News

මාධ්‍යවේදිනියක් වෙඩි තබා ඝාතනය කරයි

රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍යවේදිනියක් සේ කටයුතු කළ ඇෆ්ගනිස්ථානයේ මලලයි සහ ඇගේ රියදුරු නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්ව තිබේ.

නැඟෙනහිර පළාතේ නන්ගාර්හාර්හි අගනුවර වන ජලලාබාද්හිදී නාඳුනන තුවක්කුකරුවන් විසින් මයිවාන්ඩ් සහ ඇගේ රියදුරාට ඔවුන්ගේ වාහනය තුළදීම වෙඩි තබා ඇත. ඇය නන්ගාර්හාර් හි එනිකස් ගුවන්විදුලියේ සහ රූපවාහිනියේ වාර්තාකාරිනියක් ලෙස සේවය කළාය.

ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් භාරගෙන නොමැත.

පසුගිය වසර 15 තුළ මාධ්‍යවේදීන්ට එල්ල කළ ප්‍රහාරවලින් බහුතරය පිටුපස තලේබාන් සංවිධානය සිටින බව ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක තාරික් ඒරියන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය කියා සිටියේය.

එරට රජය මෙම ඝාතනය තරයේ හෙළා දකින අතර එය බියගුලු හා ම්ලේච්ඡ ඝාතනයක් බව ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානිගේ ප්‍රකාශකයෙකු වන සෙඩිකි පවසයි.

“ඇෆ්ගනිස්ථාන රජය මේ සිදුවීම තරයේ හෙළා දකින අතර, ඇගේ පවුලේ අයට සහ මිතුරන්ට බලවත් ශෝකය පළ කර සිටිනවා. අපේ ජනතාවට එරෙහි වර්තමාන මුග්ධ ප්‍රචණ්ඩත්වය අවසන් විය යුතුයි.” සෙඩිකි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.