සෙල්ලම් බඩු ෆැක්ටරියේ තවත් 66කට කොවිඩ්
වත්තල හැඳල කෙලවරපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සෙල්ලම් බඩු කර්මාන්ත ශාලාවේ සේවක පිරිසෙන් තවත් පුද්ගලයන් 66 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යූ. ඇසෙන්ටා ඊයේ (08 වැනිදා) පැවසීය.
කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 800 දෙනකු PCR පරීක්ෂණයට යොමු කර ඇති අතර ඉන් මේ වනවිට 175 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවද තවත් PCR වාර්තා 125 ලැබීමට නියමිත බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පැවැසුවාය.
මේ අනුව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආසාධිත මුළු සංඛ්‍යාව 604 දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඒ මහත්මිය පැවසුවාය.
තවද ප්‍රදේශයේ පුද්ගලයන් 2000 කට අධික පිරිසක් නිරෝධායනයට යොමු කර ඇතැයි ද තවත් සිදු කළ PCR පරීක්ෂණ 4000 ක ප්‍රතිඵල ඉක්මනින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වැඩි දුරටත් සඳහන් කළාය.
නිරෝධායනය වන පිරිස සඳහා අත්‍යවශ්‍ය ආහාර ලබා දීමට වත්තල ප්‍රාදේශීය ලේකම් පී.ඩී.පී.සී. රජිකා ප්රමුඛ ග්‍රාම නිලධාරීන් කටයුතු කරමින් කරන සේවය ප්‍රදේශයේ ජනතාව අතර පැසසුමට ලක් වී තිබේ.
ප්‍රසංග පාවුළුහේවා – කටුනායක
