AL උපකාරක පංති ඔක්.6 මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්
මෙවර අපොස (උසස් පෙළ) විභාගයට පෙනීසිටින අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සහ පන්ති මෙහෙයවීම ඔක්තෝබර් 6 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වනතෙක් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් නිවේදනය කරයි.
එසේම,
* විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම
* උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම
* විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට හෝ පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.
යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කරනු ලැබුවහොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනත යටතේ වරදකරුවකු වන බව අධ්‍යාපන අමාත්‍යංශය අනතුරු ඇඟවීය.
මෙවර අපොස (උසස් පෙළ) විභාගය ඔක්තෝබර් 12 වැනිදා සිට නොවැම්බර් 6 දක්වා පැවැත්වේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනිදා ද පැවැත්වීමට නියමිතය.
එම විභාගය සඳහා ද ඉහත කරුණු බලපාන බව පැවසූ විභාග කොමසාරිස් ජනරාල්, සනත් පූජිත මහතා, එය ඔක්තෝබර් 7 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බව කීය.
මෙම නියෝග කඩකරනු ලබන පුද්ගලයින්, ආයතන හෝ පාර්ශව පිළිබඳ ව ඒ ගැන ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.
පොලිස් මූලස්ථානය – 0112421111
පොලිස් හදිසි ඇමතුම් අංකය – 119
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය – 1911
විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය – 0112785211/0112785212
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 0112784208/0112784537