“හුස්ම දෙන තුරු” – ජාතික රුක් රොපණ වැඩසටහන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
පැළ මිලියන 02ක් සිටුවන “හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.
අද (20) පෙරවරුවේ බත්තරමුල්ල, මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට ආරක්ෂක මූලස්ථාන පිවිසුම් මාර්ගය අසල පළමු පැළය ලෙස සුදු සඳුන් පැළයක් ජනාධිපතිතුමා වසින් රෝපණය කළේය.
“සෞභාග්‍යයේ දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් පරිදි රටේ වනගහනය භූමි ප්‍රමාණයෙන් 30%ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන අතර ඊට අනුගතව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන සැලසුම් කරයි.
වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කර ගැනීම හා ඔක්සිජන් පරිමාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන පරිදි රුක් රෝපණය සිදුකිරීමට නියමිතයි. ඉදිරි වසර පහ ඇතුලත පැළ මිලියන 02ක් රෝපණය කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, ආරක්ෂක මූලස්ථානය හා ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාත්මක කරයි.
රට පුරා පැළ බෙදා දීම සංකේතවත් කරමින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට පැළ බෙදා දෙනු ලැබීය.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

