තියෙන්නේ. එම ගමනට අවශ්‍ය පහසුකම් සපයලා දීලා තියෙන්නේ අඖෂධී කියලා තරුණියක්.

“ඒ ගමනේ දුර කිලෝමීටර් 240ක් වගේ ඇති. කොහොමහරි එදා අපි යනකොට ෂැඩෝ මිදුලේ හිටියා. අපි ගිහිල්ලා ලැසීව අපි ගිය වාහනෙන් බස්සද්දිම දෙන්නට දෙන්නා අඳුනගත්තා. ඒක අපිටත් හරිම සංවේදී මොහොතක් වුණා. ලැසී ෂැඩෝ ගාවට ගිහින් ‘ඔයා මාව දාලා ආව නේද’ කියන්න වගේ අමුතු විදියට බිරුවා. ඒක දැකලා අපේ ඇස්වලටත් කඳුළු පිරුනා.”

රුවන් මහත්තයලා ආපහු ඇවිත් තියෙන්නේ ලැසී ඒ ගෙදර නවත්තලා. එදා ඔවුන් එනකොට අම්මයි පුතයි දෙන්නා වෙනදා නැති සතුටකින් හිටියා කියලයි ඔහු කිව්වේ. කොහොමහරි වෙන්වෙලා හිටපු ලැසියි ෂැඩොයි එකතු කරපු එක ඔවුන් කරගත්ත ලොකු පුණ්‍යකර්මයක් කියන වගත් මේ වෙලාවේ නොකියා බෑ.

“අපි කරපු දේ හින්දා අද ලැසියි ෂැඩොයි හරි සතුටින් ඒ ගෙදර ජීවත්වෙනවා. ඒක අපිටත් ලොකු සතුටක්. අද වෙනකොට ගොඩාක් මිනිස්සු සත්තු ගැන හිතන්නේ නෑ. සත්තුන්ට අපි ආදරේ කරන්න ඕනේ. එතකොට ඒ අයත් අපිට ආදරෙයි.”

එහෙම කියපු රුවන් මහත්තයා ඒකට උදාහරණ කතාවකුත් මේ විදියට අපිත් එක්ක කිව්වා.

“මේ කියන සිදුවීම නුවරඑළියේ ගම්බද ප්‍රදේශයක සිදුවෙලා තියෙන්නේ. ඒ ගමේ තනියම ජීවත්වුණු මනුස්සයෙක් මැරිලා තියෙනවා. ඒ පැත්තේ මිනියක් වළදාන්න කනත්තට අරගෙන යනකල් රතිඤ්ඤා දාන සිරිතක් තියෙනවලු. ඉතින් අර මිනිය අරන් යනකොටත් රතිඤ්ඤා දාලා. වැඩේ කියන්නේ කනත්තට යන පාරේ බඹර වදයක් තිබිලා රතිඤ්ඤා සද්දෙට ඒක ඇවිස්සිලා. උන් මිනිස්සුන්ට පන්න පන්න විදලා. ඉතින් මිනිස්සු මිනියත් මග දාලා දුවලා. එදා රෑ මිනිස්සු අර මඟ දාලා ආපු මිනිය වළදාන්න ගිහින්. ඒ යනකොට මිනී පෙට්ටිය ගාව සතෙක්ලු. හැමෝම හිතලා තියෙන්නේ ඌරෙක් කියලා. ඒත් ළඟට ගිහින් බලද්දි අර මැරුනු මනුස්සයාගේ ගෙදර හිටපු බල්ලා මිනී පෙට්ටිය ළඟට වෙලා මිනියේ තනි රකිනවලු.”

රුවන් මහත්තයා අපේ කතාබහ අවසන් කළේ අහිංසක සතුන්ගේ ගැන හිතලම කියවන ඔබෙන් හරි ආදරණීය ඉල්ලීමකුත් මෙන්න මේ විදියට කරලා.

“ඔබ දැකලා ඇති පාරවල්වල කාගෙවත් පිළිසරණක් නැති වීදී සතුන් ඕනතරම් ඉන්නවා. ඔවුන්ට පිහිටවෙන්න. ඔවුන්ට කෑම ටිකක් වතුර ටිකක් දෙන්න පුළුවන් නම් ඒක ඔබ කරගන්න ලොකුම පිනක්.”

රුවන් එස්.සෙනවිරත්න