News

අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිතා කරන්න එපා

කොවිඩ්-19 රෝගී තත්ත්වය සඳහා ගුණදායක බව පවසමින් අන්තර්ජාලයේ මේ දිනවල විශාල වශයෙන් සංසරණය වන දේශීය වෙදකම තුළ භාවිතා වන අමුද්‍රව්‍ය සහිත ඖෂධ වට්ටෝරු භාවිතා නොකරන ලෙසට දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශ සමස්ත මහජනතාවගෙන් ඉල්ලා සිටියී.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය මේ බව සදහන් කර ඇත.

ආයුර්වේදයේ හා දේශීය වෙදකම තුළ රෝගයක් සදහා ඖෂධ්‍ සකස් කිරීමේදී ඊට යොදා ගනු ලබන අමුද්‍රව්‍ය පිළිබදව සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය කරුණකි. එම ඖෂධය සදහා භාවිතා කරන්නේ ශාකමය අමුද්‍රව්‍යක් නම් එසේ භාවිතා කළ යුත්තේ එම ශාකයේ කුමන කොටසද යන්න පිළිබද නිශ්චිත අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ.

යම් ඖෂධයක් සකස් කිරීම සදහා ශාකයක පොතු යෙදිය යුතු අවස්ථාවක එම ශාකයේ ඵල යොදාගැනීම එම ඖෂධ වට්ටෝරුවෙහි නියමිත ගුණය නොලැබෙන අතර, ඒ තුළින් ශරීරයට අහිතකර සංයෝගයන් ඇතිවීමට පවා අවස්ථාව ඇති විය හැකිය.

එබැවින් අප විසින් පාරම්පරිකව භාවිතා කරනු ලබන අත්බෙහෙත් වැනි දේවල් හැරුණු කොට අනෙකුත් ආගන්තුක වට්ටෝරු භාවිතා කිරීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වමි.