News

කහතුඩුවේ බාබර්ට කොවිඩ්

කහතුඩුව කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවකුට කොරෝනා ආසාදනය වී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව එම ස්ථානයට මුද්‍රා තබා කොණ්ඩා කැපීමට පැමිණි 125 දෙනෙකුට අධික පිරිසක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගෙන කහතුඩුව ප්‍රදේශයේ මාළු ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයකු පසුගිය දිනෙක මෙම ස්ථානයට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව ඔහුගෙන් මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මාළු ව්‍යාපාරිකයා ආසාදිතයෙක් ලෙස හඳුනා ගත පසු මෙම කරණවෑමියා ද පසුගිය 27 වන දා පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජනය කර ඇති අතර එහිදී මෙම කරණවෑමියා ද ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.

28 හැවිරිදි ආසාදිත කරණවෑමියා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ නිවස ඇතුළු ස්ථාන 4ක් නිරෝධායනයට ලක් කරන ලෙසට හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කර ඇති බවද වාර්තා වේ.