News

චීන කොවිඩ් එන්නත ගැන ශ්‍රී ලංකාව වාර්තාවක් කැඳවයි

චීනය මගින් නිෂ්පාදනය කරන කොවිඩ් එන්නතේ සාර්ථකභාවය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍යාංශය චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ. චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන වෙත ලිපියක් යොමු කරමින් මෙම වාර්තාව ඉල්ලා සිටි බව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා කියා සිටියේය.

චීනයේ නිෂ්පාදිත එන්නත සාර්ථක නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මත රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් එන්නත ලබා ගැනීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

කෙසේ වෙතත් ලෝකයේ රටවල් රැසක් එන්නත් නිෂ්පාදනය කරන අතර එම එන්නත්වල සාර්ථක භාවය පිළිබඳව විද්වතුන් කැඳවා අද (14 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ තීරණය කර ඇත. වයිරස් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුද ඊට එක්වීමට නියමිතය. මහාචාර්ය තිස්ස විතාරණගෙන්ද මීට උපදෙස් ලබා ගැනීමට රාජ්‍ය ඇමැතිවරිය තීරණය කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ අනුමත කරන එන්නතෙන් ශ්‍රී ලාංකිකයන් සියයට විස්සකට ලබාදීමට මැදිහත් වන බවයි.

උදයජීව ඒකනායක