News

රුපියල් ලක්ෂ 90ක් වටිනා ස්වර්ණාභරණ සමග පුද්ගලයෙකු කටුනායකදි අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස රැගෙන ඒම සදහාම සකස් කළ අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ අද උදෑසන 7.00 ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ, එහි ව්‍යාපාරිකයන් රැගෙන එන භාණ්ඩ සදහා බදු ගෙවා පිටව යා හැකි ” රක්ත මාවත ” ඔස්සේ පිටව යමින් සිටියදී මෙම අත් අඩංගුවට ගත් බවයි.

මොහු 51 හැවිරිදි මහනුවර, කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවේ.

මෙම ව්‍යාපාරිකයා රුපියල් 90 ලක්ෂයක් වටිනා , කිලෝ ග්රැම් 01 යි ග්රැම් 198 ක් බර මෙම ස්වර්ණාභරණ තොගය , පත්තර කොළ වල ඔතා , තම කළිසම් සාක්කුවේ සගවා ගෙන සිටි බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.