මාස නමයක් වයසැති බිළිඳාට වස දී මව අතුරුදන් වෙයි
මාස 9ක් වයසැති තම බිළිඳාට විෂ ද්‍රව්‍යක් පොවා ඝාතනය කර මව, නිවසින් පැන යාමේ පුවතක් මාලිම්බඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, තෙලිජ්ජවිල ඇල්ගිරිය කන්දහේනේ පදිංචිව සිටි වීරතුංග ආරච්චිගේ පසිදු ප්‍රභාත් නැමැති බිළිඳෙක්.
තම සැමියා රැකියාවක් සොයා ගැනීම සඳහා ගිය අතරතුර දී අදාළ කාන්තාව විසින් මෙම අපරාධය සිදුකර තිබෙනවා.
අදාළ බිළිඳා හා අවුරුදු 3ක් වයසැති දරුවා නිවස තුළ හඬන ශබ්දය අසල්වැසි නිවසේ පදිංචි ලොකු අම්මාට ඇසී පැමිණීමෙන් පසු ඒ වන විටත් කෙඳිරිගාමින් සිටි බිළිඳා ඉතා ඉක්මණින් ත්‍රීරෝද රථයක් ගෙන්වා අකුරැස්ස රජයේ රෝහල වෙත රැගෙන යාමට ඇය කටයුතු කර තිබෙනවා.
කෙසේවෙතත් රෝහල් ගත කරන විටත් එම බිළිඳා මියගොස් සිටි බව වෛද්‍යවරුන් සඳහන් කරනවා.
මෙහිදී පොලිසිය සඳහන් කලේ, කිසියම් විෂ සහිත යමක් පොවා එම දරුවා ඝාතනය කර මව පැන යන්නට ඇති බවයි.
අදාළ කාන්තාව විසින් ලියා තබන ලද ලිපියක් ද පොලීසිය සොයා ගෙන ඇති අතර එහි සඳහන්ව ඇත්තේ, වැඩිමල් දරුවාට තමා ආදරය කරන බවත් මේ කළ දෙයට සමාවක් නොදෙන ලෙසත්ය.
22 හැවිරිදි සැකකාර මව සැක පිට අත්අඩංගුවට ගැනීම සඳහා මාලිම්බඩ පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මියගිය බිළිඳාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාලිම්බඩ පොලිසිය සිදු කරනවා.