News

මත් ටොෆි හා චොකලට් විකුණු පුද්ගලයෙකු අත්අඩංගුවට

මත් ටොෆි හා මත් චොකලට් තොගයක් විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (20) සවස වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත කුඩා ලොරි රථයකින් අදාළ මත් ටොෆි හා චොකලට් ප්‍රවාහනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

වරකාපොළ ප්‍රදේශයේ පදිංචි සැකකරු පාසල් දරුවන් හා කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් අදාළ ජාවාරම සිදුකොට ඇති බව පොලිසිය අනාවරණය කොටගෙන ඇත.

සැකකරු සතුව තිබි මත් චොකලට් පෙට්ටි 32 ක් හා පැන්සල් මාදිලියේ මත් ‍ටොෆි පෙට්ටි 25 ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ අදාළ පෙට්ටියක මත් චොකලට් හා මත් ‍ටොෆි 100 බැගින් තිබෙන බවට ගණනය කොට ඇති බවයි.  අත්අඩංගුවට ගත් සැකකරු අද (21) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සදහන් කළේය.

වවුනියාව – මාධව කුලසුරිය