නවතම ප්‍රවෘත්ති

මේ වෙසමුණි රජ්ජුරුවො එවපු මූදු යස්සනියක් වෙන්න බැරිද?

මීට අවුරුදු කීපෙකට කලින් මුහුද අපිව බදාගෙන වැළඳගත්තු එක්තරා උදෑසනක
ඈත ක්ෂිතිජයේ පුංචි තිතක් වගේ තියෙන දූපතක් හොයාගෙන යන්න අපි
බෝට්ටුවකින් පිටත්වුණා.
මුහුද ඉවරයක් නැතිව කියවනවා. අහස හොඳටෝම හැඩිවෙලා. තැන් තැන්වල
වළාකුල්. ඉර හරියට නාහෙට නාහන චණ්ඩියෙක් වගේ. කිසිම අනුකම්පාවක්
දයාවක් නැතිව චණ්ඩ හිරුරැස් අපි දිහාවට එවමින් හිටියා. හැබැයි අපි ඒ කිසිම
දෙයක් ගණනකට නොගෙන දෙපැත්තෙන් පිපෙන පෙනමල් අස්සෙන් නොදන්න
පාරක ඉස්සරහට ගියා. බෝට්ටුවේ වේගයත් එක්ක බෝට්ටු ගැට්ටෙ ඉඳගෙන
ගියපු අපිට විනාඩි දහයක් පහළොවන් යන්න කලින්ම දැනෙන්න ගත්තෙ ‘දැන්
නං ඇති…’ කියලා.
ඒක අපි බත්තලංගුණ්ඩුවෙ දවසක් දෙකක් ගත කරලා යන්න ආපු ගමනක්. ඒ
ගමන අතරමග හදිස්සියෙ ගත්තු තීරණයක් නිසයි අපි ඔහේ මුහුද දිගේ
ඇවිදින්න හිතුවේ. සමහරවිට ලංකාවෙ ප්‍රධාන සිතියමෙන් පිට පැනලා ගියපු ඒ
ගමන අවදානම්සහගත එකක් වෙන්න පුළුවන් බවත් අපි දැනගෙන හිටියා.
කල්පිටිය මුහුදු තීරය ටිකෙන් ටික අපෙන් දුරස්වෙන විදිය බලාගෙන මුහුදේ
ඈතින් මතුවෙන අලුත් ලෝකෙකට අපි පයගැහුවා. ඒ තමයි බත්තලංගුණ්ඩුව.
හැබැයි එතැන අපේ ගමනාන්තය නෙවෙයි. බත්තලංගුණ්ඩුවෙන් අපි කෙළින්ම
ගියා තවත් දූපතකට. ඒ දූපත තමයි ‘වෙල්ලෙ’.

වෙල්ලෙ කිව්වම ටිකක් නුහුරු නුපුරුදු නමක් තමයි. ඒ නුපුරුදු බව එදා මටත් ඒ
විදියටම දැනුණා. නම වගේම වෙල්ලෙ දූපත් ගොන්නට ළඟාවෙද්දී ඈත තියාම
අපි ඒ දූපතේ තවත් අමුත්තක් දැක්කා. ඈතට අපි ගෙයක් වගේ දැක්කත් ඒ දූපත
මැද්දෙ ගෙයක් තියෙන බව පිළිගන්න අපේ හිත් ලෑස්ති වුණේ නෑ. ඒත් තව
ටිකක් ළංවෙද්දී ඒක ‘ගෙයක්’ම බව අපි සැක හැර දැනගත්තා.
ඇත්තම කිව්වොත් අපි විතරක් නෙමේ අපිට මුහුද දිගේ පාර කියපු උදවියත් ඒක
දැකලා පුදුම වුණා. මොකද ඒ කිසිම කෙනෙක් කාලයක් මේ පැත්තෙ කරක්
ගහලා තිබ්බෙ නෑ.
“ගෙයක් කොහොමද මේ දූපතට ආවෙ?”
කාගෙත් හිත්වල විතරක් නෙවෙයි ඇස්වලත් තිබුණේ එහෙම ප්‍රශ්නයක්.
“යනවද නැද්ද?”
මට එතෙක් නරඹලා තිබුණු හොල්මන් චිත්‍රපට සියල්ලම වගේ එකවිට මතක්
වුණා. ඒ චිත්‍රපටවල ඉන්න මිනී මස් බුදින්නන් මිනිස්සුන්ව අඳුරු දූපත්වලට
එක්ක ගිහිල්ලා මරලා දාන හැටි මතක් වුණා.
ඒත් මහා මුහුදේ කිලෝමීටර ගාණක් දුර ගෙවාගෙන ආපු මේ ගමන ආපහු
හැරෙන්න හිත දුන්නේ නෑ. හිත කිව්වෙම ‘ඔන්න ඔහෙ වෙන දෙයක් වෙන්න
යමං’ කියලා.
ඉතිං අපි ගියා. මුලින්ම දූපතට පය තියද්දී මනුස්ස පා සටහනක් අහල
පහළකවත් නැති වෙල්ලෙ වෙරළේ ඇත්දළ පාට වැල්ල අපේ කකුල් බදාගත්තා.
දූපත පුරාම නමක් ගමක් නැති තද කොළ පාට වැල් වර්ගයක් වැතිරිලා හිටියා.
ඒ හැම වැලකම දෝත පිරෙන්න දම්පාට මල් වර්ගයක් පිපිලා තිබුණා.
අපි ටිකෙන් ටික අර ආගන්තුක ගෙදරට ළංවුණා. පොල්අතු හෙවිල්ලපු ගෙදර
බිත්ති හදලා තිබ්බෙත් අතු පැළලිවලින්. අපි ගේ ළඟටම ආවා. ගෙදර දොර
ඇරලයි තිබුණෙ. මම සිංහලෙන් ඇහුවා “ගෙදර කවුද?” කියලා. විනාඩි කීපයක්
නිහඬව ගෙවුණා. පස්සෙ මම දෙමළෙනුත් ඇහුවා “ගෙදර කවුද?” කියලා. ඊළඟ
තප්පරේ නිහඬබව බිඳුණා.
ඒ පැත්තෙන් මුලින්ම දෙමළෙන් “කවුද?” කියලා අහනවා ඇහුණා. ඊටපස්සේ
සිංහලෙන් “එනවා” කියලා කියනවා ඇහුණා. දෙවියනේ ඒ ගෑනු කටහඬක්. අපි
මූණට මූණ බලාගත්තා..

