News

පළාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් අද දිනයේ ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 40 පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා යා හැකි අතර, සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.