News

හැංගිලා AL ලිව්ව සරසවි සිසුවා මාට්ටු

ත්‍රිකුණාමලය, මුතූර් ප්‍රදේශයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක පෞද්ගලික අයැදුම්කරුවකු වෙනුවට විභාගයට පෙනී සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පෙරේදා (13 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හින්දු ශිෂ්ටාචාරය ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින විටය.

නියම අයැදුම්කරු ලෙස පෙනී සිටීම සඳහා ව්‍යාජ ජාතික හැඳුනුම්පතක්ද මෙම විශ්වවිද්‍යාල ශිෂ්‍යයා විසින් සකස් කර තිබූ බව පොලිසිය පවසයි.

ඔහු මුතූර් මාවච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් ලැබී තිබේ. සැකකරු මෙම මස 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා මුතූර් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නිලන්ත මදුරාවල – හේමන්ත ලියනපතිරණ