කොවිඩ් ආසාදිත ග්‍රාම නිලධාරිනිය PCR වාර්තා එන්න කලින් රෝහලින් ඇවිත්
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ සේවය කරන ග්‍රාම නිලධාරිනියක කොරෝනා ආසාදිතයෙකු ලෙස පසුගිය දා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.
අදාළ ග්‍රාම නිලධාරීවරියගේ පවුලේ අවිස්සාවේල්ල හා කළු අග්ගල ප්‍රදේශයේ පදිංචි තම වැඩිමල් සොහොයුරියන් දෙදෙනෙකු 2020.11.24 දින හා 2020.12.04 දින අදාළ ග්‍රාම නිලධාරිවරියගේ නිවසට පැමිණ තිබේ. ඔවුන් සමග සමීප සම්බන්ධතා පවත්වනු ලැබූ මෙම ග්‍රාම නිලධාරිනිය කොරෝනා රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් පසුගිය 07 වනදා සවස අම්බලන්තොට රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ගොස් ඇත. එහිදී රෝහලේ කොරෝනා නිරෝධායන වාට්ටුව වෙත ඇතුළත් කර PCR පරීක්ෂණයකට ලක්කර තිබේ.එම පරීක්ෂණයෙන් අනතුරුව රෝගී වාර්තාව පැමිණෙන තෙක් ඇයව අම්බලන්තොට රෝහලේ කොරෝනා රෝගීන් නිරෝධායන වාට්ටුවෙහි තබාගෙන සිට ඇති අතර පසුව 08 වනදා මෙම ග්‍රාම නිලධාරිවරිය රෝහලට නොකියා රෝහලෙන් පිටව ගොස් තිබේ. පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා පොලිසියේ මැදිහත්වීමෙන් ඇය තම නිවසේ සිටියදී සොයාගත් අතර පසුව නැවතත් අම්බලන්තොට රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබිණි.
කෙසේ නමුත් 12 වනදා PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමෙන් පසු අදාළ ග්‍රාම නිලධාරිවරිය කොරෝනා අසාදිතයකු ලෙස තහවුරු වීමෙන් පසු 12 රාත්‍රී හම්බන්තොට රෝහලේ කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයට ඇතුළත්කර තිබේ.
මේ වනවිට සිදුකරන ලද පරීක්ෂණ කටයුතුවලින් තහවුරු වී ඇත්තේ අදාළ ග්‍රාම නිලධාරිවරිය 07 වනදා පෙරවරුවේ රෝග ලක්ෂණ තිබියදීත් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ග්‍රාම නිලධාරීවරුන්ගේ රැස්වීමකට හා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ රැස්වීමක් සඳහා සහභාගි වී ඇති බවයි. ඒ සඳහා අම්බලන්තොට ග්‍රාම නිලධාරී වසම් 52 ක ග්‍රාම නිලධාරීන් 52 ක් හා ආර්ථික සංවර්ධන නිලධාරීන් 52 ක් සහභාගී වී තිබේ.
අජිත් පුෂ්පකුමාර-අම්බලන්තොට
