News

මහින්දගේ අභියාචනය විභාගයට රනිල් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරීම ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම වලක්වාලමින් ලබාදුන් අතුරුතහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ගොනු කළ විශේෂ අභියාචනය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග ගන්නැයි ඉල්ලමින් මෝසම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සමෙ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් මෙම මෝසම් ගොනු කර ඇත්තේ.

අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අභියාචනය හෙට (14) විභාගයට ගැනීමට නියමිතයි.

ඒ සඳහා ඊවා වනසුන්දර, බුවනෙක අලූවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවරුන් පත් කර තිබෙනවා.

නමුත් පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවය වන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 121ක් වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා ඇත්තේ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ඉදිරියේ විභාගයට නොගන්නා ලෙසයි.

ඊවා වනසුන්දර මහත්මිය ඉදිරියේ එම පෙත්සම විභාගයට ගතහොත් යුක්තිසහගත නඩුවිභාගයක් අපේක්ෂා කළ නොහැකි බැවින් එය එම විනිසුරු මණ්ඩලයෙන් ඉවත් කොට වෙනත් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස අදාළ මෝසමෙන් ඉල්ලා තිබෙනවා.