කොවිඩ් ආසාදිත ගැබිණි කතුන්ට තවත් රෝහල් හතරක්
කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන් සඳහා මුල්ලේරියා රෝහලට අමතරව තවත් රෝහල් 4ක් වෙන්කර ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා සඳහන් කරයි.
මේ අනුව හෝමාගම, තෙල්දෙණිය, මිනුවන්ගොඩ හා කාත්තන්කුඩිය රෝහල් මෙසේ වෙන් කර ඇති අතර දරුවා ලැබීමට ආසන්නව සිටින මව්වරුන් සහ විවිධ සංකූලතාවන්ගෙන් පෙළෙන මව්වරුන් සිටින්නේ නම් ඔවුන්ව මුල්ලේරියා රෝහලට ඇතුළත් කරගන්නා බවද ඇය පැවැසුවාය.
මීට අමතරව හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින ගර්භණී කාන්තාවන් තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියව දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගනිමින් අවශ්‍ය උපදෙස් හා සේවාවන් ලබාගැනීමට කටයුතු කරන්නැයිද අධ්‍යක්ෂවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දරු ප්‍රසූතිය සඳහා මාතෘ රෝහල් වෙත පැමිණීමට බිය නොවන ලෙසත් නිරවුල් මනසකින් රෝහල් වෙත පැමිණෙන ලෙසත් සියලුම ගර්භණී කාන්තාවන්ට සෞඛ්‍ය කාර්යාංශය දැනුම් දී සිටියි.
ශ්‍රියානි විජේසිංහ