‘සමහරවිට මේ ඉස්සර ජනකතාවල ඉන්න තාලෙ මූදු යස්සනියක් වෙන්න බැරිද?
වෙසමුණි රජ්ජුරුවො මේ දූපතට එන අයව බිලිගන්න ඒ යස්සනිට අවසර දීල
වෙන්න බැරිද?’
මට හුඟක් ඒවා හිතුණා.
එකපාරටම ඈ පැළලි දොරෙන් එබිලා බැලුවා. යස්සනියක් නෙමේ. ඒ ආවෙ
මනුස්ස දුවක්. ඈ ඇවිත් දොරකඩ හිටගත්තා. ඒ මූණෙ ලොකු ප්‍රශ්නාර්ථයක්
තිබුණා.
මම ඉක්මනින් කතා කරන්න පටන්ගත්තා. ඒ නිහඬව ඉඳලා බැරි නිසා. අපි
මූණට මූණ බලා ඉද්දි මුහුද විතරයි මොන මොනවද කියෙව්වෙ. ඒ අස්සෙ මූදු
හුළං අපෙ ඇඟ අස්සෙ රිංගගෙන දඟකාරකම් කළා.
“මම ක්‍රිස්ටින්…”
ඈ ඇගේ නම කිව්වා. විනාඩි කීපයක් ගතවෙන අතරෙ ඈ තවත් විස්තර ටිකක්
කිව්වා. ඒ අස්සෙ තිබුණෙ මහ පුදුමයක්.
ඈ සිංහල. කතා කරන්නෙ දෙමළ. නම ඉංග්‍රීසි. ආගම කතෝලික. ඒත් ඈ පන්සල්
පල්ලි කෝවිල් ගියෙ නෑ. ඈ හුරතලේට ඇති කරමින් උන්නෙ ඌරු පැටව් ටිකක්.
“ඔයාට තනි නැද්ද?” මම ඇහුවා.
ඈ හිනාවෙලා “නෑ…” කිව්වා.
“මම බැඳලා මෙහෙ ආවා…”
මම වටපිට බැලුවා. බැලුවා නෙවෙයි ඇත්තටම බැලුනා.
“අපි මේ ගේ හදාගත්තා… එයා ට්‍රෝලර්වල යනවා, මාසයක් විතර. යනකොට
හැමදේම ගෙනල්ලා තියලා යන්නෙ. මට කරදරයක් නෑ. ආරක්ෂාව හොඳයි…
එයා මට හරි ආදරෙයි…”
මට පුදුම හිතුණා. මේ ගොඩබිමෙන් කිලෝමීටර හැට හැත්තෑවක් ඈත තියන
පාලු දූපතක, තට්ට තනියම, ටීවී රේඩියෝ මොකවත්ම නැතිව, පොල්අතු බිත්ති
පොල්අතු වහල යට, ඈ ඔහු එනතුරු බලා ඉන්නවා.
කිසිම මැසිවිල්ලක් නොකියම. මේ දූපත අස්සෙ හුදෙකලා ජීවිතය ගැන ඈ
දුක්වෙන්නෙ නෑ. ෂොපින් යන්න නැති, එළියෙන් කන්න නොයන, යාළු මිත්‍ර

සමාගම් නැති ජීවිතයකට ඈ ඇබ්බැහි වෙලා, වැඩි කතාබහෙන් මට දැනුණෙ
ඒක.
ඈ ඔබ නං, ඔබ මොනවා කරයිද? මේ වගේ ජීවිතයක් ඔබට ලැබුණොත්? ඔබේ
ඉල්ලීම් කොච්චර ලොකුද? ඔබේ හීන කොච්චර දිගද? මේ මුහුද කියන ගී
අහගෙන හුදෙකලා රාත්‍රියක පහස විඳින ඈ වෙන්න ඔබට දවස් කීපයකටවත්
පුළුවන්ද? කෑලි කපන්න පුළුවන් අන්ධකාර රාත්‍රියක මුහුදෙ ඈත ඉමේ ආලෝක
ලපයක් වෙලා නොපෙනී යන තමන්ගෙ එකම ආරක්ෂකයා දිහා බලා ඉන්න ඈට
මොනවා හිතෙනවා ඇත්ද?
ජීවන පහන් තිළිණ