අවුරුදු විසි හතක් වයස කලලයෙන් උපන් දැරිය
අවුරුදු විසි හතක් වයස් ගත කලලයකින් දැරියක් උපත ලබා තිබේ. මොලී එවර්ටේ ගිබ්සන් නමැති මෙම දැරිය ඇමරිකාවේදී උපත ලබා තිබෙන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය. ඇය ගිබ්සන් පවුලට එක් වූ දෙවන දැරියයි. ඇගේ වැඩිමහල් සොයුරිය උපත ලබා ඇත්තේද අවුරුදු විසිහතරක් පමණ පැරණි කලලයකින් බව සඳහන් වේ.
මොලීව ප්‍රසූත කර තිබෙන්නේ ඇමරිකාවේ ජීවත් වන ටීනා ගිබ්සන් නැමැති විසි නව හැවිරිදි කාන්තාවකි. ඇය ප්‍රාථමික පාසලක ගුරුවරියක් වශයෙන් සේවය කරන්නීය. ඇගේ සැමියා – බෙන් ගිබ්සන් සයිබර් ආරක්ෂක විශ්ලේෂකයකු වශයෙන් කටයුතු කරන්නෙකි. ටීනා දරුවන් පිළිසිඳ ගැනීම පිළිබඳ ගැටලුවකින් පසු වූවාය. මේ නිසා දරුවකු යුවළකගෙන් ගෙන හදා වඩා ගැනීම කෙරෙහි ඔවුන්ගේ අවධානය මෙයට වසර කිහිපයකට පළමුව යොමුවූයේය. එසේ වුවත් සාම්ප්‍රදායිකව කෙරෙන්නාක් මෙන් දරුවකු අරන් හදා ගැනීමට ඔවුහු මැළිකමක් දැක් වූහ. එනිසා බැහැරදී සංසේචනය වූ ස්ත්‍රී සහ පුරුෂ ජනන සෛල මගින් සකස් කරන ලද කලලයක් ටීනාගේ කුස තුළ වර්ධනය කර ගැනීම වෙත ඔවුහු යොමු වූවෝය. ඒ සඳහා අවශ්‍ය කලලය ලබා ගැනීමට ඔවුන් පිවිසියේ ඇමරිකාවේ ජාතික කලල පරිත්‍යාග මධ්‍යස්ථානයටය.
ඇමරිකාවේ ජාතික කලල පරිත්‍යාග මධ්‍යස්ථානයේ කලල මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ගබඩා කර ඇති බව වාර්තාවන්හි දැක් වේ. එම ආයතනයට ගබඩා කරන්නට කලල ලැබෙන්නේ, නළ දරුවකු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කලල කිහිපයක් සකස් කරගත් දෙමව්පියන්ගෙනි. තමන්ට අවශ්‍ය දරුවා හෝ දරුවන් නළ දරුවන් ලෙස උපද්දවා ගත් පසු එවැනි බොහෝ දෙමව්පියෝ ඉතිරි කලල ඇමරිකාවේ ජාතික කලල පරිත්‍යාග මධ්‍යස්ථානයට පරිත්‍යාග කරති. එසේ පරිත්‍යාග කෙරුණු කලල, දරුවකු අපේක්ෂාවෙන් පැමිණෙන යුවළ සඳහා පළමුව කී ආයතනය ලබා දෙනු ලැබේ.
ගිබ්සන් යුවළ 2017 වසරේදී පළමුව වරට ලබා ගත්තේද ඇමරිකාවේ ජාතික කලල පරිත්‍යාග මධ්‍යස්ථානයේ ආරක්ෂා සහිතව තැන්පත් කර තබා ඇති එවැනි කලලයකි. එම කලලය වසර විසි හතරකට පමණ පෙර ජාතික කලල පරිත්‍යාග මධ්‍යස්ථානය භාරයට පත් කරන ලද්දකි. වසර විසි හතරක් පැරණි කලලයක් වුවත් එය ටීනාගේ ගර්භාෂයේ තැන්පත් කිරීමෙන් පසු වර්ධනය විණ. එනිසා 2017 වසරේදී ගිබ්සන් පවුලට එමා දියණිය එක් වූයේය. දීර්ඝ කාලයක් සංරක්ෂණය කර තිබූ කලලයකින් උපත ලද දරුවා හැටියට එමා වාර්තාවන් අතරට එකල එක් වූවාය.
එමාගේ උපතින් වසර කිහිපයකට පසුව ගිබ්සන් යුවළට තවත් දරුවකු හදා ගැනීමට අවශ්‍ය විය. ඔවුන් එවර අනුගමනය කළේ ද පළමු ක්‍රමයමය. මේ වසරේ මුල භාගයේදී ටීනාගේ ගර්භාෂයේ කලලයක් තැන්පත් කරන ලදී. එම කලලය වසර විසි හතකට ඉහතදී – එනම් 1992 වසරේදී පමණ ජාතික කලල පරිත්‍යාග මධ්‍යස්ථානය භාරයට පත් කරන ලද එකක් බව වාර්තාවන්හි සඳහන් වේ. ඒ අනුව මොලී පසුගිය ඔක්තෝබර් මාසයේදී උපත ලැබුවේ දීර්ඝ කාලයක් සංරක්ෂණය කර තබන ලද කලලයකින් උපත ලද දරුවා වශයෙන් වාර්තාවක්ද පිහිටුවමිනි. දරුවකු ලබා ගැනීමේදී කලලය කොපමණ වයස එකක්ද යන්න බල නොපාන බව වෛද්‍යවරු පෙන්වා දෙති.

මංජුලා විජයරත්න
