News

හොරෙන් ගෙන ආ කහ කොච්චිකඩේදි අල්ලයි

නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වූ කහ කිලෝ 750ක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් විසින් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ අද පෙරවරුවේ ගෝනහේන විශේෂ කාර්ය බලකා කදවුරේ බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීමේදී මෙම කහ තොගය සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවයි.

එම කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන විත් ඇති අතර, එය විවිධ ප්‍රදේශ වලට බෙදාහැරීමට සැලසුම් කර තිබූ බව පොලීසිය පවසයි.

කහ තොගය ප්‍රවාහනය කළ ජීප් රථය ද පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොච්චිකඩේ පොලීසිය විසින් සිදුකරනු ඇත.