News

අටුලුගම කොවිඩ් පොකුර පාලනය කිරීම අසීරුයි

පී.සී.ආර්. පරීක්ෂණ සඳහා බොහෝ පුද්ගලයන් ඉදිරිපත් නොවීමත්, ඉදිරිපත් වූ අයගෙනුත් කොටසක් ව්‍යාජ නම්, ලිපින හා දුරකථන අංක ලබාදී තිබීමත් නිසා බණ්ඩාරගම, අටුලුගම කොරෝනා පොකුර පාලනය කර ගැනීමට අපහසු වී ඇතැයි කළුතර දිසා ලේකම් ප්‍රසන්න ගිනිගේ ඊයේ (29) උදේ කීය.

පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වන රෝගීන් පවා කඩිනමින් රෝහල් ගත කිරීමට මෙම තත්ත්වය නිසා අපහසුවී ඇති බවත් පෙරේදා (28 වැනිදා) සවස වන විට බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් පමණක් රෝගීන් 282ක් වාර්තා වී ඇති අතර ඉන් 207ක්ම අටුලුගම ප්‍රදේශයෙන් වාර්තා වන බවත් ඔහු පැවසීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අමතරව මෙම ප්‍රදේශයේ සංචරණය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 150 – 200ත් අතර සංඛ්‍යාවක්ද ඊට අමතරව හමුදා නිලධාරීන්ද යොදවා ඇති බව කී හෙතෙම මේ හේතුව නිසා රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇතිවාක් මෙන්ම නිලධාරීන්ට දැඩි වෙහෙසකර තත්ත්වයක් ඇති කිරීමටද හේතුවී ඇතැයි ද කීය.

ලක්ෂිත විද්‍යාසේකර – කළුතර